අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ කුඩා දරුවාට අවුරුදු 03 මාස  02 ක් දී ලැබෙන  ළමා සංවර්ධන සන්ධිස්ථාන මොනවාද යැයි බලමු.

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය: ඔබේ කුඩා දරුවාට දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි (මාස 38 යි). එහෙම නේද?

ප්‍රශ්න අසන  කුතුහලයෙන් පිරි විමසිලිමත් පුංචි  මිනිසෙකු දැන් ඔබ අසල සීරුවෙන්, ඇය වඩාත් සමාජශීලී   වීමට ඉගෙන ගන්නා අතර ඇය සෙල්ලම් කිරිමෙන් බොහෝ විනෝද වෙනවා.

ඔබේ කුඩා දරුවාට අවුරුදු 03 මාස  02 ක් දී ලැබෙන  ළමා සංවර්ධන සන්ධිස්ථාන මොනවාද යැයි බලමු

සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් වෙනවා.   ඔහු හෝ ඇය තමාගේම  කාලයක් තුළ සංවර්ධන සංධිස්ථාන වලට ලගා වෙනවා.

ඒ නිසා මේවා  මාර්ග උපදේශ බව පමණක් සලකන්න

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ  දරුවා දැන් වඩා හොඳින් සමතුලිතයි. ඇයට හොඳින් දුවන්නට හා නගින්න පුළුවන්. ඇයට ට්‍රයිසිකල් එකක් පවා පදවන්න  පුළුවන්.

ක්‍රීඩා පිට්ටනියට හෝ උද්‍යානයට ඇය ට්‍රයිසිකල් එකෙන්  යන එම ගමන ඇයව ගොඩාක්  ප්‍රබෝධජනක කරාවි.

ඇය දැන්  වඩාත් ස්වාධීනයි. ඇයට තනියම  ආහාර  ගන්න පුළුවන්, ලේස් නැති සපත්තු දාන්න පුළුවන්, ඇදුම් වල බොත්තම් විවෘත කරන්න  පුළුවන්.

ඇය මේ වන විට ලබාගෙන තියෙන  කුසලතා කිහිපයක් බලමු.

  • හොඳින් නගින්න හා දුවන්න පුළුවන්.
  • එක් එක් පඩියට එක් පාදයක් බැගින් තබමින් පඩිපෙළ ඉහළට හා පහළට නගින්න හා බහින්න පුළුවන්.
  • ට්‍රයිසිකලය පාගා පදින්න පුළුවන්.
  • උඩ පනින්න හා එක් පාදයකින් පනින්න පුළුවන්.
  • පාන වර්ග විසිරුවන්නේ නැතුව කෝප්පයක් ගෙන යන්න පුළුවන්.
  • බෝල අල්ලන්න පුළුවන්
  • උදව් ඇතුව ජැකට් එක අදින්න ගලවන්න පුළුවන්.
  • ඇගිලි වලින් කුඩා දේවල් හා කටයුතු කරන්න පුළුවන් ( බොත්තම් සහ සපත්තු ලේස් සදහා නම් තවම පුංචි උදව්වක් ඕනී)
  • පෑන් හෝ පාටකූරු වලින් සරල හැඩතල පිටපත් කරන්න පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • හැමදාම උද්‍යාන සහ ක්‍රීඩා පිටි වලට අරගෙන ගොස් ඔබේ දරුවාට  ක්‍රීඩා කරන්න   ඇති තරම් කාලය  දෙන්න.
  • ක්‍රීඩා පිටිය ඔබේ දරුවාට වෙනත් ළමයින් සමඟ මිශ්‍ර වීමට ඉඩ ලබා දෙනවා. එහිදී ඇය බෙදාහදා ගැනීම සහ අවස්ථාව ලබාගැනීම පිළිබඳ සංකල්පය තේරුම් ගන්න  පටන් ගන්නවා.
  • මේ වයසේදී, පුංචි දරුවා වැලි හෝ මඩ සමග හෝ ක්ලේ, මැටි නා ගෙන ඒවා සමග  සෙල්ලම් කරන්න ආසයි.
  • ඇයගේ බයිසිකල් පැදිමේ හැකියාව දිරිමත් කරන්න. හෙල්මට් සහ වැලමිට සහ දණහිස් සදහා පෑඩ් භාවිතා කර ඇයගේ ආරක්ෂාව හොදින් තහවුරු කරන්න.
  • ඇය ජල සෙල්ලම් කිරීමට කැමතියි. ඇය ජලය හා සෙල්ලම් කරන විට විමසිලිමත් වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා ඔබ දෙස ඇස් වලින් නොබලයි නම්
  • ඇයට දේවල් දකින්න හෝ අසන්න අසිරූ නම්.
  • ඇය ව්‍යාකූලයි නම් (උදාහරණයක් ලෙස, ඇය ඇවිදින විට හෝ දුවන  විට බොහෝවිට  බිම ඇද වැටෙනවා නම්)
  • ඇයට පඩිපෙල නැගීමට අපහසු නම්
  • ඔබේ දරුවාට පැන්සලක් හෝ පාට කූරු වැනි පුංචි දේවල්  හැසිරවීමට අපහසු නම්
  • ඇයට සරල හැඩතල ඇඳීමට හැකියාවක් නැතිනම්.

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔන්න ප්‍රශ්න කිරීමේ හා තර්ක කිරීමේ යුගය ඇවිදින්. ඔබේ පුංචි  පැටියා  නිතරම ප්‍රශ්න අසාවි.  ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.

"කවුද", "කුමක්ද" සහ "ඇයි" යන ප්‍රශ්න ගොඩාක්  දැන් ඇය සතුයි.

ඇයට වඩා හොඳන්  උපදෙස් අනුගමනය කරන්න  පුළුවන්. ඇය රඟපෑමටත් කැමතියි.

අවුරුදු 03 මාස  02 දරුවෙකුගේ මානසික  සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක්  බලමු.

  • ඔබේ දරුවා දැන් උද්වේගකාරී, කුතුහලයෙන් පිරිපුන් අතර පරිකල්පනීයයි.
  • ඇගේ අවධානය විනාඩි හතරක් හෝ අටක් පමණ වෙනවා.
  • ඇගේ මතකය වේගයෙන් වර්ධනය වෙනවා. ඇයට දැන් සරල වර්ණ හඳුනාගෙන නම් කරන්න පුළුවන්. සමහර විට ඇයට ඇගේ මිතුරන්ව නමින් පවා හඳුනාගන්න පුළුවන්.
  • ඔබේ දරුවා වැඩිහිටියන් පිටපත් කිරීමට කැමතියි.
  • ඇය රඟපෑමට ආසයි. සතුන්, බෝනික්කන් සහ මිනිසුන් සමඟ මවාගත් රංගනයක යෙදෙනවා.
  • ඇයට දෙන උපදෙස් දෙකක් එකින් එක  තේරුම් ගන්න පුළුවන්.
  • ඇයට පියන් කරකවා අරින්න හා දොර අගුළු අරින්න, වහන්න පුළුවන්.
  • දරුවාට බ්ලොක්ස් හයකට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩ නගන්නත්, කෑලි හතරක් පමණ වු ප්‍රහේලිකා විසදන්නත් පුළුවන්.
  • ඇයට රවුම් වැනි සරල හැඩතල පිටපත් කරන්න පුළුවන්.

දෙමාපියන්ට  ඉඟි

  • සෑම දවසකම ඔබේ දරුවාට කතන්දර කියාදී ඒ ගැන ප්‍රශ්න අහන්න.
  • ඔබගේ පුංචි පැටියා දැන් සෑම දවසකම අලුත්  අත්දැකීම් ලබනවා. ඉන් සමහරක්  ඇයව අධෛර්යමත්  කරන්න  පුළුවන්.

පාසැලට යාම, දන්ත වෛද්‍යවරිය  වෙත යෑම වැනි  දේවල් අඩංගු පොත් කියවීමෙන්  ඇයට වඩාත් සැහැල්ලුවෙන්  එයට මුහුණ දීමටත් ඒ සදහා  සුදානම් වීමටත් පුළුවන්  වෙනවා.

  • ඇය අම්මා තාත්තා වගේ රගපාන්න ආසයි. ඉතින් ඇයට මුළුතැන්ගෙයක් මවලා දුන්නොත් කොහොම වෙයිද? භාජන, බඳුන් සහ හැඳි  එක්ක මවා ගත්  කේක් කන්න සූදානම් නේද?ම්හ් හරිම රසයි.
  • ඇගේ වටපිටාව නිරීක්ෂණය කරන්න ඇයව ධෛර්යමත් කරන්න. උද්‍යානයේ ඇය දකින දේ ගැන ඇයගෙන් විස්තර අසන්න.

ඇය සමඟ නිතර  කතා කරන්න. ඇයට ඇහුම්කන් දෙන්න. දවල් දවසේ ඇය කළ දේ ගැන ඇයගෙන් අසන්න.

  • සරල ගීත එක්ව ගායනා කරන්න.
  • නින්දට යාමට චර්‍යාවන් සකස් කර එය අනුගමනය කරන්න.
  • ගොඩාක් චිත්‍ර අදින්න, පාට කරන්න හා අත්වැඩ සදහා ඔබේ පුංචි පැටියා යොමු කරන්න.
  • වර්ග කිරීමේ හා ගණන් කිරීමේ  ක්‍රිඩා වල ඇයව යොදවන්න.  වර්ණ, හැඩ, අංකවල ෆ්ලෑෂ් කාඩ්පත්  මේ සදහා ඉතා සුදුසුයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අක්ෂි සම්බන්ධතා වළක්වනවා නම්
  • ඔබේ දරුවාට "කරුණාකර මට බෝලය දෙන්න." වැනි සරල උපදෙස් තේරෙන්නේ නැත්නම්
  • අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩා කෙරෙහි උනන්දුවක් නැතිනම් හෝ මවා ගත් ක්‍රීඩාවක නිරත නොවේ නම්

අවුරුදු 03 මාස  02  පෙර පාසැල්ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා ඇගේ සෙල්ලම් කිරීමෙන් බොහෝ සතුටට පත්වෙනු ඔබට දකින්න පුළුවන්.

නමුත් ඇගේ සෙල්ලම් බඩු බෙදා ගැනීමේදී හෝ අවස්ථාව ලබා ගැනීමේදී කෝප වීම්  හා මුරණ්ඩු කම් තාමත් අත් විදින්න වෙන අවස්ථා තියේවි.

ඇය බොහෝ  ස්වාධීනයි.  සජීවීයි. ඒ වගේම කටකාරයි. අන් අයගේ හැගීම් බෙදාහදා ගන්න ඇයට දැන් පුළුවන්

ඔබට දකින්න හැකි වෙනස්කම් කිහිපයක් බලමු.

  • ඔබේ දරුවා වැඩිහිටියන් හා මිතුරන් කරන දේ පිටපත් කරන්න කැමතියි.
  • ඇය වෙනත් ළමයින් සමඟ සම්බන්ධතා පවත්වන්න කැමතියි. ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ පාසැල් යන විට  පෙර මෙන් ඔබගේ අස්සේ සිටින්න හදන්නේ නැහැ.
  • දැන්, ඇය ඊර්ෂ්‍යාව, උද්දීපනය, බිය, සතුට, කෝපය වැනි විශාල පරාසයක හැඟීම් පෙන්වනවා. ඇය තම මිතුරන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වීමට පවා පටන් ගන්නවා.
  • මිතුරන් සමඟ සෙල්ලම් කරන විට අවස්ථාව ලබාගැනීම පිළිබඳ සංකල්පය ඇයට තේරුම් ගන්න දැන් පුළුවන්.
  • ඇය පවුලේ අය සහ මිතුරන් කෙරෙහි ආදරය පෙන්වනවා.
  • ඇය "මගේ" සහ "ඔහුගේ / ඇයගේ" සංකල්පය තේරුම් ගන්න පුළුවන්.
  • මේ වන විට සමහර දරුවන් වැසිකිළි අවශ්‍යතා සදහා දිවා කාලයේ පොටිය භාවිතා කරන්න පුළුවන්.
  • ඇය නිවසේ කටයුතු වලට උදව් කරන්න ආසයි.
  • ඇය චර්යාවන්හි නිරත වී විනෝදය ලබන අතර එහි විශාල වෙනස්කම් ඇති විට කලබල වෙන්න පවා පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට නිවසේදී උදව් කිරීමට ඉඩ දෙන්න. ඔබට දේවල් ගේන්න වගේම දේවල් ඉවතට ගෙන යෑමට  ඔවුන්ගේ සහය ගන්න.
  • සෙල්ලම් කිරීම හා අනෙකුත් දරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම දිරිගන්වන්න. හැගීම් බෙදාහදා ගැනීම සහ බෙදාගැනීම වැනි ධනාත්මක ගුණාංගයන් පුහුණු වීමට සුදුසුම වේලාව මේ සෙල්ලම් කරන වේලාවයි.
  • ක්‍රීඩාව, සංගීතය හෝ නර්තනය වැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට ඇයව ඇතුළත් කිරීමට මේ කාලය සුදුසුයි.
  • ඔබ තාම ඇයට පොටි පුහුණුව ලබා දී නොමැති නම්, එය ආරම්භ කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා තවමත් ඇයගේ ප්‍රාථමික රැකබලා ගන්නාගෙන් වෙන් කළ නොහැකි නම් හෝ අධික ලෙස වෙන්වීමේ කනස්සල්ල ඇයට දැනෙනවා  නම්
  • දරුවා වෙනත් දරුවන් සමඟ කටයුතු කිරීමට එතරම් උනන්දුවක් නොදක්වයි නම්,
  • ඇය ඇඳුම් අදින්න, නිදාගන්න සහ නාන කාමරයට යන්න අකමැති නම්.

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔන්න ඔබේ පොඩ්ඩාට දැන් වචන 800 සිට 900 දක්වා වු ආකර්ෂණීය වචන එකතුවක් තියෙනවා.  අදහස් දැක්වීමේ කුසලතා දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා.  අන්න ඒ නිසා  ඔබේ දරුවා  ඔබේ මිතුරාගේ දරුවා තරම් කතා නොකරන්නේ නම් ඔබ පීඩනයට පත් වෙන්න එපා.

 ඔබේ දරුවාට  දිගටම කියවීම ඔහුගේ  භාෂාව සහ වචන මාලාව වැඩි දියුණු කිරීමට ඇති හොඳම ක්‍රමය යි.

මෙම වයසේදී අපේක්ෂා කළ හැකි කථන සහ භාෂා සන්ධිස්ථාන කිහිපයක් බලමු

  • ආගන්තුකයන්ට පවා සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් තරම් පැහැදිලිව කථා කරනවා.
  • වචන තුනක් හෝ හතරක් අමුණා වාක්‍ය කථා කරන්න පුළුවන්.
  • “මම”, “ඔබ” සහ “අපි” වැනි සර්වනාම හා මත, තුල, යට, වැනි නිපාත පද භාවිතා කරන්නේ කෙසේදැයි දන්නවා.
  • පළමු නම සහ වයස කියන්න පුළුවන්. පොදු දේවල් නම් කරන්න  පුළුවන්.
  • සමහර අකුරු ශබ්ද කිරීම අනුව හදුනාගැනීමේදී ව්‍යාකූල වෙන්න පුළුවන්. ( “w” සහ “r” අතර ව්‍යාකූල වෙමින් rabbit සදහා wabbit )

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට හැකි තරම් කියවන්න. ඇයට අවශ්‍ය ඕනෑම වේලාවක බලන්න පුළුවන් වෙන්න ඇගේ පොත් ළඟ තබන්න.
  • ඇය සමඟ කතා කරන්න. ප්‍රශ්න අසමින් කතා කරන්න  ඇයව ධෛර්යමත් කරන්න.
  • ඇයගේ වචන මාලාව සහ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සෙල්ලම් කිරීම හා වෙනත් දරුවන් සමඟ කටයුතු කිරීම හොඳ ක්‍රම වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා වචන තුනක වාක්‍ය භාවිතා නොකරන්නේ නම්.
  • "මම" සහ "ඔබ" අනවශ්‍ය ලෙස භාවිතා කරනවා නම්
  • නොකඩවා කෙළ පෙරනවා නම් හා කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා නම්.

වයස අවුරුදු 3 මාස 2 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ පුංචි ශක්තිවන්තයාට මේ වයසේදී හොඳ ආහාර සහ පෝෂණය අවශ්‍ය වෙනවා.

ඔහුගේ හෝ ඇයගේ වයස, ප්‍රමාණය සහ ක්‍රියාකාරකම් මට්ටම අනුව. මේ  වයසේදී දිනකට කැලරි 1,000 ත් 1,400 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේ ගැහැණු ළමයින් සෙන්ටිමීටර 89 සිට 102 දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 11.6 සිට 17.5 දක්වා බරින් යුක්ත වෙනවා.

පිරිමි ළමයින්  සෙන්ටිමීටර 90 සිට 103 දක්වා උසකින් සහ බර කිලෝග්‍රෑම් 12.2 සිට 17.5 දක්වා වෙනවා.

ඔබේ දරුවාගේ දෛනික ආහාර පරිභෝජනය ඉතා මැනවින් සමන්විත වීම අවශ්‍ය වෙනවා.

කාබෝහයිඩ්රේට් සහ මේද

අවුන්ස 4-5 ක්, එයින් අඩක් සම්පූර්ණ ධාන්‍ය ප්‍රභවයන්ගෙන් ලබා දිය යුතුය. අවුන්ස 1  =  පාන් පෙත්තක්   හෝ කෑමට සූදානම් සීරියල් කෝප්ප 1 ක් හෝ පිසූ බත්, පිසූ පැස්ටා, පිසූ ධාන්‍ය කෝප්ප 1/2

ප්‍රෝටීන්

ඔබේ දරුවාට කැල්සියම් ලබා දීම සදහා දිනකට කිරි කෝප්ප 2 ක් අවශ්‍ය වෙනවා. ඔබට කිරි කෝප්ප 1 ක් යෝගට් කෝප්පයක්, ස්වාභාවික චීස් අවුන්ස 1½ ක් හෝ සැකසූ චීස් අවුන්ස 2 ක්  සමග ආදේශ කරන්න පුළුවන්.

මස් සහ බෝංචි වැඩෙන දරුවාට හොද  ප්‍රෝටීන් ප්‍රභවයක් වෙනවා.   මේ වයසේදී ඇයට දිනකට  ප්‍රෝටීන් අවුන්ස 3-4 ක් අවශ්‍ය වෙනවා.

අවුන්ස 1 =  මස්, කුකුළු මස් හෝ මාළු අවුන්ස 1 ක් හෝ   පිසින ලද වියළි බෝංචි කෝප්ප 1/4 හෝ බිත්තර 1

විටමින් සහ ඛනිජ

  පලතුරු සහ එළවළු  ඔබේ වැඩෙන දරුවා සඳහා විටමින් සහ ඛනිජ ලවණ ලබා දෙන මූලික ප්‍රභවය වෙනවා. මේ වයසේදී ඇයට දිනකට පලතුරු කෝප්ප 1-1½ ක් සහ එළවළු කෝප්ප 1½ ක් අවශ්‍ය වෙනවා.

දෙමාපියන්ට ඉඟි:

  • දරුවාට තනිව ආහාර ගන්න ධෛර්යමත් කරන්න. ආහාර ගැනීමට  බල කරන්න  එපා.
  • ආහාර වේල විනෝදජනක කරන්න. ඇඟිලි වලින් අල්ලා පහසුවෙන් ආහාරට  ගන්න පුළුවන්  ආහාර ලබා දෙන්න.
  • හුස්ම හිරවීම වැළැක්වීම සඳහා මෘදු, කුඩා කැබලිවලට කැපු හොඳින් පිසින ලද එළවළු ලබා දෙන්න.
  • යකඩ ඌණතාවය වළක්වා ගැනීමට, මස්, කුකුළු මස්, මාළු,  ගුණාත්මක ධාන්‍ය  වර්ග, බෝංචි, ටෝෆු වැනි යකඩ බහුල ආහාර ලබා දෙන්න.
  • ඔබේ දරුවා තෝරා බේරා ආහාර ගන්නෙ නම් පලතුරු සහ එළවළු ඇයගේ ප්‍රියතම ආහාරයට මිශ්‍ර කර සගවා ලබා දෙන්න උත්සාහ කරන්න.
  • ඔබේ දරුවාට ජලය ගොඩක් පානය කරන්න දෙන්න. ඒ වගේම සිසිල් බීම, පළතුරු යුෂ (විශේෂයෙන් සීනි එකතු කරන ලද ), රස කළ කිරි සහ ජලය, ක්‍රීඩා බීම සහ ශක්තිජනක  බීම ලබාදෙන්න  එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩුයි නම් හෝ ඔහු  කුඩා නම්   මෙය ඔවුන් ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක්ද  යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

* මේ සාමාන්‍ය මාර්ගෝපදේශ පමණයි. සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  03

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

Written by

Niloufer Perera