මානසික ආතතිය දුරු කිරීමට ඔබේ සහකරුට සහය විය යුත්තේ මෙහෙමයි

මානසික ආතතිය දුරු කිරීමට ඔබේ සහකරුට සහය විය යුත්තේ මෙහෙමයි

සහකරුගේ දැවෙන මනස සනසන්න සිහිල් දියපොදක් වීම ඔබේ වගකීමයි.

සහකරුගේ ආතතිය හැමවිටම පවුලට බලපානවා. පවුලක් ලස්සන සතුටින් ඉන්නකොටයි.

පවුලේ එක් කොටසක් පීඩනයෙන් කේන්තියෙන් ඉන්නවා නම් ඒ පවුල සමබර ලස්සන පවුලක් වෙන්නේ නැහැ.

ඔන්න එහෙනම් ඔයාගේ සහකරු ආතතියෙන් ඉන්නවා නම් එය දුරුකිරීමට සහය වීමෙන් ඔබට ඔබේ පවුලට ලොකු වගකීමක් ඉටු කරන්න තියෙනවා. අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

මේ වේගයෙන් දිව යන ලෝකයේ හැම තත්පරයක්ම ඊට කලින් තියෙන තත්පරයට වඩා වෙනස් වෙනවා.

උදාවෙන හැම දිනයක්ම එන්නේ අලුත්ම අභියෝගයක් එක්කයි.

වෘත්තිමය ජිවිත හා පෞද්ගලික ජිවිතය එක්ක හෙම්බත් වෙද්දි ආතතිය අපේ ජිවිත වල රජයන්න ගන්නේ නියැතින්මයි.

ඒ නිසාම අපි පමණක් නොව අපේ සහකරුවන්ද නොදැනුවත්වම ආතතියේ ගොදුරක් වෙන්න පුළුවන්.

ඔබගේ සහකරු හෝ සහකාරියගේ ආතතිය හදුනාගෙන එය හා කටයුතු කල හැකි ඉගි කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

සාමාන්‍යයෙන්, පුද්ගලයෙකු පැය අටක පමණ කාලයක් කාර්යාලය තුල රාජකාරි කටයුතු වල නියැලෙයි.

මෙහිදි විවිධ ස්ථර හා ඝට්ටනය වෙමින් දවස පුරා ඔවුන් ඇති කරගන්නේ සුළු පටු පීඩනයක් නම් නොවේ.

ඉන්පසු මෙම ආතතිය එක්කම ඔවුන් නිවසට එනවා.

මේ අයට පුංචි දෙයකට වුනත් ගොඩාක් තරහා යන එක සාමාන්‍යයි.

ඔවුන්ගේ සහකරු හෝ සහකාරියගේ ස්වභාවය අනුව ඔවුන්ගේ තරහා ගින්නක් බවට පත් වී ඇවිලෙනවාද නැතිනම් නිවි යනවාද යන්න තීරණය වෙනවා.

මානසික ආතතිය දුරු කිරීමට ඔබේ සහකරුට සහය විය යුත්තේ මෙහෙමයි

ඒ වගේම තමයි මේ ආතතිය නිසි ලෙස පාලන නොකළොත් එය මානසික අවපීඩනය දක්වා දුර දිග යන්න පුළුවන්.

එවිට ඔබ සමාජයෙන් බැහැරව හුදකලා වෙන්න පුළුවන්.

මානසික ආතතිය ඔබේ සම්බන්ධතා වල පැවැත්මට මෙන්ම ඔබේ සෞඛ්‍යයටද බලපෑම් කරනවා.

ඒ නිසා නියමාකාරයෙන්  රාජකාරි ආශ්‍රිත ආතතිය පාලනය කිරීම අතිශයින් වැදගත් වෙනවා.

 ඔබේ ප්‍රශ්න ඔබ හා බෙදා ගැනීමට මෙන්ම දුෂ්කර අවදි වල සවියක්ව යමෙක් ලගින් සිටියා නම්  හොදයි නේද? 

ඔබ විවාහක නම්, ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ ලොකුම ශක්තිය වෙන්න පුළුවන්. 

සහකරුගේ ආතතිය සමග කටයුතු කිරීම 

ආතතියට පත් සහකරුවෙකු සමඟ කටයුතු කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න.

1. ආතතියේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම

ගැටලුවක් විසඳීමට නම් එය හඳුනා ගැනීම වැදගත් වෙනවා. 

නිරන්තරයෙන් කාර්යබහුල වීම නිසා අප විසින් පාලනය නොකළ ආතතියට හුරුවී තියෙනවා.

සමහර විට අපි එය නොසලකා හරිනවා. 

මෙම ආතතිය නිසි වේලාවට කළමනාකරණය නොකළහොත් අවසාන ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්.

ආතතියේ අනතුරු ඇඟවීමේ පොදු සලකුණු මොනවාද?

ඔබේ සහකරුගේ හැසිරීම නිරීක්ෂණය කරන්න. ඔහු හෝ ඇය හුදකලාවීම, හැගීම්බර වීම, වෙහෙසට පත්වීම, අධික වෙහෙසින් යුක්ත වීම, තරහා යාම , නොසංසුන් හෝ පමණට වඩා කලබල වෙනවාදැයි බලන්න.

මේවා ආතතියේ පහසුවෙන් හඳුනාගත හැකි රෝග ලක්ෂණයි.

ඒ වගේම ඔබේ සහකරු හෝ සහකාරිය මත්ද්‍රව්‍ය, මත්පැන්, ආහාර හෝ සියුම් ඇබ්බැහි වීමේ විය හැකි යැයි සිතන ඕනෑම ද්‍රව්‍යයක් හෝ හැසිරීමක් සදහා ඔවුන් විසින් ලබාගන්නා  ඖෂධයක් ලබා ගන්නේ නම් ඒ ගැන අවධානය යොමු කරන්න.

ඔබ මෙම තත්වය  හඳුනාගත් පසු, ඔබේ සහකරු වෙත ගොස් ඔවුන්ට යමක් කරදර කරන්නේද යන්න  විමසන්න.

ඔවුන්ගේ දුක ඔබ බෙදා ගැනීමට කැමති බව පවසන්න.

ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට ඒ ගැන පැවසීමෙන් අනතුරුව ඔවුන් ඔබගෙන් බලාපොරොත්තු වෙන සහයෝගය ලබා දෙන්න.

2. සහකරුගේ ආතතිය අඩු කිරීමට ඔබේ සහකරුට හෝ සහකාරියට සවන් දෙන්න

රැකියාවේ හොද දවස් වගේම නරක දවස්ද තියෙනවා. එහෙම නරක දවස් වලට ඔබට අවශ්‍ය ඉක්මනින්ම ඔබේ සුවපහසු නිවසට දිව යන්න නේද?

ඒ විතරක් නෙමෙයි ඔබේ දුක වේදනාව අහන්න කැමති කෙනෙක් එක්කත් කතා කරන්න අවශ්‍ය වෙනවා.

සහකරු හා සහකාරිය යන දෙදෙනාම පූර්ණ කාලීන රාජකාරි කරන නිවෙස්වල නම් තත්වය ටිකක් උග්‍රයි.

ඔබ දෙදෙනාම කාර්යාලයේ වැඩ එක්ක හෙම්බත් වෙලා නිවසට එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

එවැනි අවස්ථාවන්හිදී, ඔබේ සහකරු හෝ සහකාරිය ඔවුන්ගේ දුක වේදනා ඔබ හා කියන විට එය ඔබ එය සාර්ථකව ඇහුම්කන් දේවියැයි කියන්න බැහැ.

ඔබේ අවධානය බිද වැටීමෙන් හෝ වෙහෙස නිසා මේ දුක් ගැනවිලි ඔබේ සවනින් ගිලිහි යන්නට පුළුවන්.

මේ නිසා ඔබේ සහකරු හෝ සහකාරිය කලකිරීමකට පත්වෙන්න පුළුවන්.

ඉවසිලිවන්තව හා ක්‍රියාශීලීව ඔබේ සහකරුට සවන් දෙන්න.

අවධානයෙන් අන් කිසිවකට යොමු නොකර  සෑම වචනයක්ම ඇහුම්කන් දෙන්න.

ඔබේ සහකරුගේ කථාවේ මැදට බාධා නොකර ඔහුට හෝ ඇයට ඒ වේදනාව ඔබ හා බෙදා ගන්න ඉඩ දෙන්න.

සමහරවිට ඒවාට ඇහුම්කන් දීමෙන් වුවද  ඔවුන් තුල වඩා හොඳ හැඟීමක් ඇති කරන්න පුළුවන්.

3. සහකරුගේ ආතතිය අඩු කර ගැනීමටමටම සහාය දෙන්න, ඒ ගැන සාකච්ඡා කරන්න

මානසික ආතතිය දුරු කිරීමට ඔබේ සහකරුට සහය විය යුත්තේ මෙහෙමයි

 

ඔබේ ජීවිතයේ සියලු කඩා වැටීම් වලදී ඔබට සහාය දෙන කෙනෙකු සිටීම ඇත්තටම ආශීර්වාදයක්.

ඔබගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් ඔහුට / ඇයට උපකාර කළ හැකි ඒ එකම කෙනා ඔබ වෙන්න.

කෙසේ වෙතත්, මේ සඳහා, 

  • ඔබේ සහකරුට / ඇයට පීඩනයක් , කණගාටුවක් දැනෙන විට, ඔහුට හෝ ඇයට වැඩිපුර අනුකම්පාව දක්වන්න. 
  • ඔබේ සහකරු හෝ සහකාරිය ඔවුන්ගේ වේදනාවන් ඔබට කියන විට ඔවුන්ගේ මේ වේදනා සුළු කොට තැකීමක් නොකරන්න. 
  • ඔවුන්ගේ ගැටළු වලට ඇහුම්කන් දෙන්න.  ඔවුන්ගේ තත්වය තේරුම් ගෙන ගැටළුව විසඳීමට හැකි සියලු ක්‍රම සාකච්ඡා කරන්න.
  • ඒ ගැටළු මුලුමනිම තේරුම් ගැනීමට  ප්‍රශ්න අසන්න. ඉන්පසු ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. 
  • ඵලදායි  සාකච්ඡා වලදී බොහෝ විට ඔබේ සහකරු මීට පෙර නොසිතූ අදහස් හා අර්ථ නිරූපණයන් ලබා ගන්න සමත් වෙනවා. 
  • මෙම නව දෘෂ්ටිකෝණයන් තුලින් ඔබගේ සහකරුට හෝ සහකාරියට තත්වය දෙස වෙනස් ආකාරයකින් බැලීමට සහ ගනුදෙනු කිරීමට හැකියාවක් ලැබෙනවා. 
  • ඔබට හැකි ඕනෑම ආකාරයකින් උදව් කිරීමට ඔබ ඔහු හෝ ඇය සමග එහි සිටින බව සංවාදය අවසානයේදී ඔවුන්ට සහතික වන්න.

4. ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට සහ මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඔවුන්ව දිරිමත් කරන්න

මානසික ආතතිය දුරු කිරීමට ඔබේ සහකරුට සහය විය යුත්තේ මෙහෙමයි

විනෝදාංශ හෝ ක්‍රීඩා සක්‍රියව කරගෙන යාමට සහ රැකියාවෙන් හා නිවසින් බැහැර ජීවිතයක් ගත කිරීමට ඔබේ සහකරු දිරිමත් කරන්න.

විනෝදාංශ වල යෙදීමෙන් පුද්ගලික සතුට හා තෘප්තිය ලැබෙන නිසා එය ඔබේ ආතතියෙන් පෙළෙන සහකරුට හෝ සහකාරියට වෙනසක් ලබා දේවි.

ඔබ දෙදෙනාටම යෙදිය හැකි ක්‍රියාකාරකම්වල නිරත වන්න. නැතහොත් සමාන අදහස් ඇති මිතුරන් සමඟ ඇසුරු කිරීමට ඔහුව හෝ ඇයව පොළඹවන්න.

පැරණි මිතුරන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ නව මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීමෙන්, ඔබේ සහකරුට වඩා හොඳ හැඟීමක් ඇති කර ගන්න පුළුවන් වේවි.

පවුලේ අය සහ කිට්ටු මිතුරන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම මගින්  මානසික ආතතිය දුරු කිරීමට පුළුවන්.

ආතතිය සෑම කෙනෙකුගේම ජීවිත තුළ ඇතිවෙනවා.

 නමුත් බොහෝ දෙනෙකුට එය විසඳීමට හා ආරම්භක අවධියේදී එය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. 

නිසි පරිදි හා නියමිත වේලාවට කටයුතු නොකරන ආතතිය, හවුල්කරුවන් අතර ඇති ශක්තිමත් සම්බන්ධතාවයක් වුවත් බිද දමන්න පුළුවන්.

ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය මානසික ආතතියේ සලකුණු පෙන්නුම් කරයි යැයි සැක කරනවා නම් මෙම කරුණු මතකයේ තබා ගන්න. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි
මුල් රචනය: Shabnam Muzammil
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය