හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

අනේ පව්, අද පොඩි කොල්ලාට උණ .ඉතින් අම්මියි ආච්චියි එකතුවෙලා මොනවද කළේ?

අයියෝ අද උදේ ඉඳලම මට ඌයි වෙලා වගේ, කුක්කු බිව්වෙත් නෑ. මම ඔහේ කොට්ටයක් උඩ වැටිලා හිටියා.

" මේ මොකද මේ මෙහේ එන්න මගේ පැටියෝ"

අම්මා මාව ආදරයෙන් තුරුලට ගත්තා.

"අනේ මේ දරුවාට හොඳටම උණ"

අම්මා කෑගැහුවා. මෙන්න ඒ ගමන අම්මා මගේ  ඇඳුම් ටික සේරම ගැලෙව්වා. ඊට පස්සේ ආච්ච් අම්මාගේ ඔඩොක්කුවෙන් තිබ්බා.

" අමිමියෝ මට හරිම සීතලයි. ආච්චි අම්මාට වත් තුරුල් වෙන්න ඕනී"

මම ආච්චි අම්මගේ ඇඟට තුරුල් වෙන්න හැදුවා. මෙන්න එතකොටම අම්මා ෆෑන් එකක් ගෙනත් දැම්මා.

" අම්මාගේ අතේ කප් එකක් තියෙනවා.  ෂුවර් එකටම මට පොවන්නයි ඔය හදන්නේ  දැන්නම් මං අඩන්න ඕනි "

" අඩන්න එපා පැටියෝ රස පැණි, දුවේ බරේ  හැටියට බෙහෙත් ප්‍රමාණය මැනලා නේද ගත්තේ?

ආච්චි අම්මා ඇහුවා. අම්මා ඔව් කිව්වා. මම කෑගහලා අඩද්දී දෙන්නත් එක්ක මට හිර වෙන්නෙ නැතිවෙන්න පැණි ටික පෙව්ව.

" ඒකනම් පැණි රසයි තමයි.  ඒ වුනාට නැලවෙන්න හොද නෑ. ටිකක් හයියෙන් අඩලා මේ දෙන්නව බය කරගන්න ඕනී"

"දුවේ මේ දරුවාට හොඳටම උණ,  වැඩි වුනොත් ෆිට් එකට එන්න පුලුවන්. ලා උණු වතුර එකක් මේ දරුවාව තවන්න ගේන්න. අපි ඕඩික්ලෝන් පාන්කඩයක් ඔලුවට දාමු. ඔලුවටත් ඕඩිකෝලෝන් දාන්න. මේ දරුවාට දියර ලබා දෙනනත් ඕන .කිරි ටිකක්  හදාගෙන එන්න"

ආච්චි අම්මා අණ දුන්නා. අම්මා දුවනවා. පනිනවා. මමත් ඉතින් පුංචි ලෙඩානේ ආච්චි අම්මාගේ ඔඩොක්කුවට වෙලාහිටියා.

ඔන්න එක පාරටම ඔළුවට සීතලක් දැනුනා. එත් එක්කම අම්මා ඕඩික්ලෝන් පාන්කඩයක් මගේ නලලට දැම්මා. ආහ් අම්මි අතේ කුක්කු බෝතලයකුත් තියෙනවා. මම ඒක බොන්න හිතා ගෙන හෙමීට ඇස් පියාගෙන කට චුට්ටක් ඇරියා. අම්මියෝ දෙන්නත් එක්ක එකතු වෙලා මගේ කිහිලි,ඉකිලි,බෙල්ල යට  තෙමන්න පටන්ගන්තා.

"අනේ අම්මේ සීතලයි."

මම හයියෙන් ඇඬුවා කොහෙද මට දාඩිය දානකම්ම මේ දෙන්නා මාව තෙමුවා. ඊට පස්සේ තමයි අර කුක්කු එක දුන්නේ, මම ඉතින් කුක්කු එක ඔක්කොම බිව්වා.

මම පව් නේ...