සිසේරියන් කැළලක හොඳ නරක ගැන ඔබේ සිතට නගින පැන වලට පිළිතුරු පෙළක්!

මගේ සිසේරියන් කැළල වේදනා දේවිද?, දැවිල්ල ගනියිද? ඊළඟ ගැබ් ගැනීමට බලපායිද? මෙවන් ප්‍රශ්ණ ඔබේ හිතට පැන නැගීම සාමාන්‍යයි. හිතට වද දෙන පැන වලට පිළිතුරු සඳහා මෙය කියවන්න.

කුළුඳුල් දරු ප්‍රසුතියේදී මවුවරුන් අතලොස්සක් පමණක් ස්වකීය කැමැත්තෙන්ම සිසේරියන් සැත්කමක් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. නමුත් බහුතරයක් මවුවරුන් බොහෝ විට ප්‍රසුතිය ආසන්නයේ  ඉස්පිරිතාල ට්‍රොලියේ රෝද මත ශල්‍යාගාරය වෙත ඇදී යන්නේ සිසේරියන් සැත්කම ගැන දෙගිඩියාවෙන් ප්‍රශ්ණ දහසක් හිසේ රුවාගෙනයි. ශල්‍යකර්මය නිමා වී බොහෝ වෙලාවකට පසුවත් සිසේරියන් කැළල ගැන මවුවරුන් ලතවිල්ලෙන් පසු වන්නේ ඒ ගැන ප්‍රශ්ණ රැසක් පොදි බන්දගෙනයි.

කැළලේ ප්‍රමාණය හා  පිහිටි ස්ථානය

සිසේරියන් කැළලක සාමාන්‍ය නොහොත් නිවැරදි ප්‍රමාණය කොතෙක්ද යන්න බොහෝ මවුවරුනට පන නගින ප්‍රශ්නයක්. බොහෝ විට සිසේරියන් කැපුම අඟල් 4 සිට 6 දක්වා දිග විය හැකි තිරස් කැපුමක්. මෙම කැපුම සාමාන්‍යයෙන් බිකිනි රේඛාවට සමීප තබා ඇති අතර එය පිහිටන්නේ ඇඳුමෙන් වැහෙන තරමට පහතින්. කෙටි බ්ලවුසයක් ඇඳීමෙන් ආදිය මෙය පිටතට පෙනෙන්නේ නැහැ.

කොටින්ම කියතොත් ඔබ යට කලිසමක් නැතහොත් පිහිනුම් කලිසමක් ඇඳ ඕනෑ තරම් නැවුනත්, කැරකුනත් මෙම කැළල පිටතට පෙනෙන්නේ නැහැ.

මිට අමතරව ඇතැම් අවස්ථාවල සිසේරියන් කැපුමක් සිරස් අතටද සිදු කෙරෙනවා. එම කැපුම බුරියට පහතින් පටන් ගෙන යෝනි ප්‍රදේශයට ආසන්නව නොහොත් යටිබඩ දක්වා කෙරෙන කැපුමක්. අතීතයේ මෙම සිරස් කැපුම සුලභ වූ අතර වර්තමානයේ එය සිදු නොකරන තරම්. අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් මෙම සිරස් කැපුම සිදු කෙරෙන අතර නැතිනම් සාමාන්‍යයෙන් සිදු කෙරෙනුය ඉහත කී තිරස් කැපුම පමණක් වන නිසා සිරස් කැපුම ගැන අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.

පෙනුම සහ ආකෘතිය

සිසේසිරියන් ශල්‍යකර්මයෙන් මාස කිහිපයක් ගත වූ පසු සිසේරියන් කැළල රතු හෝ රෝස පැහැයක් දක්නට ලැබීම සාමාන්‍ය සිදුවීමකි. මෙය ඉදිමුමක හෝ ආසාදනයක පෙරනිමිත්තක් නොවන බැවින් භිය විය යුතු කාරණාවක් නොවේ. මෙය කැළල සුවවීමේ ක්‍රියාවලියේ කොටසක් වන අතර කාලයත් සමග එය පිටතට නොපෙනෙන තරමට අපැහැදිලි තුනී රේඛාවක් බවට පත් වන්නේ අතිශයින් තද පැහැයක් ගනිමින්.

