මෝසම් වැසි සමය තුළ ඔබේ පවුල නිරෝගිමත්ව තබා ගත හැක්කේ මෙහෙමයි

ළඟ එන මෝසම් වැසි සමයට සිය පවුලම නිරෝගීවත්ව තබන්නේ මෙසේය.

මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි අව් රශ්මියත් ලංකාවේ දැඩි උණුසුම් කාලගුණයත් අපට අධික වෙහෙසකර ගතියක් සහ තෙහෙට්ටුවක් ගෙන දෙනවා.

මෙම කාලයේ ඔබේ නිවසේ දු දරුවන් ඇතුළු සියලු දෙනා මෙම කාලගුණයට ඔරොත්තු දෙන පරිදි පෝෂ්‍යදායි සමබල අහාර වේලක් ගනිමින් මනා ලෙස ජලය පානය කරමින් සිරුරේ සජලනය සහ සෞඛ්ය තත්වය හොඳින් පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇති බව අප විශ්වාස කරනවා. සිසිල් සුළං බිඳක් සමඟ පොද වැස්සක් වසින තුරු අපි හැමෝම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, ඉදිරි සති කිහිපය තුල නිරිත දිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි බව ඉතා සතුටුදායක ආරංචියක් වන්නේ මේ නිසයි. කලකින් වැසි ලැබීම ප්‍රීතියට කරුණක් වුනත් මෙම කාලගුණ විපර්යාසය නිසා පරිසරයේ වෙනස් කම් ඇති වන අතර නොයෙකුත් වෛරස් රෝග ඇතුලු බෝවන රෝග පැතිර යාමේ අවධානම වැඩි වනවා.

මෙම තත්වයට අප ශරීර ක්‍රියාකාරිත්වය ප්‍රතික්‍රියා කරන අයුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. පුංචි දරුවන්ගේ ශරීරයේ මොළකැටි හා සංවේදී බව නිසා ඔවුන් නොයෙකුත් රෝග වලට ගොදුරු වීමේ අවධානම ගොඩක් වැඩියි.

මවක් හැටියට විශේෂයෙන් අපගේ දරුවන් මෙම මෝසම් සමයට සුදානම් කිරීමේදී සැලකිය යුතු පිළිවෙත් කිහිපයක් අනුගමනය කිරීමෙන් එවැනි රෝග පීඩා අවධානම අවම කරගත හැකියි.

ඉදිරි මෝසම් වැසි සමයට අප දරුවන් සුදානම් කල හැක්කේ කෙසේද?

1. නිවසේ අත් බෙහෙත් ගබඩාව පරිපුර්ණ කර තබන්න.
දරුවෙකුට උණ සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ කැස්සක් වැළඳීගෙන එන විට කිමුහුම් යාම, නොසන්සුන් හෝ කිපෙනසුළු ගතිය වැනි ලක්ෂණ තුළින් හඳුනාගත හැකි අතර එම මුල් අවස්තාවේම යම් යම් අත් බෙහෙත් වලින් ඒවා මැඩ ගැනීම හෝ අවම කර ගන්නට පුළුවන්.

පැරන්නන්ගෙන් පැවත එන එවන් ආයුර්වේදීය ගුණැති අමුද්‍රව්‍ය තබා ගැනීමෙන් නිවස තුළ රෝග උවදුරු පැතිරීම අවම කරගත හැකියි. නිවසේ තිබිය යුතු එවන් අත්දුටු අමුද්‍රව්‍ය කිහිපයක් තමා අසමෝදගම්, කොත්තමල්ලි, පස් පංගුව මිශ්‍රණයක්, පෙරුම්කායම් වැනි දෑ.

උණ සෙම්ප්‍රතිශ්‍යවක් සැදී එන විට නිවසේ කොත්තමල්ලි ටිකක් තම්බා ගැනීමෙන් එන හුමාලය පවා බොහෝ ගුණ ගෙන දෙන බව මා පුද්ගලිකව අත් දැක තිබෙනවා. විටමින් C 10mg පෙත්තක් හෝ විටමින් C සහිත එළවළු හා පළතුරු ආහාරයට ගැනීමත් එවන් දිනවල බොහෝ ගුණ ගෙන දෙනවා.

2. ආහාර පාන සකස් කිරීමේදී ඒවා පිරිසිඳු කිරීම ගැන කල්පනාකාරී වීම.
දරුවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට සුදුසු ලෙස ආහාර පාන කළමනාකරණය කිරීම ඉතා වැදගත්. සමබල අහර වේලක් පිළියෙළ කිරීමට සැලකිලිමත් වන අතරම පිසීමට ගන්නා එළවලු හා පළතුරු වල පිරිසිඳු බව ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි.

මෝසම් වැසි එළඹෙනවාත් සමගම එම වගා බිම් වල විෂබීජ ව්‍යාප්ත වීම සීග්‍ර වන්නේ තෙතමණය හා අපවිත්‍ර ජලයේ ක්ෂුද්‍ර ජීවින් සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි නිසා. මේ නිසා පිසීමට ප්‍රථමයෙන් එළවලු සහ පලා වර්ග ඉතාම හොඳින් පිරිසිඳු කර ගැනීම වැදගත්. එමෙන්ම මතුපිටින් තැලීම් සිරීම් සහිත එළවළු හා පළතුරු මිලදී ගැනීමෙන් වැළකීමත් වැදගත්.

පිටින් මිලදී ගන්නා එළවළු පළතුරු ගැන විමසිලිමත් වනවා සේම ඔබගේ ගෙවත්තේ පිරිසිඳු කම ගැන පෙරටත් වඩා සැලකිලිමත් විය යුත්තේ ඩෙංගු වැනි රෝග තවත් වැඩිවීමේ අවධානමක් මෝසම් වැසි සමඟ වැඩි වීම නිසයි.

3. වැසි කාලයට සරිළන ඇඳුම් පැළඳුම් හා උපාංග ළඟ තබා ගැනීම.
නිවසින් පිටත් වීමේදී කුඩයක්, වැහි කබායක් තොප්පියක් වැනි අවශ්‍ය දෑ ගෙන යාමට අමතක කරන්න එපා. එය දොර ළඟ නෙත ගැටෙන ස්ථානයක තබා ගැනීමෙන් නිවසට එන අමුත්තකුට හෝ අසල වැසියෙකුට වුවද හදිසියකදී ප්‍රයෝජනට ගෙන දිය හැකියි. දරුවාගේ පාසැල් බෑගයේ අමතර වැහි කබායක් දමා තිබීමත් මට ප්‍රයෝජනවත් වී තිබෙනවා.

4. උණුසුම් පානයට මෙය හොඳම කාලයයි.
පසුගිය වියළි සමයේ අප සිසිල් පැන් වලට ඇලුම් වූ සේ මෝසම් සමයේ වැඩි වැඩියෙන් තේ පානය කළ හැක. රාත්‍රී ආහාර සඳහා වැඩි වශයෙන් නොයෙක් සුප් වර්ග පිළියෙළ කළ හැකි අතර ශරීරයට ගුණ දෙන කුරුඳු තේ, හරිත තේ (Green Tea) වැනි දෑ පානයට ගන්නට පුළුවන්.

5. විදුලි උපකරණ නිවා දමා පවුලේ සැවොම එක්ව ගෘහස්ත ක්‍රීඩා කිරීම.
මේ කාලය තුල අකුණු ගැසීම් ඇතිවිය හැකි වැවින් නිවසේ විදුලි උපකරණ ගැන විමසිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා. නිවසෙන් බැහැරව යන විට දුරකථන සම්බන්ධිකරණ වයර විසන්ධි කල යුතයි. රුපවාහිනී සහ අනෙකුත් විදුලි උපාංග විසන්ධි කර පවුලේ සැම සමග එක්වී විනෝදයෙන් කල් ගත කිරීමටත් මෙය හොඳම කාලයක්.

රස කතා බෙදා ගැනීම, ගී ගැයීම, ගෘහස්ත ක්‍රීඩා කිරීම වැනි දෑ කිරීමෙන් ඔබේ දරුවට මේ මෝසම් කාලයේ සොඳුරු මතකයන් සනිටුහන් කරන්න ඔබට පුළුවන්.

මෝසම් සමයට මෙසේ සුදානම් වුවත් ඔබේ දරුවන් සමඟ වැස්සේ ටිකක් සෙල්ලම් කරන්නනත් අමතක කරන්න එපා. ළඟ ඇති සිල්ලර කඩේට දුවත් එක්ක ගිය දවසක එක පාරටම ආපු මහා වැස්සෙන් කිසිම ගැලවිල්ලක් නැති තැන, ඔලුව සිලි මල්ලකින් වසාගෙන අපි දෙදෙනා ගෙදරට දුවගෙන ආපු දවස අදටත් මගේ දූ සිහි කරන්නේ බොහොම සතුටකින්, එයාට අමතක නොවන දවසක් හැටියට.