අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවාට දැන් වයස අවුරුදු පහක් (මාස 60). ඔබේ පස් හැවිරිදි දරුවා සෑම දෙයක් ගැනම කුතුහලයෙන් යුක්ත අතර  විමසිලිමත්ව වෙනවා. මේ ගෙවි යන්නේ මොනතරම් මනරම් යුගයක්ද? 

අවුරුදු 5 ළමා වර්ධනය: ඔබේ පස් හැවිරිදි දරුවා සෑම දෙයක් ගැනම කුතුහලයෙන් යුක්ත අතර  විමසිලිමත්ව වෙනවා.  ඉගෙනීමට හා දැන ගැනීමට මෙම නිරන්තර අවශ්‍යතාවය ඔබේ දරුවාගේ ඇදහිය නොහැකි මානසික  වර්ධනය පෙනුම් කරනවා.

දේවල් ක්‍රියාත්මක වන ආකාරය ගැන දැන ගැනීමට ඔබේ දරුවාට අවශ්‍ය වේවි. හැඩය, ප්‍රමාණය හෝ වර්ණය අනුව දේවල්  වර්ග කිරීමට ඔහු ප්‍රිය කරාවි.

එමඟින් ඔහුගේ මොළය විවිධ වෙනස් ලක්ෂණ අනුව අයිතමයන් ක්‍රියාවට නංවන ආකාරය හා වර්ගීකරණය කරන ආකාරය පෙන්වනවා.

අවුරුදු 5 ළමා වර්ධනය - අවුරුදු 5 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ 5 හැවිරිදි දරුවා තුළ ඔබට අපේක්ෂා කළ හැකි වෙනත් මානසික  වර්ධනයන් බලමු.

  • කාලය පිළිබඳ මූලික සංකල්පය අවබෝධ කර ගන්න පුළුවන්.
  • අවම වශයෙන් මිනිත්තු 10 ක් සිත්ගන්නාසුලු කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.
  • අඩුම වශයෙන් වර්ණ හතරක් වත් හඳුනාගන්න පුළුවන්.
  • අවම වශයෙන් 10 හෝ ඊට වැඩියෙන් ගණන් කරන්න පුළුවන්.
  • හෝඩියේ බොහෝ අකුරු හඳුනා ගන්නවා.
  • “බළලා”, “බල්ලා” සහ “මාළුවා” වගේ සත්තු නම් කරන්න පුළුවන්.
  • ඔහුගේ නම, හෝඩියේ අකුරු සහ අංක කිහිපයක් ලියන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවා කියවීමට හා ලිවීමට සූදානම් නැතිනම් ඒ සදහා තල්ලු කරන්න එපා. ඔබේ පුංචි  දරුවා  මෙම සන්ධිස්ථා වලට ඔහුගේ වේගයෙන් ලගා වේවි.
  • පැහැදිලි, පිළිවෙලට අත් අකුරු තවමත් බලාපොරොත්තු වෙන්න එපා. ඕනෑම කියවීමේ / ලිවීමේ උත්සාහයක් සඳහා ඔබේ දරුවාට ප්‍රශංසා කරන්න.
  • ඔබේ කුඩා දරුවා සමඟ දිගටම කියවන්න.  ප්‍රශ්න අසමින්  හා අන්තර්ක්‍රියා කරමින් ඔහුව  උත්තේජනය කරන්න.  ඒ වගේම  පොතේ විවිධ වර්ණ හෝ හැඩයන් පෙන්වා දීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • දරුවා හැකි තරම් කෞතුකාගාර, උද්‍යාන සහ වෙනත් සිත්ගන්නා ස්ථාන වෙත රැගෙන යන්න. මෙම චාරිකා විනෝදජනක මෙන්ම උත්තේජනක කරන්න. උදාහරණයක් ලෙස, ඔබ උද්‍යානයක සිටින විට, ඔබේ කුඩා දරුවාට ගසක හෝ මලක කොටස් ගැන කියාදෙන්න පුළුවන්.
  • ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට හැකි තරම් ප්‍රහේලිකා දෙන්න. මේ මගින් දරුවන්ගේ මානසික ඉහළ නංවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • 10 ට ගණන් කළ නොහැකි නම්
  • ඔහුගේ නම ඔබට පවසන්න නොහැකි නම්
  • වර්ණවල නම් කරන්න නොහැකි නම්
  • මිනිත්තු කිහිපයක් වත් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න අපහසු නම්

අවුරුදු 5 ළමා වර්ධනය  - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ පස් හැවිරිදි දරුවා  ජීවිතයේ සොදුරු  අවදියේ සිටින අතර  අවධානය ලබාගන්න  ගොඩාක්  කැමතියි. ඔහුගේ සමාජ කුසලතා පසුගිය වසර කිහිපය තිස්සේ සංවර්ධනය වෙලා තියෙනවා.

