දෙමාපියන් හැටියට අපි හැම විටම අපගේ උපරිමයෙන් මා පිය කර්තවය කිරීමට උත්සාහ ගන්නවා. දරුවන්ට අවශ්‍ය පෝෂණය, ඉගෙනීම් කටයුතු ගැන අනෙකුත් මාපිය වැඩිහිටියන් සමඟ දැනුම බෙදා ගත්තත්, ළමා අපයෝජන හා ළමා අපචාර ගැන අප අදහස් හුවමාරු කරගන්නේ සාපේක්ෂව අඩුවෙන්.
ඒ බොහෝ විට එයට අපගේ දරුවන් ගොදුරු නොවේ යැයි හැඟෙන නිසා වන්නට ඇති.
නමුත් අද ලෝකයේ තොරතුරු තාක්ෂණයේ හා අන්තර්ජාලයේ දියුණුවත් සමග කවදාටත් වඩා පහසුවෙන් බාල මහලු කාටත් ඔනෑම ආකාරයේ දත්ත,. වාර්තා මෙන්ම ජීවිතයට හිතකර හා අහිතකර ඔනෑම දෙයක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.
අන් කවරදාටත් වඩා අපේ දු දරුවන්ගේ ආරක්ෂාව ගැන තිර්ව අවදානයෙන් සිටීම ගොඩාක් වැදගත්.
ලොව පුරා දරුවන් විසින්ම තවත් දරුවන් අපයෝජනයට ලක්වීමේ පුවත් පමණක් නොව වීඩියෝ පට පවා අද සාජයේ සංසරණය වනවා. ලංකාවේද එවන් සෝචනීය සිදුවීම් සිදුවී නැතුවා නොවේ.
සුලභව දක්නට ලැබෙන මෙවන් සෝචනීය පුවත් නිසා අපගේ දු දරුවන් උණ සෙම්ප්‍රතිශ්‍යා වලින් සුරකින ලෙස අපචාර උවදුරු වලින් සුරකින්නට අවශ්‍ය වී තිබෙනවා.
ඒ දරුවන් ගොදුරක් බවට පත් විය හැකි නිසා පමණක් නොව, ඔවුන් ලිංගික අපචාර වල නියැලිමටද යොමු විය හැකි නිසයි.
ළමා අපයෝජනයකට කුමන හෝ ආකාරයෙන් භාජනය වන දරුවකුගේ මුළු මහත් අනාගතයම අඳුරු විය හැකි බැවින් එවන් අවස්ථා වලින් අප සෙවණේ ඇති දැඩි වන දරුවන් සුරැකීම අපගේ පරම යුතුකමක්.
සතුටට කරුණක් වන්නේ මෙවන් සිදුවීම් වලක්වා ගැනීම උණ සෙම්ප්‍රතියාවෙන් වැළකීමටත් වඩා පහසු කාරණයක් වීමයි.
දෙමාපියන් හැටියට අපගේ දරුවන් කෙරෙහි මනා අවබෝධයකින් කටයුතු කලොත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් පහසුවෙන්ම වලකා ගන්නට හැකියි කියා ඔබත් නිසැකවම එකඟ වේවි.
ඉහත පුවතෙහි සඳහන් සිදුවීමද එම දරුවන් දෙපළගේම දෙමාපියන් හෝ රැකවලුන් වගකීමෙන් කටයුතු කර ඇත්නම්, වලකා ගත හැකිව තිබූ සිද්දියක් බව නොඅනුමානයි.
ඔබේ දරුවාව ළමා අපයෝජන හා ලිංගික අපයෝජන වලින් සුරැකිය හැකි ක්‍රම පහක් ගැන විමසා බලමු
1. ඔබේ දරුවාට පහසුවෙන් ආශ්‍රය කල හැකි මිතුරෙකු හෝ මිතුරියක් වන්න. ළමා අපයෝජන
ළඅද යුගයේ කාර්යබහුලත්වයත් සමග දෙමාපියන්ට දවසක කටයුතු නිම කිරීමට පැය 24ක් ප්‍රමාණවත් නොවන තරම්.
