කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

උදෑසනට පෝෂණයෙන් ඉහළ ආහාරයක් ගැනීම වැදගත් වෙනවා

නිවසට වෙලා හිටපු ලොකු නිවාඩු ඉවර වෙලා මිනිස්සු යලිත් ටික ටික සමාජයට සංක්‍රමණය වෙමින් පවතිනවා. ඒ නිසා යලිත් කාර්යබහුල ජිවිතයට පිවිසෙද්දි කලබලකාරි උදෑසනට සකස්කරගත හැකි උදෑසන ආහාර රෙසිපි ඔබට දැන් අමතක වෙලත් ඇති නේද?

නිවාඩුව ඒ තරම්ම දිගයි නේද? කමක් නැහැ ටිකක් නැවුම් වෙන්නත් එක්ක අපි හැමදාම හදන රෙසපි ටිකක් වෙනස් කරලා හදමු.

උදෑසන ආහාර රෙසිපි

අපි දිගු නින්දකට පසු අවදිවෙලා මුලින්ම ගන්නේ උදේ ආහාරයයි.

ඒ නිසා උදේ ආහාරයට ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා.  ඒ එය ලොකු පොඩි කාටත් වැදගත් නිසයි.

උදේ ආහාරය පෝෂ්‍ය ගුණයෙන් යුක්තවීම ඔබේ සෞඛ්‍යයට ඉතා සුදුසුයි.

අද අපි කියන මේ සමහර ආහාර ඔබට වේලාව මදි නම් යන ගමන් වුනත් පහසුවෙන් කන්න පුළුවන්.

1. කිරිබත් වෙනුවට ඉඹුල් කිරි බත්

අපි හැමදාම කන කිරිබත් ටිකක් වෙනස් කලොත් පොඩ්ඩොත් කැමති වේවි.

ඒ නිසා අපි අද ඉඹුල් කිරිබත් සකස් කර ගැනීම ගැන කතා කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පිරවුම සදහා

  • සිහින්ව ගා ගත් පොල් බෑයක්
  • සිනී 100g
  • උකු පොල් කිරි කෝප්ප 2
  • කරද මුංගු
  • කරාබු නැටි
  • කුරුදු
  • ලුණු

කිරිබත සදහා

  • කැකුළු සහල් කෝප්ප 3 
  • වතුර 
  • උකු පොල් කිරි කෝප්ප 2
  • ලුණු(රස අනුව)

සකස් කරන විදිය

පිරවුම සකස් කිරීම

  • බඳුනක් ලිප තබා සීනි ටික දියවීගෙන යනවිට එයට වතුර මේස හැඳි 3ක් පමණ එකතු කරන්න
  • සීනි ටික උණුවෙන විට එයට  පොල් ටික එකතු කරන්න.
  • එයටම කරදමුංගු , කරාබු නැටි හා කුරුදු එකතු කර රස අනුව ලුනු යොදන්න.

කිරිබත සකස් කිරීම

  • සහල් වලට ජලය යොදා බත පිසගන්න.
  • එයට ලුණු හා උකු පොල් කිරී එකතු කර නැවත පිසගන්න.

ඉඹුල් කිරිබත සැකසීම

  • කිරිබත් ටිකක් කෙසෙල් කොළයකට දාල තුනී කරගන්න. කෙසෙල් කොළයක් හොයාගන්න නැත්නම් ලන්ච්සීට් එකක් ගන්න.
  • මේ කිරිබත් ටික මැදට කලින් සකස් කල පැණි පොල් ටිකක් එය ගුලි කරන්න.
  • විවිධ අච්චු භාවිතා කරලත් ලස්සන හැඩ වලට බබාට ඉඹුල් කිරිබත් හදලා දෙන්න පුළුවන්.

2. උදෑසන ආහාර රෙසිපි: කඩල තෙම්පරාදුවක්

කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

 

කඩල පෝෂණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයක්. එකතු කරන එළවළුත් එහි පෝෂ්‍ය ගුණය ඉහළ නංවනවා.

මේ එළවළු රාත්‍රියට කපලා තියාගත්තාහම කඩල තැම්බෙන අතර  ඉක්මනින්ම සකස් කරගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කඩල
  • සිහින්ව ලියාගත් කැරට්
  • ලියාගත් බෝංචි
  • සිහින්ව ලියාගත් ගෝවා
  • ලියාගත් ලීක්ස්
  • සිහින්ව ලියාගත් ලූණු හා කරපිංචා
  • අවශ්‍ය නම් පොල් බෑයකින් උලුප්පා ගත් සිහින් පොල් කැබලි
  • අබ ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු
  • රස අනුව ලූණු
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් ලිප තබා රත් වු පසු එයට අබ යොදා එය පුපුරන විට ලූණු , කරපිංචා හා පොල් කැබලි එකතු කරන්න.
  • ලූණු හා කරපිංචා රන්වන් පාට වෙන විට එයට එළවළු ටික එකතු කර හොදින් තැම්බෙන්න හරින්න.
  • ඉන්පසු කඩල එකතු කර රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කර ගන්න.

3. දඩිං බිඩිං ගාලා හදන බිත්තර සැන්විච්

කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති පාන්
  • බටර් 
  • බිත්තර 2
  • සිහින්ව ලියාගත් ලුණූ
  • සිහින්ව ලියාගත් අමුමිරිස්
  • ගම්මිරිස්
  • තෙල්

සකස් කරන ආකාරය

  • භාජනයක් ලිප තබා එයට පොල්තෙල් දමා එය රත්වෙන විට එයට බිත්තර දෙක කඩා දමන්න.
  • එයට රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කරමින් එය හොදින් කූරූ ගා ගන්න.
  • දැන් මිශ්‍රණය ලිපෙන් බා එයට සිහින්ව ලියා ගත් ලූණු හා අමු මිරිස් එකතු කරන්න.
  • දැන් බටර් තැවරු පාන් පෙති දෙකක් මැදින් මිශුණය දමා  ආහාරයට ගන්න පුළුවන්
  • නැතිනම් එය ටