හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා (baby's day out )

අද මේ පුංචි පැංචාට එළියට යන්න හිතිලා. අපොයි, ඔන්න ආච්චි එනවෝ... දැන් මොකද කරන්නේ?

අප්පේ ඔය ඇහෙන්නේ මගේ අක්කි කෑ ගහනවා. එයාට ඇඟ සෝදන්න ඕන වෙලා.  අම්මායි තාත්තායි දෙන්නම ඔෆිස් ගියා. ඒ දෙන්නා ඔෆිස් ගියහම ඉතින් ගෙදර ඉන්නේ ආච්චි අම්මා විතරමයි.  මම උදේ ඉදන් එක එක සෙල්ලම් බඩු දිහා බල බල හිටියා. හිතට හරියන සෙල්ලම් බඩුවක් හමුවුණේ නැහැ.

" පැටියෝ මං ඉක්මනට අක්කාව හෝදගෙන එනකම් ඔයා මේ සෙල්ලම් බඩු බල බල ඉන්න."

ආච්චි අම්මා එහෙම කියලා බාත්රූම් එක පැත්තට දිව්වා. ඉතිං එයා එනකං එයා එහෙම කිව්වත් නොකිව්වත් මං ඉතිං ගේ පුරාම දණ ගානවා තමයි. දැන් ඉස්සර වගේ කඩදාසි කෑලී, පුංචි  සෙල්ලම් බඩු කෑලී බිම නැහැ. ඒවා ඔක්කොම අයින් කරලා. මට ඉතින් හොයල බලන්න මොකුත්ම නෑ. හරිම කම්මැලියි.

අන්න අර පැත්තේ මොකද්දෝ එලියක් තියෙනව. ගිහින් බලන්න ඕනි.

නියමයි අපේ ආච්චි අම්මට දොර වහන්න අමතක වෙලා.  මේ වගේ වෙලාවට තමා මට හයියෙන් දණ ගාන්න පුළුවන් වෙන්නේ. මට කපටි නරියා හිනාවක් ආවා.

මෙතැන පඩියක් තියෙනවානේ බහින්නේ කොහොමද දැන්, කොහොම හරි මම බහින්න ඕනී. ඔන්න එක අත තිබ්බා. අනිත් අතත් හරි, කකුල් දෙකත් ගත්තා. මෙන්න මම තනියම එළියට ආවෝ. මම ඉතින් ගෙයි පේමන්ට් එක දිගේ එහාට දණ ගෑවා. මෙහාට දණ ගෑවා. මට හරිම සතුටුයි. ඔන්න ගේ ඇතුලෙන් තුළින් ශබ්දයක් එනවා. ආච්චි අම්මා මාව හොයනවාද කොහේද?

"අම්මෝ මං බයවෙච්ච තරමක්, කොහොමද පැටියෝ ඔයා එලියට බැස්සේ"

ආච්චි අම්මා මාව පපුවට තුරුල් කරගත්තා. මම ඉතින් අහිංසක හා පැටියා හිනාවක් එළියට දැම්මා...