සැම කටයුත්තක් සඳහාම නිසි පරිදි කාලය වෙන් කළත් දරුවන් සමඟ සාවධානයෙන් කාලය ගත කිරීමට කාලයක් නොමැති තරම්.
දරුවන් හට රුපවාහිනිය හෝ වෙනත් උපාංගයක් දී ඔවුන්ගෙන් මිදී සිටීමට බොහෝ දෙමාපියන් පෙළඹී ඇති බව අප දකිනවා.
මෙය ඉතා අවාසනාවන්ත තත්වයක්.
නමුත් අපට මෙය පහසුවෙන් වෙනස් කල හැකියි. දරුවන් හට දෙන කාල ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ ලබා දෙන කාලයේ ප්‍රමිතියයි.
ඔවුනට අප ඇහුම්කන් දෙන්නේ විනාඩි 10ක් වුවද අපගේ පුර්ණ අවධානය ඔවුන් වෙත යොමු කර ඉවසීමෙන් ඔවුන්ගේ දවසේ විස්තර වලට ඇහුම්කකන් දීම වැදගත්.
මෙමගින් දරුවා සමඟ මිතුදමක් ගොඩ නාග ගැනීමට අපට හැකි වෙනවා.
2. ඔබ දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් හා සියලු එදිනෙදා කටයුතු ගැන මනා අවබෝධයෙන් සිටින්න.
එපමණක් නොව,.ඔවුන්ගේ විස්තර ඇසීමට යුහුසුළුව සිටීමට අපත් හුරු වෙනවා.
මෙමගින් ඔවුන්ගේ දවසේ ක්‍රියාකාරකම්, ඔවුන් ආශ්‍රය කරන හිත මිතුරන් ගැන මනා අවභෝදයක් අපට ලැබෙනවා.
ඔවුන් හට මිතුරකු සේ හොඳ නරක අවබෝධ කර දීමේ ඉඩ කඩ අපට ලැබෙනවා.
මෙමගින් ඉහත කී ලෙස දරුවන්ගේ විශ්වාසය දිනා ඔවුන්ගේ මිතුරෙක් සේ අදහස් හුවමාරු කර ගැනීම තවත් පහසු වෙනවා.
3. අධ්‍යාපනය සහ දැනුවත් කිරීම් ළමා අපයෝජන
දරුවා සමග කුළුපගව කටයුතු කිරීමෙන් ඔවුන්ට ළමා අපයෝජනයෙන් මිදීම, ප්‍රවේසමෙන් හිත මිතුරු වැඩිහිටියන් ආශ්‍රය කරන ආකාරය හා අවධානම් වලින් සුරැකී සිටින ආකාරය ගැන ඔවුන් දැනුවත් කල හැකියි.
දරුවාගේ වයසට සරිලන පරිදි ඔවුනට මෙම අවබෝධය ලබා දිය හැකියි.
දරුවාට විශ්වාස කල හැකි සුරැකි වැඩිහිටියන් කවුරුන්දැයි හඳුන්වා දිය යුතුයි. හදිසි අවස්ථාවක ඔවුන්ගේ පිහිට ලබා ගත හැකි බව වටහා දිය හැකියි.
ළමා අපයෝජනට බොහෝ විට ලක් වන්නේ නිවසේ නිතර ආශ්‍රය වන දන්නා හඳුනන පුද්ගලයින් අතින් බව අප දන්නා කාරණයක්.
දරුවන් නිදහසේ පරිහරණය කළ යුත්තේ නිතරම තම මව අතින් බවත්,. ඔවුනට අපහසු වන සේ කුමන කෙනෙක් හෝ අත පත ගාන්නේ නම් ඉක්මනින් එම ස්ථානයෙන් තමන්ට සුරැකි කෙනෙක් වෙත නික්ම යා යුතු බවත් පහදා දීම වැදගත්.
4. අන්තර්ජාලය හා දරුවා භාවිත කරන තාක්ෂණික උපාංග කෙරෙහි මනා අවබෝධයකින් සිටීම.
අන්තර්ජාලයෙන් ජීවිතයට හා අධ්‍යාපනයට බොහෝ දේ දායාද වන නමුත් එයින් වන හානියද කියා නිමකළ නොහැකියි.
සැම දෙයක්ම පිරික්සීමේ, ඉගෙනීමේ හා කුතුහලයෙන් වැඩෙන දරුවන් නොමග යාමට උර දෙන ලොකුම මෙවළම අන්තරජාලය යැයි කීම වැරදි නැත.
අපටත් වඩා දියුණු මනසක් ඇති නුතන යුගයේ දරුවන් අන්තර්ජාලය පිරික්සීම බොහෝ ප්‍රෙව්සමෙන් කල යුත්තක් වන්නේ මේ නිසයි.
ඔබ තාක්ෂණයෙන් දියුණු කෙනෙක් නොවේ නම්, දන්නා කෙනෙක් ලවා හෝ අන්තර්ජාලයෙන් පිරික්සිය හැකි දත්ත පාලනය කිරීමේ මෘදු උපාංගයක් ඔබේ දුරකථන හා පරිගණකය තුල අන්තර්ගත කිරීම වැදගත්.
දරුවාට දිනෙකට පැයක් හෝ අඩු කාලයක් පමණක් එවන් කර දී ඔවුන්ගේ ක්‍රියාදාම ගැන විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්.
5. දරුවාට ඔබව අවශ්‍ය සෑම මොහොතකම ක්ෂනිකව ඔවුනට අවශ්‍ය කාලය සහ අවධානය ඔවුනට ලබා දෙන්න.
දරුවන්ගේ ලෝකය වැඩිහිටි ලෝකයට වඩා හුඟක් වෙනස්.
මනෝ වෛද්‍යවරුන් කියන පරිදි කුඩා දරුවන් යම් හෝ අපයෝජනයකට ලක් වී ඇත්නම්, එය අපට මතුපිටින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම මදක් අපහසු වන්නේ, දරුවන් එය අමතක කොට දෛනික සෙල්ලම් වල නියැලෙන නිසා.
ඔවුන් සතුටින් සිටීමට ප්‍රිය කරන අතර ඔවුනට වද දෙන සිතුවිලි වලින් මිදී සිටීමට උත්සහ කරනවා.
ඔබ දරුවා ගැන මනා අවබෝධයෙන් සිටින කෙනෙක් නම්, ඔහුට ඔහෝ ඇයට යම් ගැටළුවක් ඇත්නම් දරුවාගේ එක බැල්මකින් එය තේරුම් ගැනීමට අපහසු නුනත්,. දරුවාගේ ඇඳුම් ආයිත්තම් හා හැසිරීම් රටා වල ක්ෂණික වෙනස් වීම් ගැන උපේක්ෂාවෙන් සිටීම වැදගත්.
එමෙන්ම දරුවාට යම් යම් දේ කතා කල යුතු වන්නේ ඔවුනට එය මතක් වූ සැනින් වන්නට පුළුවන්. එවන් මොහොතක ඒ ගැන සුපරික්ෂාකාරී වී දරුවට ඇහුම්කන් දීම ඉතා වැදගත්.
මේ දේවල් අප ජිවිතයේ ක්‍රියාත්මක කිරීම තුලින් දරුවන් සමඟ බොහෝ හිතකර සම්බන්දතාවක් ගොඩනගා ගනිමින් ඔවුනට ආරක්ෂාකාරී ලෙස ජිවත් වීමට සලසන්න හැකි වෙනවා.
එපමණක් නොව, වටිනා ආකල්ප හා දැනුම ඇති දරුවෙක් සමාජයට දායාද කර මෙවැනි අහිතකර පුවත් අවම කිරීමේ හැකියාවක්ද අපට ලැබෙනවා.
යම් හෙයකින් ඔබේ දරුවා හෝ වෙනත් දරුවකු ලිංගික අතවරයට ලක් වී ඇතැයි ඔබට හැඟෙනවා නම් හෝ එවන් හදිසි අවස්ථාවකට ඔබ මුහුණ දෙන්නේ නම් වහාම 1929 යන කෙටි දුරකථන අංකය ඔස්සේ ළමා ආරක්ෂක අංශය අමතන්න.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.