හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

lead image

දරුවන් හදාවඩා ගැනීම පහසු නැතත් ඔවුන්ව තේරුම් ගැනීම තුළින් අනාගතයට හරි ආකාරයෙන් මුහුණ දීමට හැකි හොඳ දරුවෙක් ලෝකයට දායාද කරන්න පුළුවන්.

හැම දෙමාපියකුගේම  සිහිනය නිරෝගී නැණවත් හොඳ දරුවෙක් සිටිනු දැකීමයි.  පාසලේදී දක්ෂතා දක්වන දරුවන් වැඩිහිටියන් වූ පසුවත් පුදුම හිතෙන දක්ෂතා දක්වනවා. මෙය ඇත්තටම නරක ඉලක්කයක් නෙමෙයි. නමුත් දෙමාපියන් ලෙස ඒ ගැන උවමනාවට වඩා බලාපොරොත්තු තබාගැනීම හොඳ නැහැ. විශේෂයෙන් අධ්‍යාපනයේදී.

මැද මාවතකින් දරුවන් ඇති දැඩි කිරීම දරුවන්ගේ අධ්‍යාපනයට වගේම සෞඛ්‍යටද ප්‍රතිඵල දායක බව පර්යේෂණ මගින් දක්වා තිබෙනවා.

දරුවෙකුගේ ජයග්‍රහණය අධ්‍යපනයෙන්ම පමණක් මනින්න බැහැ. අධ්‍යාපනය පමණක් නොව අනෙකුත් අත්දැකීම්ද දරුවෙකු සම්පූර්ණ කරන්න වැදගත්. නමුත් අධ්‍යාපනයට උවමනාවට වඩා දරුවන් යෙදවීම මගින් දරුවන්ගේ ජීවිතය සමබර තාවය හා සාර්ථකත්වය ගිලිහී යන්නට පුළුවන්.

හොඳ දරුවෙක් හදාගන්න:

දරුවන්ට ඔවුන්ගේ දේවල් වලට නිදහස දීම

How to raise an Adult නම් කෘතියේ ජුලි ලිත්කොට් හැයිමස් විසින් පවසන ආකාරයට දරුවන්ට නිදහස ලබාදීම තුළින් වාසි රැසක් අත්වන බව බවයි. නිදහස්ව හැදෙන දරුවන් අධ්‍යාපනයේද කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන බවත් පසුකාලීනව එය ඔවුන්ගේ වෘත්තියට බලපෑම් ඇති කරන බවත් පැවසෙනවා. ඒ වගේම මෙලෙස හැදෙන දරුවන් සම්බන්ධතා හා අනුන්ගේ වේදනාවන් කරදර හඳුනා ගන්නා බවත් පැවසෙනවා. ඒ වගේම ස්වාධීනත්වය හා ඔවුන්ට ගැටළු විසඳීමේ හැකියාවද වර්ධනය වන බව පැවසෙනවා.

හැමදේම දෙමාපියන් ඉටුකර දීමට යාමෙන් දරුවන් ජීවිතය ඉතා පහසු එකක් ලෙස තේරුම් ගැනීමත්, අවසානයේ හැමදේම පහසුවෙන් ඉටු වන බවටත් තේරුම් ගන්නවා. නමුත් මහන්සියක් දැරීමෙන් පමණක් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව තේරුම් ගැනීමෙන් ඔවුන්ට යෞවන වියේදී ලෝකයේ බැරෑරුම් බව වටහා ගන්නට පහසු වෙනවා.

දෙවන භාෂාවක් ඉගෙන ගැනීමේ වැදගත්කම කියා දෙන්න

සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවක් ඉගෙනීම මගින් ලෝකයට යන ඔවුන්ට ගණුදෙනු කිරීමත් නව දේවල් සොයා යාමට ඇති අවහිරයන් මගහැරිමටත් අවස්ථාව සලසා දෙනවා.

සංවේදී බුද්ධිය ගැන වටහා දෙන්න

හුඟක් වෙලාවට ව්‍යාකූල හැඟීම් වටහා ගන්න දරුවන්ට අපහසුයි. නමුත් එය කළනොහැකි දෙයක් නොවෙයි. දරුවන්ගේ වැඩීම සමග ඔවුන් අවට ලෝකයේ බොහෝ දේවල් උකහා ගන්නවා. ඒ වගේම වැඩිහිටියන් ඒවාට ක්‍රියාකරන ආකාරයද අධ්‍යනය කරනවා.

හුඟක් සංවේදී අවස්ථාවන් දරුවන්ට නොපෙන්වා ඉන්නට දෙමාපියන් උත්සාහ දරනවා. නමුත් සිදුවිය යුත්තේ සත්‍ය දරුවාට වටහා දීමයි. ඉන් දරුවන් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ඉගෙන ගන්නවා.

දරුවන්ට සංවේදී අවස්ථාවන්ට මුහුණ දීමට සැලැස්වීමෙන් ජීවිතයට මුහුණ දෙන්න හොඳ අවස්ථාවක් ලබාදෙනවා. ඒ වගේම මෙලෙස හුරුවන දරුවන් ඉතා සංවේදී මෙන්ම අන්අය අතර අවබෝධයෙන් කටයුතු කරන්න ගන්නවා. ඉතා නැණවත් තීරණ ගැනීමටත් සබඳතාවයන් ඉතා සාර්ථකව හසුරවා ගන්නත් ඉන් ඔවුන් පන්නරය ලබා ගන්නවා.

ඔවුන්ව ඇගයීමට ලක් කරනවා

දරුවන් කරන හැමදේම සාර්ථක නැතත් කුඩා ඇගයීමකින් ඔවුන් විශාල පන්නරයක් ලබාගන්නවා. ඔවුන් දක්ෂ නැතත් ඔවුන් කැමති විෂයන්ට උදවු කිරීම වැදගත්. දරුවා චිත්‍ර හෝ සංගීතයට කැමති නම් ඊට යොමු කිරීම සමහර විට චිත්‍ර පොතක් පාට කූරු ටිකක් අරන්දීම වැනි සුළු දෙයකින් එය අරඹන්න පුළුවන්.

ඔවුන්ගේ කුතුහලයට ඉඩ දෙන්න. ඉන් ඔවුන්ගේ නිර්මාණශිලිත්වය වැඩිවන අතර ඉතා බුද්ධිමත් දරුවන් බිහිවෙනවා.

ඔවුන් නගන ප්‍රශ්න වලට මගහැර නොයා ඊට පිළිතුරු දෙන්න. පිළිතුරු සමහර විට ඔවුන් තුළින්ම ලබාගන්න. දරුවන් හිතන තරම් දක්ෂතා පාසලේදී නොදැක්වුවත් ඔබේ අගය කිරීමෙන් ඔවුන් ඔබ නොසිතන ජයග්‍රහණ කරා යන්නට පුළුවන්.

ඔවුන්ට තීරණ ගන්න දෙන්න

දරුවන්ට තීරණ ගන්න ඉඩදීම තුළින් ඔවුන් තුළ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. නමුත් ඉන් කියවෙන්නේ දරුවන් හැසිරවීමක් හෝ පාලනයෙන් තොරව ලොකුමහත් විය යුතු යැයි නොවේ.

නමුත් පුංචි පුංචි තීරණ උදාහරණයක් ලෙස අඳින ඇඳුම්, රාත්‍රී කෑම වේල වැනි දේවල් තීරණය කිරීමට දීමෙන් ඔවුන් පවුල තුළ වැදගත් අය ලෙස හැඟී යනවා. එය සාර්ථක වීම තුළින් ඔවුන්ට ඇති තීරණ ගැනීමේ හැකියාව ගැන ඔවුන් තුළම ආඩම්බරයක් ඇති වෙනවා.

දරුවන් හදාවඩා ගැනීම පහසු නැතත් ඔවුන්ව තේරුම් ගැනීම තුළින් අනාගතයට හරි ආකාරයෙන් මුහුණ දීමට හැකි හොඳ දරුවෙක් ලෝකයට දායාද කරන්න පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