වස විස නැති රස යාළුවෝ

ස්වාභාවික රසයන් තෝරා ගනිමුද

දැන් අපිට කන්න වෙලා තියෙන්නේම වස විෂ දැමු එළවළු , පළතුරු ඒවටත් තව රසකාරක , සෝස් වර්ග, සුප් කැට දාලා ගත්තාහම ඇගට යන විෂ ප්‍රමාණය කොහොමද? ඉතින් එක එක ලෙඩ නොහැදී තියේවිද?

ඒත් ඉතින් බබාලයි, බබාලාගේ තාත්තායි කටට රහට කන්න කැමතියි . ඉතින් මොකද කරන්නේ කියලා මං කල්පනා කලා. එතකොට මෙන්න මේ අපූරු යාළුවෝ ටික ලං කරගන්න මං හිතුවා.

කවුද මේ යාළුවෝ ?

හැමදාම දාන තුනපහ ,මිරිස්, කහ තුනට අමතරව මෙන්න මේ දේවල් වලට අපේ කෑම වල රසය, සුවද වගේම ගුණයත් ඉහල නං වන්න පුළුවන්.

1.කරපිංචා

මේ නම් අපි නිතර පාවිච්චි කරන දෙයක් , කරපිංචා රස,සුවද එකතු කරනවා වගේම විෂ නසන ගුණයක්ද සහිතයි.

තෙම්පරාදුවකට කරපිංචා එකතු කලහම පුදුම රසයක් ලැබෙනවා.

2. රම්පේ

මේත් අපි නිතර භාවිතා කරන ආහාරයට සුවද එකතු කරන දෙයක්, සම්බා හාල් උයද්දී බත් මුට්ටියට කොලයක් දැම්මොත් බතට අපූරු සුවදක් ලැබෙනවා.

3. සුදුළූණු

පරිප්පු ,පතෝල, වැටකොලු උයද්දී හොද්දට එකතුකරන්නත් මස්, මාළු,තෙම්පරාදු වලට එකතු කරන්නත් පුළුවන්.

ආහාරයට සුවදක් එකතු කරනවා වගේම සුදුළූණු ඇගේ වාතේ පුලුස්සනවා කියලා කථාවක් තියෙනවා.

4. රතු ළුණූ

ඕනෑම සම්බෝලේකට ගන්න පුළුවන් රස පිරුණු දෙයක් , විස නසන ගුණයකුත් තියෙනවා .

5. ඉගුරු

ඉගුරු තෙම්පරාදු වලදී අපූරු රසයකුත් සුවදකුත් එකතු කරනවා.

ඉගුරු වල බඩට සුව ගෙනදෙන ගුණ ගොඩාක් තියෙනවා.

6.ගම්මිරිස්

ගම්මිරිස් සැර වුනාට කටට  සැරට කන්න

ආස අයට රස රහසක් මේ, කිසිම වස විසක් නැති රස ආකාරයක්,

සම්බෝල , මස් , මාළු වලට පංකාදුයි.

7.උම්බලකඩ

මස් මාළු කන ඇත්තන්ට කෑමට පොඩි පුලුටු රහක් ගන්න පුලුවන් දෙයක් ,

පතෝල,මාළුමිරිස් සහ සම්බෝල වලට එකතු කරන්න කදිමයි.

8.උලුහාල්

කිරි හොද්දට යස අපූරු සුවදක් එකතු කරන  උලුහාල් අමතක කරන්න බැහැ.

9.කරදමුංගු

මස් , මාළු , එළවළු බත් වැනි ඕනෑම ආහාරයක රසය සුවද එකතු කරනවා.

10.කරාබු නැටි

කරාබු නැටිත් ආහාර වලට හොද සුවදක් එකතු කරනවා.

11.කුරුදු

කුරුදු ටිකක් දැම්මාහම හැමදාම හදන පරිප්පු වුනත් අමුතුම රසයක් වෙනවා.

12.අබ

තෙම්පරාදුව රසවත් කරන අබ එයට රසය විතරක් නොවේ අමුතුම සුවදකුත් එකතු කරනවා .

ඒ වගේම වට්ටක්කා වගේ හොද්දකට අබ පේස්ට් එක ටිකක් එකතු වුනාහම රසය වැඩි වෙනවා.

13.සේර

මේ නම් එච්චර හුරුපුරුදු දෙයක් නොවෙන්න පුලුවන් , ඒත් පුංචි කෑල්ලක් එකතු කරගැනීමෙන් මස් , මාළු රස කරගන්න පුළුවන්.

14.අමුමිරිස්

මේවානම් චුට්ටක් සැරයි. ඒත් සම්බෝල, තෙම්පරාදු වලට අපූරු රස යාළුවෙක්,

15. දෙහි

දෙහි ඇඹුල කිව්වාහම මතක් වෙන්නේ සම්බෝල වර්ග වුනත් , කිරි හොද්දට වුනත් පැගිරි යුෂ ටිකක් එකතු වුනහාම හරිම රසයි.

16. ගොරකා

ගොරකා දාන්නේ මස් මාළු රස වෙන්න. මස් මාළු වලට අපූරු රසයකුත් මේ මගින් එකතු වෙනවා.

17. සියඹලා

ඇඹුල රසය එකතු කරන්න සෝස් වෙනුවට සියඹලා යුෂ ටිකක් එකතු කරන්න .

මුළුතැන්ගෙය පුරා මෙච්චර රස යාළුවෝ ඉද්දී අපි මොකටද කෘතිම රසකාරක ලං කරගන්නේ , දරුවන්ට හැකි තරම් ස්වාභාවික ආහාර දෙන්න. දැන් කොහොමත් එළවළු පළතුරු වසවිෂ පිරිලා. ඒකට අපි කෘතිම රසකාරක දාලා තවත් විෂ වැඩිකර ගන්න ඕනිද?

මෙන්න අපෙන් මග පෙන්වීමක්, තීරණය ඔබ සතුයි අම්මා