දුර්ලභ අවස්ථා වල ඇතැම් සමහර මවුවරුන්ට කෙලොයිඩ් (keloids) තත්වයක් වර්ධනය වීමේ ප්රවණතාවයක් ඇති විය හැකි අතර, මෙම කැළැල් ඝණකමින් විය හැක මවුවරුන්ගේ කැළල යන්තම් ඉලිප්පී තිබෙන ස්වභාවයක් ගන්නට ඉඩ තිබෙනවා. මෙය කෙලොයිඩ් (keloids) තත්වයක් ලෙස හඳුන්වනවා. නුතන කාලයේ වෛද්‍යවරුන් මෙම තත්වය වැලැක්වීම සඳහා ක්‍රීම් හා ආලේපන වර්ග නියමිත කිරීම නිසා මෙම තත්ත්වයත් ඇති නොවන තරමට දුර්ලභ සිදුවීමක් වනවා. එම නිසා මෙම ඉලිප්පුණු ස්වභාවයක් ඇති විය හැක්කේ මවකට ජානමය වශයෙන් කෙලොයිඩ් තත්වයක් හට ගැනීමේ නොවැලක්විය හැකි හේතුවක් නිසා පමණයි.

සිසේරියන් කැපීමේ ඇදීමක්, දිගහැරීමක් වුවහොත් කුමක් සිදුවේද?

මෙය සිසේරියන් සැත්කමින් කාලයක් ගත වූ පසුවත් බොහෝ මවුවරුන්ගේ හිතට වැඩ දෙන ප්‍රශ්නයකි. ඔවුන් දරුවන් දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩියෙන් බිහි කිරීමට ආශාවෙන් පසු වුවත් නැවත පිළිසිඳගැනීමකින් විශාල වන උදරය නිසා මෙම කැළල ඇදීමෙන් හා දිගහැරිමෙන් ඇති විය හැකි බලපෑම  ගැන ඇති බිය නිසා දරුවන් බිහි කිරීමට මැලි වනවා.

සාමාන්‍යයෙන් සිසේරියන් කැළලක් සුව වූ පසු එය වේදනාවක්, කැසීමක් හෝ දැවිල්ල ගතියක් ඇති කරන්නේ නැහැ. කෙසේ නමුත් නැවත ගැබ් ගැනීමකදී නොහොත් ගර්භණි අවදියේ මෙම තත්වයන් ඇති විය හැකි බවට වාර්තා වන අතර ඒ ගැන දැනුවත්ව සිටීම සුදුසුයි. සති හයක් වැනි අවධියේ සිටම මෙම කැසීම ඇති විය හැකි බවට වාර්තා වනවා. 

මෙම කැසීම් තත්ව ඇති වූ විට මෙම කැළල පලුදු වේයැයි හෝ ඉරේදෝ යැයි බියජනක සිතිවිලි ඔබේ සිතට පහල වනවා නොඅනුමානයි. ඔබට ඉඳුරා කිව හැක්කේ නැවත ගර්භනී වීමෙන් කැළලෙහි කැසීම් ඇති වුවත් මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්වයක් වන අතර බිය විය යුතු තත්වයක් නොවන බවයි. එම නිසා අනවශ්‍ය බියක් ඇති කරගැනීමට කිසිම හේතුවක් නැහැ.

සිසේරියන් සැත්කමකින් පසුව නැවත ගැබ් ගැනීමක සැබෑ අනතුර වන්නේ තුවාලයේ අභ්‍යන්තර සුවයයි. විශේෂයෙන් ඔබේ සිරුරට තුවාලයේ සම්පුර්ණ සුවය සිදු වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුනහොත්  ඊළඟ දරු ප්‍රසූතියේදී ගර්භාශයේ ඇතිවන සංකෝචන, දිගහැරීම් ආදිය නිසා ගර්භාෂ බිත්තියේ සුව නොවූ තුවාලයට බලපෑම් ඇති වී අභ්‍යන්තර තුවාලයේ ඉරීම් සිදුවිය හැකි වීමයි. මෙම තත්වය වැලැක්වීම සඳහා ඔබේ නාරි වෛද්‍යවරයා ප්‍රසූත වේදනාවන්ට ප්‍රථමයෙන් (ගර්භණි සමයේ පුර්ණ කාලයට පෙර) සිසේරියන් සැත්කමක් මගින් දරුවා ප්‍රසූත කරන්නට කටයුතු කරාවි.

සෑම ප්‍රසූතියක් සමඟම අලුත් සිසේරියන් කැළැලක් ඉතිරි වේද?

නැත. සාමාන්‍යය තත්වය නම් සැම ප්‍රසුතියක් සමඟම නව කැළලක් නොතිබීමයි. බොහෝ මවුවරුන් හඳුන්වන පරිදි පළමු කැළල සිපර් ‘zipper’ එකක් සේ කටයුතු කරනවා. එම නිසා සැම ප්‍රසුතියයක් සමගම විවර කරනුයේ මෙම පළමු කැළලයි. මෙම කැළල විවර කෙරිය හැකි උපරිම වාර ගණනක් තිබේදැයි නිශ්චිත සඳහනක් නැහැ. ඉතින් මෙම කැළල කිහිප වරක්ම විවර කරමින් යලි වැසීම සාමාන්‍ය සිදුවීමක්.

කැළල වටා ඇති සංවේදී භාවය

කැළල වටා හිරි ගතියක් දැනේ නම් තැති ගන්නට අවශ්‍ය නැහැ. කැළල වටා ඇති මස් පිඩු වල බුරුල් ගතිය හා හිරි ගතිය සාමාන්‍ය දෙයක්. ඇතැම් මවුවරුන්ට මාස කිහිපයකට පසුව මෙම හිරි ගතිය පහ වී යන අතර තවත් අයට එය දිගටම පවතින තත්වයක් වනවා. මෙය සාමාන්‍ය දෙයක්. එන හැටියට මෙම තත්වයට මුහුණ දිය යුත්තේ මෙය බිය වීමට කාරණාවක් නොවන නිසයි.

මවුවරුන්ගේ අත්දැකීම්

සිසේරියන් සැත්කමින් පසු සුවවීමේ ක්‍රියාවලිය ගැන අප මවුවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළා. බොහෝ මවුවරුන් පැවසුවේ සැත්කමට භාජනය වූ මුල් අවශියෙන් පසුව ඔවුනට කැළලක් තිබේ දැයි මතකයේ වත් නොතිබූ අතර ඒ ගැන යලි සිහිපත් වුයේ ඊළඟ ගර්භණි සමයේදී බවයි.

ඇතැම් මවුවරුන් ගර්භනී සමයේදී කලින් කලට ඉතාම ලාවට කැළැලේ ඇති වූ වේදනාවන් හා කැසීම් ගැන සඳහන් කළා. අනෙක් මවුවරුන් සඳහන් කලේ මාස කිහිපයකට පසුවත් වෙහෙසකර ව්‍යායාම වල යෙදුනු විට, බර ඉසිලූ විට හෝ පඩි නගින විට තුවාලයේ යම් වේදනාවක් ඇති වූ බවයි.

ඉතාම දුර්ලභ අවස්ථා වලදී යම් වේදනාවක් වසර කිහිපයක්ම පවතිනවා. මා දන්නා මිතුරියකගේ මවකට වසර 32කට පසුවත් යම් වේදනාවක් හා කැසීම් ඇති බව අසා මා මවිතයට පත් වුනා. නමුත් අද කාලයේ තාක්ෂණය හා වෛද්‍ය දැනුම ඒ කාලයට වඩා බොහෝ ඉදිරියට ඇවිත් තිබෙන බව සතුටට කරුණක්.

අවසාන වශයෙන් කිව යුත්තේ සිසේරියන් සැත්කම අද කාලයේ ඉතාමත්ම සුලභ ප්‍රසුත ක්‍රමයක් වන බවයි. දළ වශයෙන් සැම ප්‍රසූත දහයකින් තුනක්ම සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් සිදුවන අතර වර්තමානයේ ඇමරිකාවේ ප්‍රධානතම ප්‍රසූත ක්‍රමය වන්නේ සිසේරියන් සැත්කමයි. බොහෝ අවස්ථා වල සැත්කමින් පසු සුව වීමේ ක්‍රියාවලිය පහසුවෙන් සිදුවන්නක්.

පුද්ගලිකව, වසර 5ක් ඇතුලත සිසේරියන් සැත්කම් 4කට භාජනය වූ මවක් හැටියට මට කිව හැක්කේ මා අනෙක් මවුවරුන් සේම විනෝද සුවයෙන් සිටිනා තවත් මවක් වන බවයි. පුංචි කැළලකට මගේ ජීවිතය පුංචි හෝ බරක් ඇති කරන්නට මගෙන් නම් ඉඩක් නැහැ. ඉතින් අම්මියෝ, සිසේරියන් කැළලක සැත්කමක ආනිසංස ගැන අනවශ්‍ය ලෙස තැවීමට ඔබේ සිත් පොඩ්ඩට ඉඩ දෙන්න එපා!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා