බබාට අලුත් අවුරුද්දේ කියා දෙන්න ලස්සන කථාවක්

ලස්සන ළමා කතන්දරයක්: බුබු බබාට පාඩමක්

මුහුද මැද සුන්දර ලෝකයක් තිබුනා. ඒකේ හිටපු ගොඩාක් අය සතුටෙන් සමාදානයෙන් ජීවත් වුනා.  පොඩි අයත් එහෙම තමයි. ඒ නිසාම සතුටට පිරිලා තිබුනා.

පුංචි අයට සෙල්ලම් කරන්න එළිමහන් ප්‍රදේශයක් තිබුනා. එතැන හොද ආරක්ෂාවක් තිබුන නිසා පුංචි අයව එතැනට යවන්න අම්මලා තාත්තලා අකමැති වුනේ නැහැ. හැබැයි එතැනින් එහාට කවදාවත්ම යන්න එපා කියලා එයාලා පුංචි පැටවුන්ට අවවාද කලා.

මෙතැනින් දගකාරයා වගේම හැඩ කාරයා වුනේ බුබු කියන බුවලු පැංචා, ඒවගේම තල්ති කියලා හිතහොද තල්මස් පැංචෙක්, රතු කියලා මාළු පැංචියෙක්  වගේම මුහුදු අශ්ව පැංචා, කහ මාළු බබා වගේම බෙල්ලා පැංචිත් හවසට හැංගි මුත්තන් කරන්න එකතු වුනා.

හැමදාම සෙල්ලම් කරන අතර තුර අම්මලා එපා කියපු හරියේ පදුරු අස්සේ හැංගෙන්න බුබු බබා පුරුදු වුනා. ඒක නිසා කාටවත්ම කවදාවත්ම එයාව හොයා ගන්න බැරි වුනා. බුබු බබාට එයාව අනිත් අය වදවේවි  හොයනවා දකින එකත් විනෝදයක් වුනා.

යාළුවන්ව රවට්ටපු බුබු බබාගේ නරක පුරුද්ද මුලදී අනෙක් පැංචන්ව බය කලා. එයාලා හති වැටෙන කම්ම බුබු බබාව හෙව්වා. ඊට පස්සේ දුකෙන් ගෙදර ගියා. ඔක්කොම ගෙදර ගියාට පස්සේ බුබු බබාත් සතුටින් හිනාවෙවී ගෙදර ගියා.

කාලයක් යද්දී යාළුවන්ට බුබු බබා කරන නරක වැඩේ තේරුනා. එයාලා සෙල්ලම් කරලා බුබු බබාව හොයන්න මහන්සි වෙන්නේ නැතිව ගෙදර ගියා. ඒත් බුබු බබා නම් එයාගේ නරක පුරුද්ද අත් හැරියේම නැහැ.

ඔන්න එක දවසක් හැමදාම වගේ සෙල්ලම පටන් ගත්තා. බුබු බබා හැංගෙන්න හිතාගෙන වෙනදා වගේම දුවලා ගිහින් අම්මලා එපා කියපු පදුරු ගොන්නට පැන්නා. අනේ එදා නම් වෙනදා වගේ වුනේ නැහැ.

බුබු බබාව අදුරුම අදුරු ගැඹුරු වලකට වැටුනා. එයා හොදටෝම බය වුනා. එළියට එන්න හිතාගෙන උඩ පැන්නත් ඒ වල පුංචි බුබු බබාට උඩ පැනලා එළියට එන්න තරම් කුඩා වුනේ නැහැ . අනේ පව් එයාව එකේ හිරවෙලා.

බුබු බබා කොච්චර කෑගැහුවත් එයාගේ දුක කාටවත්ම ඇහුනේ නැහැ . අනෙක් යාළුවෝ වෙනදා වගේ සෙල්ලම් කරලා ඉවර වෙලා ගෙදර ගියා. බුබු බබා තනිවෙලා හොදටෝම ඇඩුවා.

වෙනදා වගේ බුබු බබා ගෙදර ආවේ නැති වුනාහම එයාගේ අම්මායි තාත්තයි කලබල වුනා.

" අනේ මගේ පුතා", කිය කිය අඩ අඩා හැමතැනම දිව්වා. එයාලාගේ දුක දැක්ක අනෙක් අම්මලා තාත්තලා එයාලාට උදව් කරන්න ආවා.

බුබු බබා කරන නරක් වැඩේ ගැන කිව්වේ තල්ති බබා.

අනේ එයාට කරදරයක් වත්ද ?

හැමෝම දුක් වුනා.

හැමෝම එකතු වෙලා එයාලා සෙල්ලම් කරපු තැන බුබු බබාව හොයන්න වුනා.

මේ අතරේ ගමනක් ගිහින් පරක්කු වුනු රතු මාළු නැන්දා හනි හනිකට ගෙදර බලා යමින් හිටියා. එයාට කවුදෝ ඉකිබිදිනවා ඇහුනා . එයා වටපිට බැලුවා. කවුරුත් නැහැ. යන්න ඕනී කියලා හිතුවා විතරයි ඔන්න  එයාට ආයෙමත් අර ඉකිගහන හඩ ඇසුනා.

එයා පදුරු ටික මෑත් කරලා බැලුවා. එතැන තිබුන වලේ කවුදෝ ඉන්නවා. එයා හොදට පාත්වෙලා බැලුවා . අනේ ඒ ඉන්නේ අපේ බුබු බබා. රතු මාළු නැන්දා විගහට එයාගේ දිගම දිග රතු වල්ගේ දාලා බුබු බබාව ගොඩට ගත්තා

"එන්න පුතේ මං ඔයාව ගිහින් අරලින්නම්," රතු මාළු නැන්දා කිව්වා. එයාලා යන්න හැදුවා විතරයි සෙල්ලම් පිට්ටනිය පැත්තෙන් ලොකු කලබලයක් ඇහුනා. ඒක නිසා ඒ දෙන්නා ඒ පැත්තට ගියා.

අම්මාවයි තාත්තාවයි දැකපු බුබු බබා දුවලා ගිහින් එයාලව වැළදගත්තා.

" යාළුවනේ මට සමාවෙන්න . මම හැමදාම ඔයාලාව රවට්ටලා සතුටු වුනා. ඒත් මම කරදරේ වැටුනු වේලාවේ ඔයාලා උදව්වට ආවා. ඔයාලා නියම යාළුවෝ , මං ආයේ කවදාවත්ම ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැ "

බුබු බබා යාළුවෝ ටික බදාගෙන පොරොන්දු වුනා. බුබු බබා හම්බවුන නිසා හැමෝම හිතේ සතුටින් ගෙදර ගියා.

ස්තුතියි යාළුවනේ ලස්සන ළමා කතන්දරයක් අරන් මං ආයෙත් එන්නම්!