අපොයි උදේ වෙලා. නැගිටින්න ඕනි. කෝ මේ අම්මියා. හොරා වගේ උදෙන්ම නැගිටලා ගිහින්, ඔෆිස් යන්න ලෑස්ති වෙනවා වගේ. අද නම් දෙන්න හොද නෑ. ඉක්මනින්ම ගිහින් අල්ල ගන්න ඕනි.
මෙන්න මේ තාත්තී ගොරෝ ගොරෝ නිදි මං කොහොමද ඉතින් ඇදෙන් බහින්නේ, මෙයාගේ ඇග උඩින් බිමට පනින්න ඕනි. අප්පේ මේක හරිම උසයිනේ. ඒත් බලමු.
" ඔන්න දරුවා වැටෙයි. ඔයා නම් මොනවා වුනත් දන්නේ නැහැ."
ඒ හඩ නම් අම්මාගේ, ඒ ගමන කලබල වුන තාත්තී පැනලා මාව අල්ලා ගත්තා.
" කොහේද කොල්ලෝ යන්නේ, දොයියන්නේ නැද්ද "
තාත්තා ආයෙමත් අරන් මාව ඇද මැද්දෙන් තිබ්බා. මෙයා වගේ මං කම්මැලි නෑ කියන්න කෝ මට තාම හරියට කතා කර ගන්න බෑනේ.මෙන්න මෙයා මේ ටිකට ආයෙමත් නිදි. මේ වැඩේ හරියන්නේ නෑ දැන්නම් මං හයියෙන් අඩන්න ඕනී.

" අයියෝ, ඔය දරුවා අඩනවා ඇහෙන්නේ නැද්ද අනේ"
ඔන්න අම්මා ආයෙමත්, අඩන්න ඕනි තව සද්දෙට .
" අඩන්නෙපා කොල්ලෝ ,දොයිය ගන්න "
තාත්තා මගේ පස්සට තට්ටු කරන්න ගත්තා . කොහේද මං නිදාගන්න හිතන්නවත් කලින් මෙන්න මෙයා ආයෙමත් නිදි.
" මගේ පැටියා ඇහැරිලාද? එන්න අපි යන්"
ඒ ආවේ මගේ සුදු ආච්චි අම්මා, එයා තමයි දවස පුරාම මාව බලාගන්නේ. මම පුසෙක් වගේ එයාගේ පපුවට තුරුල් වුනා.
ඒත් ඉතින් මට මෙහෙම ඉන්න බෑනේ. මට කරන්න වැඩ ගොඩාක් තියෙනවානේ, චුට්ටක් දගලන්න ඕනී.
"ඇයි පැටියෝ දගලන්නේ , බිමට බහින්න ඕනිද? ඉන්න මම තියන්නම්"
ආච්චි අම්මාට ඉතින් මේ චුටී දග කොල්ලාගේ හිත තේරෙනවානේ, දැන් ඉතින් ගේ පුරාම දණ ගාන්න ඕනී. එක එක බිම වැටිච්ච ජාති ඇති, අපේ අම්මාට තාම ගේ අතුගාන්න බැරිවෙලා. මොනවා හරිම අලුත් දෙයක් බිම ඇති,
අප්පේ අර මොකද්ද හැබෑවට , දිලිසෙන පොඩි ඇටයක්, අක්කීගේ වෙන්න ඇති, ඇහැරිලා හිටියා නම් මේවා මට අල්ලන්න වෙන්නේ නෑ, ඉක්මනට ගන්න ඕනි. අම්මෝ හරිම අමාරුවෙන් අතට ගත්තේ, මේ මොකද්ද මේ. හපලා බලන්න ඕනී.
" හපොයි මොනවාද ඔය කටේ දාන්නේ"
ඔන්න ඉතින් අම්මා ඇවිත් ඒක උදුරා ගත්තා. දැන් මගේ තට්ටමට පුංචි ගුටියකුත් ලැබේවිද මන්දා. දැන් ඉතින් කපටි නරියා හිනාවක්වත් දාලා එයාව ෂේප් කරගන්න ඕනී. රවන්නෙපා අම්මියෝ මං අම්මිගේ පුතු පැටියානේ.
තවම කථා කරන්න බැරි දඟ මගේ හිත කියවන්න ඔයාලාත් ආසයිද?