දැන් ඔහු අන් අය සමඟ ඉන්නවා  විතරක් නෙමෙයි  ඔහුගේ මිතුරන් සමඟ සෙල්ලම් කරනවා. එය ඇත්තටම  සතුටට කරුණක් නේද?

වයස අවුරුදු පහේදී, ඔබේ දරුවාට “හොඳම යාලුවෙක් ” ඉන්න පුළුවන්.  ඒ වගේම ඔහු  තනියම සෙල්ලම් කරන්න මෙන්ම සම වයසේ යහළුවන් සමග සෙල්ලම් කිරීමටත් කැමැත්තක් දක්වනවා.

ඔබේ කුඩා දරුවාට ඔබේ ආදරය, සෙනෙහස, අවධානය සහ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඔහු ඔබව සතුටු කිරීමට දේවල් කරනවා. ඒ වගේම තවමත් ඔහුගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වන ඔබෙන් හැගීම්බර  සහතිකයක් බලාපොරොත්තු වෙනවා.

උද්වේගකාරීත්වය  යට පත්ව හෝ අඩු වී ඇති අතර, “ඒක අසාධාරණයි ” කියමින්  පුංචි  කකුල් බිම ගසන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. ඉදිරි මාස කිහිපය තුළ මෙම හැසිරීම තවදුරටත් අඩු වෙනවා ඔබට දකින්න පුළුවන්.

අවුරුදු 5 ළමා වර්ධනය - සමාජ හා හැගීම්  සංවර්ධන තුලින් ඔබට බලාපොරොත්තු විය හැකි දේවල්

  • ඔබේ දරුවා තරමක් අනෙක් අය පාලනය කරන්න හදන්න පුළුවන්. විශේෂයෙන් මිතුරන් සමඟ සෙල්ලම් කරන විට මෙය සිදුවෙන්න පුළුවන්.
  • සෙල්ලම් බඩු බෙදා ගැනීමට කැමති යි.

ඔහුගේ ප්‍රියතම සෙල්ලම් බඩු පවා බෙදාගන්නවා.

  • පුංචි  අවැඩක් නොවන  බොරු කියනවා.  ඔබව සතුටු කිරීමට පමණයි.
  • තවමත් ඉඳහිට තනිව සෙල්ලම් කරන්න කැමතියි.
  • කටකාරයි. ඔහුට සවන් දෙන ඕනෑම අයෙකු සමඟ දිගු සංවාද පවත්වනවා.
  • පිටතට යන්න හරි ආසයි. එය සුපිරි වෙළඳසැලකට යන ගමනක් වුවත් ඔහු ප්‍රිය කරනවා.
  • මවාගත් රගපෑම් කරන  අතර තමා සමඟ කතා කිරීමට පවා ඉඩ තියෙනවා.

ඉඟි:

  • ඔබගේ කුඩා දරුවාගේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාව දීමට දැන් කාලයයි. වඩා වැදගත් සමාජ කුසලතා ඉගෙන ගන්නා අතරම ඔබේ දරුවා ඔවුන්ගේ ඇසුරින් හොඳින් විනෝද  වේවි.
  • ඔහු තුල හොඳ පුරුදු වල වැදගත්කම ශක්තිමත් කරන්න. එබැවින් ඔබේ පුංචි දරුවා  ඔබට “කතාවක්” පැවසීමට යැයි  කෑගසන විට ඔහු වෙනත් පුද්ගලයෙකුගේ සංවාදයට බාධා නොකළ යුතු බව ඔහුට කියා දෙන්න."කරුණාකර" 'මට සමාවෙන්න" වැනි වාක්‍ය ඔබේ දරුවාට උගන්වන්න.
  • තරමක ආධිපත්‍යය පැතිරීම සාමාන්‍ය දෙයක් වුනත් ඔබේ කුඩා දරුවා අතිශයින්ම ආධිපත්‍යය පතුරවන බව  ඔබ දුටුවහොත්, මෙය සුදුසු  නොවන්නේ ඇයි කියා ඔහු කියාදෙන්න. සෙල්ලම්  කරන විට, සෑම දරුවෙකුටම “නායකත්වය” ලැබෙන    සෙල්ලම් වල යෙදීමට  දිරිමත් කරන්න.
  • ඔබේ දරුවා සමඟ කතා කරන විට ඔබේ පූර්ණ අවධානය ඔහු වෙත යොමු කරන්න. ඔබට වෙනත් දෙයක් කරන්න අවශ්‍ය වුනත්,  ඔහුව නොසලකා හරින්න එපා. ඒ වෙනුවට, ඔබ ඔහු වෙත ඉක්මනින්ම යලි එන බව ඔබේ දරුවාට කියන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීම පිළිකුල් කරයි නම්
  • වැඩිහිටි ළමයින් අසල සිටීමට කැමැත්තක් දක්වයි නම්
  • සෙල්ලම් කරන අතරතුර ආක්‍රමණශීලී (වාචිකව සහ / හෝ ශාරීරිකව) නම්
  • නිතර ළදරුවන් සේ උද්වේගකාරීව හැසිරෙයි නම්
  • නිවසින් පිටතට යාමට අකමැති නම්

අවුරුදු 5 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ පස් හැවිරිදි දරුවාගේ කථන සහ භාෂා හැකියාවන් වේගයෙන් වර්ධනය වෙලා  තියෙනවා.  ඔහු කිසි විටෙකත් කතා කිරීම නවත්වන්න එකක් නැහැ කියලා ඔබට හිතේවී. ඔහුට  සෑම දෙයක් ගැනම කතාබස් කිරීමට අවශ්‍ය බවත් ඔබට දැනේවි. පුදුමයක් වෙන්න එපා.  මේ වචන 2,000 ක් පමණ තියාගෙන ඔහු වෙන මොනවා කරන්නද?

අවුරුදු 5 ළමා වර්ධනය - මේ  වර්ධනයන්ද බලාපොරොත්තු  වන්න.

  • වෙනත් පුද්ගලයෙකු සමඟ අර්ථවත් සංවාදයක් පවත්වනවා.
  • හොඳ පැහැදිලි කමකින් කතන්දර කියනවා. නැතිනම් කතා කරනවා.
  • අකුරු දෙකක් හෝ තුනක්  වචන කියවන්න පුළුවන්.
  • ඔහු කියන දේ ආගන්තුකයන්ට බොහෝ විට තේරුම් ගන්න පුළුවන්.
  • අනාගත කාල වාක්‍ය භාවිතා කරනවා  “අපි හෙට පාර්ක් යමු”
  • සර්වනාම නිවැරදිව භාවිතා කරනවා. (“මම”, “මට”, “ඔබ”, “ඔහු”, “ඇය” )
  • ඔබේ පියවර තුනක නියෝග නිවැරදිව තේරුම් ගෙන අනුගමනය කරනවා.  උදාහරණය, “ඔයාගේ අක්කාට  පහලට ඇවිත්, අත් සෝදා ගෙන  රෑ කෑම  කන්න කියන්න.”
  • කතන්දර අනුපිළිවෙල තේරුම් ගන්නවා (කතාවක පළමු, ඊළඟ හා අවසාන කොටස්)

ඉඟි:

  • ඔබේ දරුවාගේ දවස ගැන ඔබට කියන්නට ඔහුව ධෛර්යමත් කරන්න. පසුව ඔහුගෙන් ප්‍රශ්න අසන්න.
  • වචන සමග කරන සෙල්ලම් කරන්න ඔහුට අවස්ථාව දෙන්න.
  • ඔබ ඔබේ දරුවා සමඟ සහ කියවන විට, ඔබ කියවන සරල වචන කිහිපයක් පෙන්වා දෙන්න. එවිට ඔබේ දරුවා වචනවල ශබ්දය සහ “පෙනුම”  සම්බන්ධ වෙන ආකාරය  ඉගෙන ගන්නා අතර, අවසානයේදී මෙම වචන තනිව  කියවීම හා ලිවීම  කරන්න ඔහුට පහසු වේවි.
  • ඔබ කියවීම අවසන් කිරීමෙන් පසු ඔබේ දරුවාට කතාව නැවත කියවීමට ඉඩ දෙන්න. මෙය කථනය සහ මානසික  සංවර්ධනය යන දෙකම දියුණු  කරනවා. ඒ වගේම  ඔබට කතාව පැවසීම සඳහා ඔබේ දරුවාට ඔහුගේ මතකය උකහා ගන්න සිදුවෙනවා.
  • ඔබේ දරුවාට නව ගීත සහ රිද්මකූල ගී උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • කිසිසේත් තේරුම් ගත නොහැකි නම්
  • අන් අය සමඟ වැඩිපුර කතා නොකරයි නම්
  • උපදෙස් හෝ ප්‍රශ්න තේරුම් ගත නොහැකි නම්.
  • කාල අනුව වාක්‍ය මුළුමනින්ම අවුල් සහගත වේ නම්
  • ඔහු දැනටමත් දන්නා දේවල වලට පසුබෑමක් පෙන්වයි නම්

අවුරුදු 5 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ  දරුවාගේ සෞඛ්‍යය හා සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා හොඳ පෝෂණයක් ලබා ගැනීම ඉතා තීරණාත්මක  වෙනවා.   

ප්‍රමාණවත් විවේකයක් සහ නින්දක් වැදගත් වෙනවා.  මේ වන විට ඔබේ දරුවා දහවල් නිදා ගන්නේ නැති  නමුත් ඔහුට රාත්‍රියේ පැය 9-10 අතර නින්දක් අවශ්‍ය වෙනවා.

උස හා බර බොහෝ වෙනස් වන අතර ජානද එයට බෙහෙවින් බලපානවා. සාමාන්‍යයෙන් මෙම වයසේ දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් 18 ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 109 ක් පමණ වෙනවා.

ඔබේ 5 හැවිරිදි දරුවා ආහාරයට ගත යුතු දේ පිළිබඳ උදාහරණයක් මෙන්න:

පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
කැලරි 1,200-2,000,

වර්ධනය හා ක්‍රියාකාරී මට්ටම අනුව

චීස් සැන්ඩ්විච් සහ කුඩා ඇපල් ගෙඩියක්, ගෙදර හැදූ චිකන් ෆ්‍රයිඩ් රයිස් කුඩා බඳුනක්, චීස් ටූනා පැස්ටා කුඩා කොටසක්, කිරි  කෝප්පයක්
ප්‍රෝටීන් කෝප්ප 1/2 තම්බපු මාළු (දරුවෙකුගේ අත්ලෙහි විශාලත්වය), මුං ඇට කුඩා බඳුනක් හෝ තම්බා බිත්තර ටක්
පළතුරු කෝප්ප  1 -1.5 සීරියල්  සමඟ මිශ්‍ර කළ පලතුරු හෝ යෝගට් වල මිශ්‍රිත පලතුරු
එළවළු කෝප්ප 1.5 - 2.5 නිවිති, බීට් රූට්, කැරට් වැනි  යකඩ හා තන්තු බහුල එළවළු
ධාන්‍ය කෝප්ප 3/4 බත්, නුල්ඩස්, පැස්ටා
කිරි ආහාර කෝප්ප 2 1/2 කිරි වීදුරුවක්  හා චීස් / බටර් / යෝගට් දවස පුරා

එන්නත් සහ පොදු රෝග

ඔබේ දරුවා මේ මාසයේ කිසිදු එන්නතක්  නැහැ.  ඔබේ පස් හැවිරිදි දරුවාට නියමිත එන්නත් සියල්ල ලබා දී ඇති බව තහවුරු කරගන්න.  ඔබේ දරුවාට උණ එන්නත ලබා දීම ගැන ඔබ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ කතා  කරන්න.

මෙම වයසේ ළමයින්ට  අත්, පාද සහ මුඛ රෝගය මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව සහ උණද වැළදෙන්න පුළුවන්.  ඔබට මේවා නවත්වන්න  බැහැ.  දියර, පළතුරු සහ එළවළු බහුල සමබර ආහාර වේලක් ලබා දීමෙන් මෙම රෝග  වලට එරෙහිව සටන් කිරීමට ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. අත් සේදීම වැනි මූලික සනීපාරක්ෂක පිළිවෙත් ඔබේ කුඩා දරුවා රෝග  ආරක්ෂා කර ගැනීමට මහත් කාර්‍යයක් ඉටු කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • දැඩි ලෙස බර අඩු හෝ වැඩි වීම
  • ඉතා අධික උණ (සෙල්සියස් අංශක 39 සහ ඊට වැඩි)
  • අසාමාන්‍ය රෑෂ්, ගැටිති හෝ තැලීම් ඇති නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස 01

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera