ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

දරුවා උපන් මොහොතේ පටන් වාහනේ ගමන් කරන විට කාර් සීට් එකක් පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත්.

පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ මෝටර් රථයක ඉදිරිපස අසුනේ වැඩිමහල් අයෙකුගේ ඔඩොක්කුවේ ගමන් ගත අට හැවිරිදි දරුවකු මෝටර් රථ ගැටීමකදී වීසි වී  මිය යාමේ අනුවේදනීය පුවතක් SundayTimes පුවත් පතින් වාර්තා වනවා. මෙම පුවතෙහි සඳහන් වුයේ අසුනේ සිටි කෙනා ආසන පටි පැළඳ සිටියද, දරුවා අසන පටි පැලඳ නොසිටි බැවින් වීසි වී ඉදිරිපස වීදුරුවේ ගැටී මිය ගිය බවයි.  

රට පුරා විශේෂයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදය ඉතාම උත්සන්නයි. මෙයින් රට තුල කෙතරම් වාහන ප්‍රමාණයක් සංසරණය වනවාදැයි හිත ගන්නට පුළුවන්. අප දැන් පොදු ප්‍රවාහන සේවයන් පාවිච්චි කරන දරුවන්ට වඩා මෝටර රථ වල ගමන් කරන දරුවන් වැඩිද මන්දා.

බටහිර රට වල ඉදිරිපස අසුන් වල පමණක් නොවේ, පසු පස අසුන් වල ගමන් ගන්නා මගීන්ද ආසන පටි පැළඳවීම අනිවාර්ය වන අලුත උපන් බිලිඳාගේ පටන් සියළුම දරුවන් ළදරු කාර් සීට් (car seat) එකක් භාවිතා කිරීම අනිවාර්ය වනවා.

දෙමාපියන් හැටියට රටේ නීති පනවන තුරු නොසිට ආසන පටි භාවිතා කිරීමට උත්සුක වී ඒ ගැන දන්නා හැමෝම දැනුවත් කර ආසන පටි පැළඳවීමටත් දරුවන් ගමන් ගන්නා විට ළදරු කාර් සීට් (car seat) භාවිතය අනිවාර්ය කිරීමටත් ඔවුන් දිරි ගැන්විය යුතුයි.

දරුවන්ට ළදරු කාර් සීට් (Car Seat) භාවිතා කිරීමේදී දැනගත යුතු කරුණු

ළදරු කාර් සීට් (car seat) එකක් තෝරා ගන්නේ කෙසේද?

දරුවාගේ වයසට හා බරට සරිලන ළදරු කාර් සීට් (car seat) එකක් මිලදී ගත හැකි නම් වඩාත් සුදුසුයි. දැන් ලංකාව පුරා ළමා භාණ්ඩ අලෙවිසැල් වලින් මෙම ළදරු මෝටර් සීට්   මිලදී ගත හැකි වන අතර එසේ නොමැති නම් Amazon.com වැනි වෙබ් අඩවි ඔස්සේද මේවා මිලදී ගත හැකියි. සංකුල නොමැති සරල නමුත් ශක්තිමත් ප්‍රමිතියෙන් යුතු එකක් තෝරා ගැනීම වැදගත්. වඩාත් යෝග්‍ය වන්නේ යමෙක් කලින් පාවිච්චි කල ළදරු කාර් සීට් (car seat) එකක් පරිහරණය කිරීමයි. මෙයින් මුදල් හා පරිසරය දෙකම සුරැකෙනවා.

ළදරු කාර් සීට් (car seat) එකක් භාවිතා කිරීම ඇරඹිය යුත්තේ කුමන වයසේදීද?

ළදරු කාර් සීට් (car seat) භාවිතය දරුවා උපන් මොහොතේ පටන්ම කල යුතුයි. ඇතැම් බටහිර මෙන්ම මැද පෙරදිග රට වලද දරුවා ඉපදී රෝහලෙන් පිටව යන මොහොතේ පටන් ළදරු කාර් සීට්  (car seat) එක මත දරුවා ගෙන යාම අනිවාර්ය කරනවා. ඒ උපන් මොහොතේ පටන් ආසන පටි පැළඳවීමේ නිතිය ක්‍රියාත්මක කරමින්.

කුමන වයස දක්වා ළදරු කාර් සීට් (car seat) භාවිතා කල යුතුද?

  • වයස 0 සිට 2 දක්වා car seat එක පසුපස අතට හරවා පාවිච්චි කල යුතුයි.
  • වයස 2 සිට 7 දක්වා car seat එක සාමාන්‍ය දිශාවට හරවා පාවිච්චි කල යුතුයි.
  • වයස 4 සිට 12 දක්වා car seat එක වෙනුවට Booster සීට් එකක් පාවිච්චි කල හැකියි.
  • වයස අවුරුදු 8න් ඉහළ දරුවන් බොහෝ විට උසෙන් වැඩි ඇති අතර සාමාන්‍ය පසුපස අසුනේ  ආසන පටි පළඳවා ගමන් කල හැක.

ළදරු කාර් සීට් (car seat) වාහනයට සවි කරන්නේ කෙසේද?

බිළිඳෙකු රැඳවිම සඳහා ළදරු කාර් සීට් (car seat) එක සාමාන්‍යයෙන් සවි කරනුයේ ආසනයේ විරුද්ධ දිශාවට. Car Seat එකේ එන උපදෙස් නිවැරදිව කියවා බලා නිසි ලෙස ළදරු කාර් සීට් (car seat) එක වාහනයට සවි කිරීම ඉතාමත්ම වැදගත්.

ලංකාවේ ළදරු කාර් සීට් (car seat) භාවිතයේදී ඇති විය හැකි අභියෝග

ලංකාවේ ඇති විය හැකි ලොකුම අභියෝගය වන්නේ මේ භාවිතය තවම ලංකාවේ ප්‍රචලිත නොමැති බැවින් ළදරු කාර් සීට් (car seat) එක පාවිච්චිය සම්බන්ධයෙන් ඔබව ඔබේ යහළු මිතුරන් ඔබව දිරිමත් නොකළ හැකියි.

විශේෂයෙන් ආච්චිලා සීයලා මෙය හෙලා දැකීමට ඉඩ ඇත්තේ “දරුවා  පවු” “දරුවා හිර කරලා දාල” වැනි දේ පවසමින් ඔබව අධර්යමත් කල හැකියි. මේවයින් නොසැලී මෙයින් වන ආරක්ෂාව ගැන අනෙක් අයවත් දැනුවත් කර ක්‍රියාත්මක කිරීම වැදගත්.

ඔබේ දරුවා උපන් මොහොතේ පටන් ළදරු කාර් සීට් (car seat) එකට හුරු කිරීමෙන් දරුවා එයට සතුටින් හුරු වන අතර පසු කාලීනව වෙනවා ඒවාට හුරු කිරීම අවශ්‍ය වන්නේ නෑ. එම හොඳ පුරුදු දරුවන්ගේ දරුවන්ටත් පවත්වාගෙන යා හැක්කේ අපි ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්. ඔබට කිසි සේත්ම ළදරු කාර් සීට් (car seat) එකක් පාවිච්චි කිරීමට නොහැකි කෑමක් තිබේ නම් පමණක් දරුවා පසු පස අසුනේම පමණක් ගෙන යන්න.

කොයිම මොහොතකවත් දරුවා ඉදිරිපස අසුනේ ගෙන යන්නට එපා!