ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

බබාව සම්බාහනය කිරීමට අවශ්‍ය ඉගි ‌මෙන්න.

පුංචි පැටියා සුව නින්දකට ගෙන යන්න හෝ පුංචි කුසයේ පිරි ඇති වායු සමනයට සදහා බබාව සම්බාහනය කිරීම තුලින් අරුම පුරුම ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.

ඇත්තටම ඔබේ දෑත් වල මුදු පහසින් ඒ පුංචි ගතත් සිතත් සැනසෙනවා නම් තව වෙන මොනවාද?

ඔබේ දෑතේ බලය අන්න ඒ තරම් වෙනවා.

උපතේදි සිටම වර්ධනය වෙන ස්පර්ශය දරුවාගේ වර්ධනයට අති මහත් සේවයක් කරනවා.

ඒ බැවින් දරුවන් සම්බාහනයෙන් විශාල ප්‍රතිලාභ ලැබෙන බව පරීක්ෂණ මගින් සොයා ගෙන තියෙනවා.

ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

බබාව සම්බාහනය කිරීම බබාට වැදගත් ‌වෙන්නේ කොහොමද?

පුංචි පැටියාගේ බඩේ අමාරුව සහ දත් කැක්කුම අඩු කිරීමට, මාංශ පේශි වර්ධනය වැඩි කිරීමට, කලබල වූ පැටියාව සන්සුන් කිරීමට සහ දරුවාට සුව නින්දක් ලබා දීමට සම්බාහනය සහය ලබා දෙනවා.

එපමණක් නොවේ ඔබේ ස්පර්ශය ඔබේ දරුවා හා ඔබ අතර සම්බන්ධතාවය ඇති කරගැනීම පහසු කරනවා.

ඉතින් ළදරු සම්බාහනය ඵල රහිත බව තවත් ඔබ හිතනවාද?

ඔබේ අලුත උපන් දරුවා නිවසට ගෙන ආ දවසේ සිට මෘදුව ළදරු සම්බාහනයක්  ලබා දෙන්න පුළුවන්.

ඒ සදහා බබාගේ තාත්තාව දිරිමත් කරන්න.

තාත්තාගෙයි පුතාගෙයි නැතිනම් තාත්තාගෙයි දුවගෙයි ආදරණිය බැදීමට මුල පුරන්න එය හොද ක්‍රමයක් වෙනවා.

බබාව සම්බාහනය කිරීම සදහා ඉඟි

ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

පහත උපදෙස් ඔබ හෝ ඔබේ සහකරු මතක තබා ගන්නා. ඔබේ දරුවා රැකබලා ගන්නා වෙනත් අයෙක් වේ නම් මේ උපදෙස් ලබා දෙන්න.

1. දිනපතාම බබාව සම්බාහනය කිරීම පුරුදු වන්න

ඒ සදහා සෑම දිනකම එකම වේලාවක යොදාගන්න. ඒ සදහා සුදුසු වේලාවක් තෝරා ගන්න.

මෙය කලබලයට කරන්න හැකි දෙයක් නොවේ. ඒ කියන්නේ ඔබට හොද්දක් ලිප තබා එය ඉදෙන තුරු පැමිණ එය කරන්න බැහැ.

ඒ නිසා දවසේ ඔබට නිස්කලංක වේලාවක් මේ සදහා යොදා ගන්න.

ඔබ පමණක් නොව එම වේලාවේදි දරුවාද සංසුන්ව සිටිය යුතුයි. ඔබේ දරුවාගේ කුස හිස්ව ඇති විට හෝ එය පිරි ඇති විට එය පිරිමදිනවාට ඔබේ දරුවා කැමති නොවේවි.

ඒ නිසා දරුවාට කුසගිනි වේලාවක් හෝ දරුවාට ආහාර දුන් වහාම මේ සදහා යොදා නොගන්න.  

කුස පිරි සිටින දරුවෙකුගේ කුස පිරි මැදිමට යාමෙන් ඔහු අනිවාර්යයෙන්ම ආහාර සියල්ලම වමනය දමන්න බොහෝ ඉඩක් තියෙනවා.

2. සුදුසු තෙල් වර්ගයක් තෝරා ගන්න

ඔබ සම්බාහන තෙල් භාවිතා කරන්නේ නම්, ආහාරයට ගත හැකි, සුවඳ නැති, සුදුසු  තෙල් වර්ගයක් තෝරන්න.

ඔබේ පුංචි පැටියාව නිවැරදිව සම්බාහනය කරන්න තෙල් අවශ්‍යයමයි කියලා අපි කියන්නේ නැහැ.

එහෙත් තෙල් වල ලිස්සන සුළු ගතිය ඔබේ අතැගිලි වල මෘදුව දරුවාගේ සිරුර මත ගෙනියන්න උදව් කරන්න තෙල් වලට පුළුවන්.

එය දෙදෙනාටම පහසුවක් වේවි. 

මේ සදහා පොල්, ඉරිඟු, ඔලිව්, මිදි බීජ, ඇප්රිකොට්, අලිගැට පේර හෝ කුංකුම අඩංගු තෙල් වර්ගයක් තෝරා ගන්න ඔබට පුළුවන්.

මෙම තෙල් ළදරුවන්ගේ සමට පහසුවෙන් අවශෝෂණය වෙනවා.

ඒ වගේම ඔබේ කුඩා දරුවාගේ අත් හෝ ඇඟිලි වල තැවරි එය සිරුරට ඇතුල් වුවත් බිය වෙන්න දෙයක් නැහැ.

ඒවා පහසුවෙන් ජීර්ණය වෙනවා. 

බේබි ඔයිල් හෝ ඛනිජ තෙල් භාවිතා කරන්න එපා. ඒවා සමේ සිදුරු අවහිර කරන අතර අසාත්මිකතා ඇතිවීමේ හැකියාව සයිතයි.

3. ඔබ දෙදෙනාටම සුවපහසු තැනක් තෝරගන්න

අවම වශයෙන් 75 ° F පමණ උණුසුමක් ඇති ස්ථානයක් මේ සදහා කදිමයි.

සම්බාහනය එක්ක උණුසුම් වෙන අලුත උපන් බිළිඳාගේ සිරුර මේ නීසා අපහසුතාවයට පත් නොවේ.

ඔබේ කුඩා දරුවාගේ ඇදුම් මාරු කරන මේසය මත තබා සම්බාහනය කරන්න පුළුවන්. ඔබේ ඇඳත් ඒ සදහා සුදුසුයි.

යටින් තුවායක් තැබීමෙන් තෙල් පැල්ලම් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

මේ කාලය තුලදි  සන්සුන් පසුබිම් සංගීතයක් වාදනය වෙන්න දෙන්න.

නැතිනම් ඔබේ දරුවා සමඟ කතා කරන්න. ඔහුට ගායනා කිරීමත් හොද ක්‍රමයක්.

4. ඔබේ දරුවාගේ ඉඟි වටහා ගෙන ක්‍රියා කරන්න

 කිසිම අයෙක් මානසිකව සුදානම්  නැති විට එය කරනවාට අකමැතියි. ඔබේ පුංචි පැටියාත් එසේ බව අමතක නොකරන්න.

ඔබ සම්බාහනය කිරීමට සුදානම් වු විට ඔබේ දරුවා අනෙක් පසට හැරේ  නම්, රවයි නම් හෝ අඩයි නම් සම්බාහනය කිරීම මදකට කල් දමන්න.

ඔබට සෑම විටම පූර්ණ ශරීර සම්බාහනයක් ලබා දීම අවශ්‍ය නැහැ.

ඔබ ඔහුගේ කකුල් පිරිමැදි පසු ඔහුට ඇති යැයි ඔබේ දරුවා අගවන්නේ නම් එතැනින් නවතින්න.

5. මෘදු වන්න

මෘදුව සහ  වැඩි පීඩනයකින් තොරව එය කරන්න. 

හදවතෙන් ඉවතට පිරිමැදිම (උරහිස් සිට මැණික් කටුව දක්වා) සැහැල්ලු කරනු ලබනවා.

එම නිසා එය  නින්දට පෙර සම්බාහනය සඳහා වඩාත් සුදුසු ක්‍රමයකි.

හදවත දෙසට (මැණික් කටුවේ හෝ උරහිසේ සිට) පිරිමැදීම වඩාත් උත්තේජනයක් ලබාදෙනවා.

එය ඔබේ දරුවා අවදියෙන් හා ක්‍රියාශීලීව සිටින විට වඩාත් සුදුසුයි. 

බබාව සම්බාහනය කිරීම සදහා ක්‍රම කිහිපයක්

මෙම ක්‍රම උත්සහා කර බලන්න. 

1. කකුල් සහ අත්

ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

ඔබේ දරුවාගේ විලුඹ එක අතකින් අල්ලා ගන්න. 

ඔබේ අනෙක් අතින් කලවා මුදුනේ සිට ආරම්භ කර වළලුකර දක්වා සෙමෙන් සම්බාහනය කරන්න.

කකුල මෘදු ලෙස මිරිකන්න. නැවත වළලුකර සිට කලවා සම්බාහනය කරන්න.

ඉන්පසු ඔබේ ඇඟිලි තුඩු වලින් එක් කකුලක යටි පතුල් අතුල්ලන්න. අනෙක් කකුලටද කරන්න.

ඔබට මෙයම අත් හා අල්ලට කරන්න පුළුවන්

2. හිස

ඔබේ දරුවාගේ හිස දෙපසින් ඔබේ දෑත් තබා ඔහුගේ සිරුරේ දෙපැත්තෙන් හිස සිට කකුලේ ඇඟිලි දක්වා සම්බාහනය කරන්න.

ඊළඟට, ඔබේ ඇඟිලි තුඩු වලින් ඔබේ දරුවාගේ හිස මත රවුමට සම්බාහනය කරන්න.

3. මුහුණ

 ඔබේ දෑත් යාච්ඤා කරන ආකාරය සකස් කර දරුවාගේ නළල මත තබන්න. 

ඉන්පසු මෘදු ලෙස මැදින් පිටතට තල්ලු කරන්න.

ඊළඟට, ඔබේ මාපටැඟිල්ල භාවිතා කර එක් කම්මුලක සිට අනෙක් කම්මුලට  ඉහළ තොල් මතින් ඇද ඔබේ දරුවාගේ මුහුණේ සිනහවක් ඇති කරන්න.

එයම පහළ තොල් හරහාද නැවත කරන්න.

4. පපුව

ඔබේ අත් යාච්ඤා කරන ආකාරය සකස් කර දරුවාගේ පපුව මත තබන්න.

ඉන්පසු විවෘත පොතක පිටු මෘදුව  දෙපසට පිරිමදිනවා සේ දෙපැත්තට පිරිමදින්න.

5. උදරය

ඔබේ ඇඟිලි තුඩු ඔබේ දරුවාගේ පෙකිණියට  පහළින් ඔරලෝසු කටු කැරකෙන පැත්තට ඉලිප්සාකාරව ගෙනයන්න.

ඉන්පසු X ආකාරය ඔබේ දරුවාගේ උදරය හරහා විකර්ණ හැඩයට ඇගිලි තුඩු ගෙන යන්න.

6. පිටුපස

 ඔහුගේ පිටුපස පැත්තෙන් පැත්තට සම්බාහනය කරන්න. ඉන්පසු ඉහළට සහ පහළට සම්බාහනනය කරන්න.

මුලාශ්‍ර -  www.whattoexpect.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය