හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)ට ගොදුරු වූ මොළකැටියාගේ මවගේ සෝචනීය අත්දැකීම

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය වැනි සිදුවීම් වලින් පීඩා විඳින මාපියන්ව තවත් පිඩාවට පත් නොකොට දුක තුරන් කරගැනීමට ඔවුනට හැකි උපකාරයක් කරන්න.

ළදරු මරණයක් කියන්නේ දුක මෙතෙකැයි කියා පහදන්නට නොහැකි වේදනාකාරී සිදුවීමක්. නොයෙක් හේතුන් නිසා ළදරු මරණ සිදු වන්නට පුළුවන් වුවත් මේ කියන්නාවූ හේතුව ඒ අතුරින් ඉතාමත්ම වේදනාකාරී එකක් යැයි හැඟෙන්නේ එහි ඇති අන්ත අනපේක්ෂිත බව නිසායි.

එවන් අන්ත අනපේක්ෂිත ඛේදනීය අත්දැකීමකට මුහුණ දුන් ආදරණිය අම්මෙකුගේ කඳුළු කතාව ඇගේම වචන වලින් ඔබ වෙත ගෙන එන්නේ විශේෂයෙන්ම මෙවන් සිදුවීම් නිසා දෙමාපියන් තුල ඇති වන මානසික තත්වය ගැන විවෘත මනසකින් දකින්නට ඔබට අරාධනා කරමින්.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය විසින් බිලි ගත් පුංචි පුතු ගැන කියන ගිහානිගේ කතාව

​තුන් දෙනෙකුගෙන් යුත් අප පවුලේ අපගේ එකම පුතු හා සතුටින් ජීවිතය ගෙවූ අපට දෙවැනි දරුවකුගේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට පටන් ගත්තා.

ඉතිං දෙවෙනි දරුවාට මා ගැබ්ගෙන ඇතැයි දැනගත් විට ඇතිවූ සතුට මෙතෙකැයි කියා වචන වලින් කියා නිම කරන්නට බැහැ. දෙවැනි දරුවා මෙලොව එළිය දකින කල් මම හිටියේ නොඉවසිල්ලෙන් මග බලාගෙන.

ඒ සිහින සැබෑ කරමින් දෙවන වරටත් පුංචි පුත්‍ර රත්නයක් මෙලොව එළිය වැඩියා.

​​එදා අපි තුන්දෙනාටම දැනුණේ පුදුමාකාර සතුටක්. මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පවුල අපේ පවුල කියා අපිට එදා හිතුනා. ලොකු පුතා එයාගෙ චූටි මල්ලිට ගොඩාක් ආදරය කළා.  එයා හැම වෙලාවෙම පුංචි පුතා සිපගත්තා. බොහොම ප්‍රවේශමෙන් එයාව අත පත ගෑවේ. මෙය මට විශාල මානසික සහනයක් වුණා.

පුංචි පුතා එයාගේ කාමරේ සැනසිල්ලේ නිදා ගත් අතර ලොකු පුතා නිදියගත්තෙ අපිත් එක්ක. ලොකු පුතා කිරි බොන්න සාමාන්‍යයෙන් රෑ මැද හෝ පාන්දර ඇහැරුණු නිසා. පුංචි පුතා සාමාන්‍යයෙන් මුළු රැයම හොඳින් නිදාගත්තා. බොහෝ අවස්ථාවල පාන්දර 6.30 වෙනකම්.

පසුගිය ජනවාරි පස්වැනිදා ඒ වගේම තවත් එක් උදෑසනක්. මගේ සැමියා රුසිරු වෙනදා වගේ ඇහැරිලා මගෙන් ඇහුවා මම වැඩට යනව ද කියා. මම එදින වැඩට යන්නේ නැති බව ඔහුට කියා හිටියා. කුමක් හෝ හේතුවකට එදා මට දරුවන් සමග සිටින්නට වුවමනා වුණා, මේ නිසා මම වැඩට ගියේ නැහැ.

කලබලයක් නැතිව මම හිමීට ඇඳෙන් බැහැගත්තා. ලොකු පුතා හොදටම නිදි. සද්ද බද්ද නැතිව මං පුංචි පුතා බලන්න ගියා. පුංචි පුතාත් කිසිම හැලහොල්මනක් නැතිව බොහොම සනීපෙට නිදාගෙන හිටියා.

රුසිරු හිටියේ එයාගේ ඇඳුම් ස්තිරික්ක කරමින්. මම එයා ගාවට ගිහින් කිව්වා පොඩි පුතා බොහොම සනීපෙට නිදාගෙන ඉන්නවා අද ඇඬුවේවත් නැහැ කියලා. රුසිරු පුංචි පුතාගේ කාමරයට ගිහින් පොඩ්ඩා දිහා බලල කිව්වා ,"ඇහැරුනත් කමක් නැහැ මං මෙයාව අනික් පැත්තට හරවනවා" කියලා.

හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය

පුංචි පුතා හරවන්නට ඔහුගේ ඇඟට අත කියනවාත් සමගම රුසිරුට මොනවද වුනා. ඔහු හයියෙන් කෑ ගහන්නට පටන් ගත්තේ පුතාගේ ඇඟ සීතලයි කියල.  රුසිරුගේ අමුතු හැසිරීම දැක මට මොනවා වුණාද කියලා හිතා ගන්නට බැහැ එකපාරටම පිස්සු හැදුනා වගේ.

මම වහාම 119 ඇමතුවා. දරුවාව ඉක්මනටම රෝහලට රැගෙන යන්න කියා ඔවුන් අපට කීවා.

දෙපාරක් හිතන්නේ නැතුව ගෙදර සේරම වාහනේට නැග්ගා. අපේ ගෘහසේවිකාව, ලොකු පුතා සහ අපි හැමෝම වාහනයට වහාම නැගගත්තේ ලොකු පුතාගේ කිරි එක ගැනවත් හිතන්නේ නැතුව. අපට ළඟින්ම තිබුණු හොරණ රෝහලට අපි ගියේ.

මෙහිදී සිදු වූ සැම දෙයක්ම අකුරක් නෑර කියන්නට අමාරු උනත් උදෑසන 6.15 සිත 6.50 දක්වා අපි මුහුණ දුන් මේ අත්දැකීම  විනාඩි කිහිපයක් වුවත් මට දැනෙන්නෙ කල්පයක කාලයක් වගේ.

රුසිරු කොහොම වාහනය ධාවනය කළාද කියා අදටවත් මට හිතාගන්නට බැහැ. වාහනයට නැගුනු පසු මගේ පුංචි පුතාගේ හෘද ස්පන්දනය මට දැනුනා.

මම දන්නා හැම අම්මා කෙනෙක්ගෙම සිහිනය සහ බලාපොරොත්තුව තමන්ගේ දරුවා රෝග පිඩා වලින් මිදී සුරක්ෂිතව ලොකු මහත් වන එක.

මට තාම මතකයි රුසිරු මට අපේ පුතා ජීවතුන් අතර නැතැයි කියපු මොහොත.

මම විකාරෙන් වගේ කෑ ගැහුවා. මට ඒ කියපු දේ විශ්වාස කරන්නටම බැරි වුණා...

වෛද්‍යවරුන් පැවසුවේ පුතා මිය ගිහින් පැය දෙකකටත් වැඩි බවයි. ඒත් මම ඒක විස්වාස කරේ නැහැ මට විශ්වාස කරන්නට බැහැ මගේ පුංචි පුතාට කිසිම ආකාරයක රෝගයක් තිබුණෙ නැහැ කිසිම අමාරුවක් තිබුනෙත් නැහැ ගහක් ගලක් වගේ ඉඳලා පුතා නැතිවුණා කියන දේ මට කොහොමටවත් ම විශ්වාස කරන්නට බැහැ.

පුංචි පුතා නිදා ගන්නට කලින් මා එක්ක සෙල්ලම් කරමින් හිටියේ. ඔහු මා එක්ක හිනහ වුනා, කතා කළා, දැඟලුවා, මෙහෙම දෙයක් නම් වෙන්නට කොහොමටත් වෙන්න විදිහක් නැහැ.

මේ පණිවිඩය කියපු පිරිමි වෛද්‍යවරුන් දෙදෙනා මට බැණ වැදුනා මට කෑ ගැහුවා මන් දරුවා දිහා උවමනාවෙන් බලපු නැති බව කියමින් මට අපහාස කළා.

මගේ ලොකු පුතාට අවුරුද්දයි මාස හතරක් මගේ පුංචි පුතාට මාස හතරයි දවස් විස්සයි.

මෙම වයස් පරතරය අලලා අපට බැන වැදුණු විධිය අපහාසාත්මකයි. අප දෙවැනි දරුවා ගෙනාවේ අපේ නාරි වෛද්‍ය වරයා මෙන්ම සෞඛ්‍ය සේවිකාව ද අපට එහි කිසිදු හානියක් නැතැයි උපදෙස් දුන් පසුවයි. දරුවන් නිවුනු වාගේ ලොකු මහත් වේ යැයි ඔවුන් අපට උපදෙස් දුන්නා.

ඉතින් මේ සිතිවිලි වලින් දැන් පලක් නැහැ. මගේ දරුවා මෙලොවින් සමු අරන් ඉවරයි. මට කෑ කෝ ගසමින් බැන වදින වෛද්‍යවරුන් දෙදෙනා ඉදිරියේ මම අසරණව  හඬා වැලපුනා. මම හිටියේ මගේ නිදි ඇඳුමට උඩින් T-shirt කමිසයක් ඇඳන්. මට දැනුනේ මගේ වටේටම ලෝකය කරකැවෙන බවක්. මුළු ලෝකයම මට බැන වදින බවක්. මේක මහා භයංකර හීනයක් ලෙස හැඟුනා.

මගේ හිස ඇතුලේ, හිත ඇතුලේ කැළඹුණු සිතිවිලි සමුදාය තුල මට හැඟුනේ දියේ ගිලෙන්නට පොර බදින මා රළ පෙළ සමඟ සටන් කරනවා වගෙයි. “මගේ පැටියාගේ හුස්ම නැවතී තිබියදී මම නිදා ගත්තේ කොහොමද? මම මොන තරම් නපුරු අම්මෙක්ද? මට මොකුත් නොතේරුනේ ඇයි? මගේ පැටියාට මම යන්න දුන්නේ ඇයි?”

මගේ පැටියාගේ නිසොල්මන් සිරුර ඉවරයක් නැතිව මා සිප වැළඳගත්තා. මට එක ත්ත්පරයකටවත් ඔහුගෙන් ඈත් වන්නට උවමනා වුනේ නැහැ. මම පැටියා වැළඳගන්න හැම මොහොතකම වට පිට අයට මා එතැනින් ඉවත් කරන්නට සිදු වුනා. මට මගේ සිතිවිලි දරාගන්නට අමාරු වුනා. මගේ පැටියාගේ නිසල දේහය නරඹන්නට ඔහු අවට සෙනඟ රොක් වුනා.

මෙය කියවන ආදරණීය අම්මලාට මා තේරුම් ගන්නට පුළුවන් යැයි සිතනවා. මාස නවයක් මගේ කුසේ හොවාගෙන, ජල පැස හිඳී ගොස් තිබී හෙයින් ඔහු ප්‍රසූත වූයේ මහත් අපහසුතා මැද. නමුත් සිනහසෙමින් මෙලොව එළිය දුටු පැටියා ක්ෂණයකින් අප දමා යන්නට ගියේ මා කඳුළු විලක නහවමින්... අනේ මෙය නපුරු හීනයක් පමණක් නම් මොන තරම් හොඳද?

අපට පොලීසියට යන්නට කියා සිටි හෙයින් රුසිරු බලෙන්ම මාවත් ලොකු පුතුවත් වාහනයට නංවා ගත්තා.

අප යලිත් නිවසට එන විට නිවසට ආ ජනකාය අතරට මාධ්‍ය ආයතන වලින්ද පැමිණ සිටියේ සිද්ධිය ගැන වැඩි විස්තර සොයාගෙන. මේ වන විට දරුවා නැති වීමට හේතුවක් අප කිසිවෙකුට පැවසුවේ නැහැ. අපට වුවමනා වුනේ අපගේ ශෝකය දරාගන්නට මගක් සොයාගන්න්ටයි. නමුත් අප වෙත ආ අසල්වැසියන්, සහ නොයෙක් පිරිස් අපට කෑ මොර ගසමින් බැන වැදුනා. මගේ එකම බලාපොරොත්තුව වූයේ කවුරුන් හෝ ම වෙත විත් ‘මේ කිසිවක් ඇත්තක් නොවේ, හීනයක් විතරයි’ කියා කියන්නටයි.

කෙසේ නමුත් පසුවදා වන තුරුම දරුවාගේ දේහය ලබාගැනීමට හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අනුමැතිය ලැබුනේ නැහැ. ඉන්පසු දරුවාගේ දේහය පානදුර රෝහල වෙත මාරු කරනු ලැබුවා.

සංත්‍රාසය සහ ශෝකය පිරි ජිවිතයේ දිගුම පැය ගණනකට පසුව දරුවා හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය නොහොත් Sudden Infant Death Syndrome (SIDS) තත්වයට මුහුණ දී මරණයට පත්වූ බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් දැනුම් දෙනු ලැබුවා. ඔහු තව දුරටත් කියා සිටියේ මෙය වාසනාවන්ත මරණයක් බවත් දරුවා කිසිඳු පීඩාවකින් හෝ හුස්ම හිරවිමකින් තොරව අවසන් හුස්ම හෙලූ බවත්ය.  

දරුවා මිය ගිය වෙලාවවත් හරි හැටි තීරණය කරන්නට අපහසු අතර දරුවා තවම නින්දේ යැයි දරුවා සිතනු ඇති බව ඔහු අපට පැවසුවා. දරුවා එම අවස්තාවේ සිටියේ මගේ ඇකයේ වුවද හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය තුලින් දරුවා මිය යනු ඇතැයි ඔහු පැවසුවා. මා ඔහේ අහගෙන සිටියා. නමුත් මට ඇහෙන්නේ මොනවාදැයි කියා පැහැදිලි අවබෝධයක් මට තිබුනේ නැහැ. මේ දින දෙක තවමත් මගේ මනසේ අපැහැදිලි, අඳුරු සිත්තම් පෙළක් විතරයි... මගේ දරුවා දුක් නොවිඳි බව මට යම් සහනයක්. ඔහු සැබවින්ම සුර දූතයෙක!

ජනවාරි මස 6 වනදා අප පැටියා මිහිදන් කළා. හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය විසින් බිලිගත් මගේ රන්කැටි පුතුගේ දේහය ලී පෙට්ටියක් තුල දමා මහපොළවේ පසට යට කිරීම මම මොන හිතකින් දරාගන්නද?

මම මහත් ආත්මාර්ථකාමී මවක්. මට දරුවාට හරිහැටි සමුදෙන්නට බැරි වුනා. කිසිදා හැකි වන්නේත් නැහැ. මට මේ දුක දරාගන්නට දේව ශක්තිය මා ප්‍රර්ථනා කරනවා.

පසුදින අපගේ මේ තතු පුවත්පත් වල පල වී ඇති බව අපට ආරංචි වුනා. හැම පැත්තෙන්ම අපට දෝශාරෝපනය කෙරෙන බව දැනගන්නට ලැබුනා. අප හා සුහදව සිටි අය අද වන විට අපේ මුහුණ බලන්නේ නැහැ. අපි පන්සලට ගිය අවස්ථාවේ හාමුදුරුවෝ අපෙන් ඇසුවේ දරුවා නිල් පැහැ ගත්තේ කුමක් නිසාද කියායි. අපට හිතාගන්නට බැරි වුනා මිනිසුන් අතර පැතිර ගිය නානාවිධ කතන්දර කොහෙන් කොහොම ආරම්භ වුවාද කියා.. තවත් කටකතාවක කියැවි තිබුනේ දරුවාගේ ගෙල වටා නියපොතු පහරවල් තිබුණු බවයි.

මගේ දරුවාගේ මරණය අප අතින් සිදු වූ වරදක ප්‍රතිඵලයක් නොවේ යැයි තහවුරු කරන අතරම, මෙතරම් සවිස්තරාත්මකව මගේ අත්දැකීම ඔබ වෙත ගෙන එන්නට තව හේතු කිහිපයක් තිබෙනවා.

1   දරුවන් අතර හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය නොහොත් Sudden Infant Death Syndrome (SIDS) යැයි අවාසනාවන්ත අවධානමක් ඇති බව මා දැන් දනිමි, මේ හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය නිසා දෙමාපියන්  මුහුණ දුන් තවත් එවැනි අත්දැකීමක් ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

2  මව්වරුනි, මෙවන් සිදුවීමකදී ඔබ ඔබටම ශාප කරගන්නට එපා! ඔබ දරුවාට ඇති ප්‍රේමයේ සහ කැපකිරීමේ තරම, අන් යට වඩා ඔබ හොඳ හැටි දන්නා බැවිනි.

3 ඕනෑම දෙමාපියෙක් හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය තුලින් පමණක් නොවෙයි වෙනත් හේතුවකින් හෝ දරුවෙකු නැති වීමේ ශෝකයෙන් දැවෙන විට ඔවුනට හැකි අයුරින් දුක දරාගන්නට උපකාර කරන්න. ඔවුන් තවත් පිඩාවට පත් කිරීමෙන් ඔබට ලැබෙන කිසිඳු වාසියක් නැති බැවිනි.

මගේ පුතු පැටියා අපට හිතවත්, අහිතවත් කවුරුන්දැයි පෙන්වාදෙන්නට ආ සුර දූතයෙක් සේ දකිමි.

මගේ සැමියා රුසිරු, හොඳ පියෙක් මෙන්ම ස්වාමිපුරුෂයෙක් ලෙස ශක්තිමත් වන්නට තව තවත් උත්සාහ ගන්නවා. මම එය බෙහෙවින් අගය කරනවා. මවක් ලෙස මෙම හැඟීම් දරාගැනීම, ඊට ප්‍රතික්‍රියා කිරීම මට විශාල අභියෝගයක්. දරුවා නිවසේ සෑම තැනකම මට මැවී පේනවා. ඔහුගේ කටහඬ ඇහෙනවා.

අවසාන වශයෙන්, මෙවන් ශෝකයක් අන් කිසිඳු මවකට, පියෙකුට අත්දකින්නට නොලැබේවා කියා ප්‍රර්ථනා කරන අතර ලොවක් දොස් දකිද්දී මා පසුපස හිඳිමින් මට නිරතුරු දිරි දුන් මගේ ආදරණීය සැමියාටත්, දෙමව්පියන් පවුලේ හිතවතුන්ටත් මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා.