ළදරු පෝෂණය සම්බන්ධ මූලධර්ම 25ක්

ළදරු පෝෂණය සම්බන්ධ මූලධර්ම 25ක්

ළදරු හා ළමා ආහාර පිළියෙළ කිරීමේදිී පිළිපැදිය යුතු වැදගත් මූලධර්ම කිහිපයක් ගැන වෛද්‍ය ආචාර්ය ප්‍රියන්ත පෙරේරා මහතා කරන මේ දැනුවත් කිරීම දෙමාපිය ඔබට ඉතාමත්ම වැදගත්.

ළදරු හා ළමා ආහාර පිළියෙළ කිරීමේදී පිලිපැදිය යුතු මූලික මූධර්ම කිහිපයක් පසුගියදා මහාචාර්‍ය ප්‍රියන්ත පෙරේරා මහතා විසින් සඑතුමාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුනා. මේ ළදරු හා ළමා ආහාර පිළිබඳව වටිනා දැනුම එතුමාගේම වචන වලින් ඔබ වෙත ගෙනහැර පානවා.

ළදරුවකු හට ආහාර දීම, මව සහ ළදරුවාට පහසු සහ ප්‍රායෝගික විය යුතුය. මෙය ළදරුවාගෙන් ළදරුවාට වෙනස් විය හැක. නමුත් ළදරුවකු හට ආහාර සකස් කිරීමේදීත්, කැවීමේදීත්, පදනම් කර ගත යුතු මූළ ධර්ම කිහිපයක් ඇත.

ඒවා මෙහි සැකෙවින් දක්වන අතර, එක් එකෙහි විද්‍යත්මක පදනම ගැන පසුව සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙමි.

ළදරු හා ළමා ආහාර පිළියෙළ කිරීමේදී පිලිපැදිය යුතු මූලික මූල්ධර්ම 25ක්

1. ළදරුවාට අවශ්‍ය ප්‍රමාණයට ඇත්නම්, මුල් මාස හය තුළ ලබා දිය යුතු හොඳම සහ එකම ආහාරය මව් කිරි වේ.මුල් මාස හයේදි වතුර වත් ලබා දිය යුතු නොවේ. වතුර දීමට අවශ්‍ය වන්නේ ඝන ආහාර ලබා දීම ආරම්භ කළ පසුව පමණි.

2. කලාතුරකින් යම් හේතුවක් නිසා ළදරුවකු හට කිරි පිටි අවශ්‍ය යයි හැඟේ නම්, එය වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා දිය යුතුය.

3. මව් කිරි මත පමණක් යැපෙන දරුවකුගේ බර වැඩි වීම ප්‍රමාණවත් නැත්නම් හෝ, මවට රැකියාවට යාමට සිදු වී ඇත්නම්, මාස 4 සිට ඝන ආහාර පටන් ගත හැක.මාස හතරට කළින් ළදරු ආහාර මාර්ගයට, ඝන ආහාර ජීරණය අපහසු විය හැක.

4. රැකියාවට යන මව් වරුන්ට කිරි දොවා තබා යාමට හැකිය.

5. ඝන ආහාර පටන් ගැනීමේදි බත් මත පදනම් වූ ආහාර වේලක් සකස් කිරීම යෝග්‍ය වන්නේ, අපේ ප්‍රධාණ ආහාරය බත් නිසාය.

6. ආහාර වේල, ළදරුවා සඳහා විශේෂයෙන් පිළියල කර ගන්න. ගෙදර පිසින බත් හැළියෙන් ගත් කැඳ, මීට සුදුසු නොවේ. ඝන ආහාර පටන් ගන්නේ මාස හයෙන් පසු මව්කිරි වල අඩංගු පෝෂ්‍ය පධාර්ථ ප්‍රමාණය, ශීඝ්‍රයෙන් වැඩෙන දරුවාට ප්‍රමාණවත් නැති නිසාය. මව් කිරි වල, කැඳ වලට වඩා පෝෂ්‍ය පධාර්ථ අඩංගුය.

7. වස විස නැති හොඳ සහල් මේස හැඳි දෙකකට, පරිප්පු මේස හැන්ඳක් දමා හොඳින් තම්බන්න. තැම්බුනු පසු දියර කොටස වෙන් කර පරිප්පු සහ බත් හොඳින් පිටිවෙන්න හැන්දකින් පොඩි කරන්න. දැන් දියර කොටස නැවත එකතු කර, ලුණු රහිත බටර් හෝ පිරිසිදු පොල් තෙල් වැනි තෙල් වර්ගයකින්, තෙම්පරාදු කර ගන්න.

8. මෙය කාබෝහයිඩ්‍රේට (බත්), ප්‍රෝටීන (පරිප්පු), ලිපිඩ (තෙල්), අඩංගු සමබර ආහාරයකි. තෙල් එකතු කරන්න බය නොවන්න. ලිපිඩ ජීර්ණයට අවශ්‍ය ලයිපේස් එන්සයිමය, උපතේදීම පරිණතව පිහිටයි. තෙල් එකතු කිරීම ආහාර වේලේ කැලරි ප්‍රමාණය වැඩිකිරීමටත්, පසුකාලීනව ලිපිඩ හොඳින් හැසිරවීමට දේහය අනුවර්තනය වීමටත්, රසය වැඩි කිරීමටත් දායක වේ.

9. දැන් සාදා ගත් මිශ්‍රණය හොඳින් කලවම් කර හැන්දකින් කවන්න. මුල්ම දින වල කිරි වැනිම දියරමය ස්වභාවයෙන්ම දෙන්න. ක්‍රමයෙන් දියර ගතිය අඩු කරමින්, සති දෙකක් පමණ වන විට තලපයක් බවට පරිවර්තනය කර ගන්න.

10. ආහාරයේ කැබලි ගතියත් ක්‍රමයෙන් වැඩි කරන්න. කිසිවිටක බ්ලෙන්ඩ් (blend) නොකරන්න. නැතිනම් දරුවා ආහාර කැබලි ගිලීමට ඉගන නොගන්නා අතර, ආහාර කැබැල්ලක් අසු වූ විගස වමනය දැමීමට පෙළඹේ.

11. ආහාර වේල් දෙකකින් පටන් ගෙන, ක්‍රමයෙන් එය තුනක් දක්වා වැඩි කරන්න. සකස් කර ගන්නා ප්‍රමාණය දරුවාගේ අවශ්‍යතාව මත ක්‍රමයෙන් වැඩි කර ගන්න.

12. තලපයක් බවට පත් කර ගත් පසු එයට එළවලු සහ පළා වර්ග ක්‍රමයෙන් එක් කර ගන්න. කැරට්, වට්ටක්කා, බෝංච්, ගෝවා, වැටකොළු, පතෝල, අර්ථාපල්, බතල, ඉන්නල, නිවිති, ගොටුකොළ, කංකුන් මෙලෙස එක්කර ගත හැකි දේවල් වේ. බිත්තර, මාළු, මස් වර්ග ඔබේ පවුලේ අයගේ ආහාර පුරුදු මත ක්‍රමයෙන් එකතු කර ගත හැක.

13. මේවා එක් කිරීමේදී එක ආහාර වේලකට කිහිප වර්ගයක් එකතු කළ හැකි වුවත්, වරකට එක් වර්ගයක් පමණක් අළුතින් එක් කරන්න. මීට හේතුව අසාත්මිකතාවක් (allergy) ඇති වුවහොත්, එය ඇති වූයේ කුමකටදැයි පහසුවෙන් හඳුනා ගත හැකි නිසායි.

14. හැකි හැම විටම organic එළවලු යොදා ගන්න. නිවිති ටිකක් ගොටුකොළ ටිකක් ගෙදර පෝච්චියක වවා ගන්න.

15. ආහාර වේල් තුන වෙන වෙනම අළුතින් සකසා ගන්න. ආහාර වේල් පාටින්, සංයුතියෙන් සහ රසයෙන් එකිනෙකට වෙනස් කිරීමට සැළකිලිමත් වන්න.

16. දරුවා කැමැත්තෙන්, ආසාවෙන් කන ප්‍රමාණය පමනක් කවන්න. ඊට පසු වරක් දෙවරක් පමනක් උත්සාහ කරන්න. දරුවා කෑ යුත්තේ ඔහුට අවශ්‍ය ප්‍රමාණය මිස ඔබට අවශ්‍ය ප්‍රමාණය නොවේ.

17. දරුවා ආහාරය මුලුමනින්ම ප්‍රතිකේෂ්ප කලහොත්, ඒ ඔහුට බඩගිනි නැති නිසා විය හැක. ටික වේලාවකින් නැවත උත්සාහ කර බලන්න.

18. මොනම හේතුවක් නිසා වත් දරුවෙකුට බලෙන් අහාර කැවීමෙන් වළකින්න. බොහෝ ප්‍රශ්ණ වල ආරම්භය මේ බලෙන් කැවීමයි. මෙමඟින් දරුවාට ආහාර ගැන ඇතිවන්නේ තරහකි. 

19. ආහාර දැකීමත් ඔහුට වදයක් වේ. හැකි සෑම විටම දරුවාට තනියම කෑම ගැනීමට උනන්දු කරවන්න. අවුරුදු දෙකෙන් පසු දරුවන්ට කෑම කෑවීම නතර කළ යුතුය.

20. අවුරුද්දක් යන තුරු කෑම වලට ලුණු සහ සීනි එකතු නොකරන්න. මේ නිසාම අවුරුද්දක් ආසන්න වන් තුරු චීස්, යෝගට් සුදුසු නොවේ.

21. ඝන අහාර පටන් ගන්නවාත් සමඟම කිරි වේල් ගණන ක්‍රමයෙන් අඩු කරන්න. අවුරුද්දක් වන විට කිරි වේල් දෙකක් හොඳටම ප්‍රමාණවත් ය.

22. මව රැකියාවට යන්නේ නම් මිස, පිටිකිරි දීම අවශ්‍ය නොවේ.

23. අවුරුද්දක් පමණ වන විට දරුවාට ගෙදර අනික් අය කන කෑම ගත හැකි වන පරිදි, ක්‍රමයෙන් ආහාර සකසා ගන්නා ආකාරය වෙනස් කරන්න.

24. ප්‍රධාණ ආහාර වේල තුනට අමතරව කුඩා ආහාර වේල් දෙකක් ඇතුලත් කරන්න. කිසිවිටක ප්‍ර්ධාන ආහාර වේලක් වෙනුවට කිරි ලබා නොදෙන්න.

25. පැපොල්, අඹ, නාරං, පැණිදොඩම්, අලිගැටපේර , පේර (ඇට නැතිව), වැනි පළතුරු කෑම වේල් අතරට ලබා දෙන්න.

26. පළතුරු සකස් කර ගැනීමේදී ඇඹරුම් යන්ත්‍රයක් යොදා ගත්තාට කමක් නැත. සීනි සහ ලුණු එක් නොකරන්න.

27. හැකි සෑම විටම, ඔබම දරුවාගෙ ආහාර වේල සෞඛ්‍යයාරක්ෂිතව පිළියල කර ගන්න.

මේ කරුණු සම්භන්ධව ඔබට යම් ගැටළුවක් ඇත්නම් යොමු කරන ලෙස ආචාර්ය ප්‍රියන්ත පෙරේරා මහතා ඉල්ලා සිටිනවා. එතුමාගේ  බබාලගෙ සුව සෙත by Prof Priyantha ෆේස්බුක් පිටුව හරහා එතුමා සමඟ සම්බන්ධ විය හැකියි. මෙම වැදගත් තොරතුරු වලින් අප හැමෝම දැනුවත් කරන වෛද්‍යතුමාට theAsianparent Sri Lanka අපගේ හදපිරි ස්තුතිය පුදකරන්නේ සතුටින්.

 

Written by

Niloufer Perera