වගකීමෙන් යුත් තාත්තා කෙනෙක් කවදාවත්ම නොකරන දේවල් 14 ක්

වගකීමෙන් යුත් තාත්තා කෙනෙක් කවදාවත්ම නොකරන දේවල් 14 ක්

අම්මා තරම්ම දරුවෙකුගේ ජිවිතය තුල තාත්තාත් වැදගත් ‌වෙනවා. ‌මේ වගකීමෙන් යුතු තාත්තා ‌කෙනෙක් දරුවන්ට ‌නොකල යුතු ‌දේවල් 14 ක්

හොඳ තාත්තා කෙනෙක් වෙන්න හැම කෙනෙක්ම කැමතියි නේද?

හොඳ තාත්තා කෙනෙක් වගකීමෙන් යුත් අයෙක් වෙනවා. මේ වගකීම දරුවෙකු පිළිසිද ගත් පමණින් අවසන් වන්නෙත් නැහැ.

පියවරුන් සෑම විටම මවක් මෙන් ඍජුවම දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වෙනවා අඩුය.

නමුත් දරුවන්ගේ ආරක්ෂකයා පියාය. දරුවන් පෝෂණය කරන්නෙත් ඔහුමය.

ඒ ඔහුගේ වගකීමම පමණක් නොවේ ඒ ඔහුගේ හදවතේ දරුවන් කෙරෙහි ඇති ලබැදියාවයි.

වගකීමෙන් යුත් තාත්තා කෙනෙක් කවදාවත්ම නොකරන දේවල් 14 ක්

පිය සෙනෙහස අම්මාගේ ආදරය තරම් වර්ණනා නොවුනට එයත් දරුවෙකුගේ ජිවිතයට මහත් බලපෑමක් කරන බව නම් නොරහසක්.

වගකීමෙන් යුත් පුරවැසියන් හදාවඩා ගැනීමේ මේ ගමනේදි වගකීමෙන් යුත් පියවරුන් නොකල යුතු දේවල් 14 ක් තියෙනවා. 

හොඳ තාත්තා කෙනෙක් නොකල යුතු දේවල් 14 ක්

1.වැරදි ආදර්ශයක් දෙන්නේ නැහැ

තාත්තලා හරි වැරදි කියා දෙනවා අහන්න ලැබෙනවා ටිකක් අඩුයි.

ඔවුන් රැකියාවත් එක්ක කාර්යබහුල දරුවන්ගේ වැඩ සියල්ල කරට අරන් කරන්නේ වෙද්දි අම්මා තමයි.

නමුත් පියවරුන් ආදර්ශවත්ව ජිවත්වීම වැදගත් වෙනවා. දරුවන් තම ලගම සිටින අය අනුකරණය කිරීම එයට හේතුවයි.

ඒ නිසා පියවරුනි, ඔබ තරහා ගිය විට කෝපයෙන් හැසිරෙයි නම් එය ඔබේ දරුවන්ට වැරදි ආදර්ශයකි.

ඒ වෙනුවට ඔබ ඔබේ කෝපය පාලනය කරගන්නා හැටි ඔබේ දරුවන්ට පෙන්වා දෙන්න.

එය දරුවන්ට වැදගත් ජිවිත පාඩමක් වේවි. පියෙක් ආදර්ශමත් ජිවත් වීම වැදගත් වෙනවා.

2.දරුවන්ට පහර දෙන්නේ නැහැ

දඩුවම් දීම සදහා ශාරීරික හිංසනය සහ පහර දීම භාවිතා කිරීම වැරදියි. එවිට ඔබට ඉතිරිවන්නේ ආක්‍රමණශිලී දරුවෙකු පමණයි. 

ඒනිසා පහර දීම හෝ බැන වැදීම වෙනුවට වෙනත් ඵලදායි නමුත් හිංසාකාරි නොවන දඩුවම් ක්‍රම භාවිතා කරන්න පුළුවන්.

රූපවාහිනිය නරඹන වේලාව අඩු කිරීම, හෝ දඩුවමක් ලෙස වෙනත් කාර්යයන් කිරීමට පැවරීම එවන් හිංසාකාරි නොවන හික්මීමේ ක්‍රම වෙනවා.

3.දරුවන් සමග ගත කරන කාලය අහිමි කරගන්නේ නැහැ

තාත්තාට උයන්න පුළුවන් කෑම

තාත්තා එක්ක ඉන්න දරුව්න ගොඩාක් ආසයි.

රැකියාව ගැන පමණක් හිතන  පියවරුන් කිසි විටෙකත් තම දරුවන් සමඟ සිටීමට කාලය කැප කරන්නේ නැහැ.

එවන් පියවරුන්ගේ දරුවන්ට තමන් නොසලකා හැර ඇති බවක් හැගෙනවා.

නමුත් තම දරුවන් සමග එක්ව   ක්‍රීඩා කරන, චිත්‍රපටි බලන සහ විනෝද චාරිකා යන පියවරුන් හොඳ තාත්තා කෙනෙක් වෙනවා.

ඔවුන් නොවැලැක්විය හැකිම අවස්ථාවක හැර තම දරුවා සමග ගෙවිය හැකි වටිනා කාලය අහිමි කරගන්නේ නැහැ.

4.හොඳ තාත්තා දරුවන්ගේ ජිවිතයේ වැදගත් සංධිස්ථාන අමතක කරන්නේ නැහැ

තාත්තා තෙනෙක් තම දරුවන්ගේ ජිවිතයේ සියලු වැදගත් සංධිස්ථාන මතක තබා ගැනීම වැදගත් වෙනවා.

තම දරුවන්ගේ උපන්දිනය, පාසැල් යන දිනය වැනි සියලු සංධිස්ථාන මතක තබා ගැනීමට අමතක නොකරන්න.

දරුවෙකුව හොඳින් දැන හඳුනා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් ඔහුගේ මෙවන් සාර්ථක සංධිස්ථාන සොයා බැලීමයි.

පියවරුන් එසේ නොකරන විට දරුවන් කථගාටුවට පත්වෙනවා. 

5.අසාධාරණ ලෙස දරුවන් විවේචනය කරන්නේ නැහැ

ඔබ දරුවන්ගේ ක්‍රියා විවේචනය කරනවා නම් කරුණාකර එය නවත්වන්න. 

ළමයෙක් හොද ක්‍රියාවක් කල විට  ඔවුන්ට ප්‍රශංසා කර ඔවුන් ධෛර්යමත් කිරීම වැදගත් වෙනවා.

එහිදි ඔවුන්ට යම් වරදක් සිදු වී ඇත් නම් ඔවුන්ට එය නිවැරදි කරගන්න සහය දක්වන්න.

එය ළමයින්ට එම කාර්යය හොඳින් කිරීමට ඉගැන්වීමේ ක්‍රමයකි. දරුවන් විවේචනය කර කිසිවිටකත් අධෛර්යමත් කරන්න එපා.

6. සහකාරිය සමඟ ඇති සම්බන්ධතාවයේ ස්වභාවය දරුවන්ට සලකන ආකාරයට බලපාන්නේ නැහැ

විවාහය තුල ගැටුම් ඇති විට දරුවන් පීඩාවට පත්වෙනවා.

ආදරය නැති නොසැලකිලිමත් පියෙක් ඔහුගේ අමනාපය නිසා සිය සහකාරිය පමණක් නොව දරුවන්ද  නොසලකා හරිති.

නමුත් වගකිවයුතු පියෙක් කිසි කලෙක එසේ කරන්නෙ නැත.

සිය සහකාරිය සමග අඩු සම්බන්ධයක් තිබුනද තම දරුවන් සමග වැඩි කාලයක් ගත කරන අතර ඔවුන් ගැන සැලකිලිමත්ද වෙනවා.

7. අගෞරව කරන්නේ නැහැ

පියෙක් තම සහකාරියට හා දරුවන්ට ආදරය කරන විට, එය පවුල් සබඳතා ශක්තිමත් කරනවා.

නමුත් පියෙකු සිය සහකාරියට හෝ දරුවන්ට අගෞරව කරන විට දරුවන්ටද ඔහුට ආදරය කිරීමට හා ගෞරව කිරීමට නොහැකි වනු ඇත.

ඒ නිසා දරුවන්ට ගෞරවයෙන් සලකන්න.

8. ඒකාධිපති වන්නේ නැහැ

පියා සැමවිටම තමන් නිවැරදි බව සිතීමත්, ඉතා දැඩි නීති පැනවීම හා බොහෝ විට ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාත්මක කිරීමත් සුදුසු නැහැ.

ඒ නිසා පියා තම දරුවන්ට  සිය තේරීම් කිරීමට අවස්ථාව දෙමින් සහාය ඇති පරිසරයක වැඩීමට අවස්ථාව ලබා දිය යුතුයි.. 

9. දරුවන්ට සම්පුර්ණයෙන්ම අධිකාරිය දෙන්නේ නැහැ 

පියවරුන් තම දරුවන්ට තමන් කැමති සෑම දේ කිරීමට නිදහස දුන් විට දරුවන් නරක් වෙනවා.

එසේ කිරීම සම්පුර්ණයෙන්ම  වගකීම් විරහිත ය. සැබෑ ලෝකය බාධක, සීමාවන් සහ නීති වලින් පිරී ඇති බැවින් දරුවන්ට මනාප සියල්ලම කිරීමට අවසර දීම භයානකය. 

එසේ වෙන දරුවන් කිසිදිනෙක සමාජයට යහපතක් කරන්නේ නැහැ.  

10. කිසි විටෙකත් තනි කරන්නේ නැහැ

පියවරුන් සහ දියණියන්

වගකීම් විරහිත පියවරුන්  දරුවන් සෙල්ලම් කරන විට හෝ ඔවුන්ට මානසික නිදහසක් අවශ්‍ය ව වූ විට ඔවුන්  රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කරයි.

එවන් ක්‍රියා නිසා දරුවන් තුල ශාරීරික හා මානසික තුවාල සිදුවෙන්න පුළුවන්.

11. ඔහු කිසි විටෙකත් තම දරුවන්ට බොරු කියන්නේ නැහැ

වයස අවුරුදු 5 වන විට ළමයින් හොදින් බොරු කියන බව පර්යේෂණවලින් පෙනී යනවා.

ඔවුන් බොහොමයක් එය ඉගෙන ගන්නේ තම දෙමව්පියන් ගෙනි.

සමහර දෙමව්පියන් සමහර අවස්ථා වල දරුවන්ට බොරු කියන්න අනුබල දෙනවා.

දිනෙක දරුවන් බොරු කියන විට කලබල වීමට වඩා වගකිවයුතු පියෙකු හෝ මවක් බොරු කීමේ ප්‍රතිවිපාක දැන සිටිය යුතු අතර  සෑම විටම දරුවන්ට සත්‍යය පවසන්න.

12. උදව් කරන්න පැකිලෙන්නේ නැහැ

කරන දෙයක් වැරදුන විට දරුවන්ට මානසික සහයක් අවශ්‍ය වෙනවා.

එවිට සිය  පියා එහි නොමැති නම් හෝ ඔහු දරුවිට සවන් දීමට අකමැති නම් දරුවන් තවත් කඩාවැටෙනු නියතය.

පියාට  කිසි විටෙකත් තම දරුවන් වෙනුවෙන් වෙලාවක් නැතිනම් අම්මා හැර කිසිවෙකු තමන්ට උදව් නොකරන බව දරුවන් සිතනවා.

13.තම දරුවන්ට අපහාස කරන්නේ නැහැ

තම දරුවන්ට අපහාස කිරීම හෝ සමච්චල් කිරීම ඉතා නරක පුරුද්දකි.

තම දරුවන් අන් අය ඉදිරියේ  විවේචනය කිරිමෙන් වළකින්න.

වගකිව යුතු පියෙක් තම දරුවන්ට ප්‍රශංසා කිරීම හා ධෛර්යමත් කිරීමට පෙළඹෙනවා.

14.  හොඳ තාත්තා තම දරුවන්ට ආදරය කිරීම නවත්වන්නේ නැහැ

වගකිවයුතු පියෙක් කිසි විටෙකත් තම දරුවන්ට ආදරය කිරීම නවත්වන්නේ නැහැ.

විවාහයන් දෙකඩ වුවත්, පියා ලෝකයේ අනෙක් කෙළවරේ සිටියත් සැමවිටම දරුවන් සමග සම්බන්ධතා පවත්වනවා.

ඔබේ පිතෘත්වය ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද?

ඔබත් මේ දේවල්  14 නොකරන වගකීමෙන් යුතු හොඳ තාත්තා කෙනෙක්ද?

මුලාශ්‍ර - www.lifehack.org

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි