දසමසක් වූ අපූරු චාරිකාව: තුන්වෙනි මාසය

lead image

මේ මාසේ ඔබේ පුංචි පැටියා ඔබේ කුස තුළ මොනවද කරන්නේ? මෙම ලිපිය කියවා දැනගන්න.

මම අම්මි ලගට ඇවිත් දැන් මාස තුනක්, අම්මාට ලොකු ලොකු අපහසුකම් මතු වෙන්න පටන් අරන් කියලා මට හීනියට දැනෙනවා. ඒ වුනාට අම්මා මට කිසිම දේකින් අඩුපාඩුවක් කරන්නේ නැහැ. අම්මාගේ ඇට ලේ මස් දිය වෙලා පුංචි මගේ ඇට ලේ මස් හැදෙන්න පටන් අරන්.

මගේ තිබුන පුංචි වල්ගය නොපෙනී ගිහින්, මම දැන් බොහෝ දුරට පුංචි මනුෂ්‍යයෙකුගේ පෙනුම අරන්.

හිස නම් ඇගට වඩා ලොකුයි. බයවෙන්න එපා අම්මා මං අම්මා ලගට එනකොට බොහොම සුරතල් පුංචි පැටියෙක් වෙලා ඉන්නම්.

මගේ සිරුර තුල  පළවෙනි මාස දෙක තුල හැදුන පද්ධති ඒවාගේ ක්‍රියාකාරිත්වය නොකඩවා අරගෙන යනවා. ඒ අතරට අලුතින් පුංචි පුංචි අවයව මම  කියන ජීවය ගොඩ නගනවා.

දැන් මං බරෙන් අවුන්සයක්. අම්මිට මාව බර නෑ නේද? මම දිගින් අගල් තුනක් හතරක් වැඩිලා. මට දැන් මගේ පුංචි අත්, පය සොලවන්නත් පුලුවන්. මම පුංචියට කට ඇරලා ඇනුමක් එහෙමත් අරිනවා. මම අම්මිව අල්ලගෙන ඉන්න කලල බන්ධනය දැන් සවිමත්, අම්මා බය වෙන්න එපා මං ඔයාව දාලා දැන් කොහොමට වත් යන්නේ නැහැ.

මගේ හදවත තවත් වර්ධනය වෙලා. මගේ වකුගඩු ක්‍රීයාත්මකයි. මුත්‍රාශය සීරුවෙන්, මගේ බහිස්ස්‍රාවි පද්ධතිය වැඩ අරඹන්න සුදානම්.

මගේ පුංචි කන් බාහිරින් නිර්මාණය වෙලා ඉවරයි. ඒ වුනාට මට තවම අම්මාගේ ලස්සන කටහඩ ඇහෙන්නේ නැහැ. චුටී චුටී දත් කැකුලු විදුරු මහට යටින් නිර්මාණය වෙලා තියෙන්නේ, ඒ වුනාට අම්මියෝ මට තාම දත් නැහැ.

ගැහැණු පිරිමි ප්‍රජනන පද්ධති අවයව නිර්මාණය වෙලා ඉවරයි. ඒ වුනාට තාම මං කවුද කියලා බලන්න බෑ. අම්මිට නම් ඉවසිල්ලක් නෑ රෝසද නිල්ද කියලා දැනගන්න. තව ඉවසන්න මගේ සුදු අම්මියෝ.

දෙවැනි නැවතුමට...