Ransomware පරිඝණක වෛරසයෙන් මාපිය අපට බලපෑමක් තිබේද?

පරිඝනක වයිරස් අසාදන අපගේ පවුලට බලපාන්නේ ආකාරයත්, ඉන් මිදෙන ආකාරයත් ගැන දැනුවත් වමු.

මාස කිහිපයකට පෙර සියලු විද්‍යුත් මාද්‍ය ඔස්සේ Ransomware වෛරසයක් වන WannaCry යන අනිෂ්ට මෘදුකාංගය ගැන බහුලව කතා වුනා. දින කිහිපයක්ල තුලදී රටවල් සියයකට වඩා පරිඝණක ජාල මෙම වෛරසයට ගොදුරු වූනා. 

Newsfirst අඩවියේ පල වූ පුවත අනුව මෙම වෛරසය සති අන්තය තුල මන්දගාමිව ව්‍යාප්ත වුවද, මෙයින් පරිඝණක ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට බලපෑම් වී ඇති බවයි වාර්තා වන්නේ. නොසිතූ වේගයෙන් ව්‍යාප්ත වී ලොව කැලඹු මෙම වෛරසය දැන් පාලනය වී ඇතත් නුදුරු අනාගතයේ මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර සිදුවිය හැකි බවට අනතුරු ඇඟවෙනවා.

Ransomwareහි විශේෂත්වයක් වන්නේ එය පරිඝණකයක දත්ත සියල්ලක්ම අතුරුදහන් කරනවා පමණක් නොව, ඒවා යලි ලබා  දීමට විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටීමයි.

මෙම ප්‍රවුත්තියෙන් මාපිය අපට බලපෑමක් නැතැයි හැඟුනද, විදෙස් වාර්තා අනුව එංගලන්තයේ රෝහල් පවා මෙයින් මොහොතකට අක්‍රිය වූ බවත් වෛද්‍යවරුන් පොත් පැන්සල් උපයෝගී කරගනිමින් රෝගීන්ගේ කටයුතු පවත්වාගෙන ගිය බවත් දැනගත් විට අප ජිවිත පවා පරිඝණකයක් මත රැඳී ඇති සෙයක් මොහොතකට හැඟී ගියා.

අද පරිඝණකය හා ජංගම දුරකථන අප එදිනෙදා ජීවිතය ආක්‍රමණය කර තිබෙනවා. අපගේ දින දසුන්, කෙටි පණිවුඩ, දුරකථන අංක, ගී එකතුවන් පමණක් නොව, සියලු වැදගත් වාර්තා, ලිපි ලේඛන කැටිවූ ඊ-මේල් ගිණුම් සහ වැදගත් අවස්ථා ග්‍රහණය කරගත් වීඩියෝ පට හා චායරූපද අපගේ ජංගම දුරකථන හරහා අන්තර්ජාලයේ තැන්පත් වී තිබෙනවා.

අපගේ බැංකු ගිණුම් සියල්ලම පාහේ පරිඝණකගත කර ඇති අතර අප බොහෝ දෙනෙක් බැංකු ගණුදෙණු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ. ඔබ ඔබේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඊට අදාල ලිපි ගොනුද බොහෝ විට තැන්පත් කරන්නේ පරිඝණක තුළයි.

ලෝකයේ විශාලතම රටවල් වල රාජ්‍ය අමාත්‍යයංශ හා සෞක්‍ය දෙපාර්තමේන්තු අඩපණ කිරීමට මෙවැනි මෘදුකාංග සමත් වේ නම් අපගේ දත්ත තොරතුරු අතුරුදහන් කිරීම ගැන කුමන කතාද? මේ නිසා මෙය පාඩමක් කොට ගෙන අපගේ සියලුම දත්ත තොරතුරු හා වැදගත් ලිය කියවිලි ඇතුළු සියලු දත්ත ආරක්ෂා කර ගැනීමට යුහුසුළු විය යුතුයි.

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන පරිදි ඉදිරියේදී පරිගණක මෘදුකාංග වලට මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල විය හැකි අතර ලොව පුරා අදාල බලධාරීන් ඊට පිළියම් නොයෙදුවොත් පරිගණක මෘදුකාංගවලට ලොකු විනාශයක් සිදුවිය හැකි බවට පෙන්වා දෙනවා.

කෙසේ නමුත් අප පවුලේ සියලු ඉලෙක්ට්රොනික දත්ත වාර්තා ආරක්ෂා කරගත හැකි මාර්ග කිහිපයක් සලකා බලමු.

1. ගොනු පද්ධතියක් පවත්වාගෙන යාම (Filing System)
අප කාර්යාලයේ මෙන්ම නිවාස තුළද පුංචි ලිපි ගොනු පද්ධතියක් පවත්වාගෙන යාමෙන් ඕනෑම අවස්ථාවක අවශ්‍ය වැදගත් ලිපි ලේඛණ පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමත් ඒවා සයිබර් ප්‍රහාර වලට ලක් නොවීමත් නිසා එදිනෙදා කටයුතු පහසු වෙනවා. මේවා සෞක්‍ය, බැංකු, බිල්පත් යනාදී වශයෙන් සංවිධානය කරගත හැකියි.

2. දත්ත උපස්ථ කර තිබීම (Data back-up)
අප ගන්නා චායාරුප, වීඩියෝ පට හා අනෙකුත් දත්ත මසකට වරක් සේ කාලීනව ච්ඩ් තැටියක, hard disk එකක හෝ පරිභාහිර වූ වෙනම තොරතුරු ගබඩා කරන උපාංගයකට back-up කර ගැනීමෙන් දත්ත සුරක්ෂිතව හා දිගු කාලීනව පවත්වාගෙන ය හැක.

3. ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන කීරීම (Virus Protection)
අපගේ පරිඝණක වල Windows මෙහෙයුම් පද්ධතිය නිතර යාවත්කාලින කර ගැනීම හා යාවත්කාලින කරගත් anti-virus මෘදුකාංග භාවිතා කිරීමෙන් මෙවැනි අවධානම් අවම කරගත හැක.

4. උපාංග හා පරිඝණක පරිහරණය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම 
අන්තර්ජාලය හා පරිඝණක හා අනෙකුත් විද්‍යුත් උපාංග පරිහරණය පිළිබඳව අප දරුවන් දැනුවත් කර තැබීම ඉතා වැදගත්. දරුවන් නොයෙකුත් එලෙක්ට්‍රොනික ක්‍රීඩා වල නියැළෙන බව රහසක් නොවේ. මෙසේ විද්‍යුත් ක්‍රීඩා කිරීමේදී දිස් වන අනේකාකාර වෙළද හා ප්‍රවර්ධන තිර මත click කිරීමෙන් වැළකිය යුතු බවට ඔවුන් දැනුවත් කල යුතුයි. තමන්ගේ මුරපද (passwords) පිට අය සමඟ හුවමාරු නොකිරීමත්, නොදන්නා මෘදුකාංග පරිහරණය කිරීමෙන් වැළකිය යුතු  බවටත් ඔවුන් දැනුවත් කල යුතුයි.

මිට අමතරව සැක සහිත ඊ-මේල් පණිවුඩ හා වෙළඳ දැන්වීම් යනාදී සැක සහිත තිර වෙත යොමු නොවීමද ඉතා වැදගත්. මේවා අනුගමනය කර අපගේ නිවසේ දත්ත ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කිරීමෙන් ඉදිරියේ ඇති විය හැකි සයිබර් ප්‍රහාර ගැන බියෙන් තොරව කටයුතු කල හැක.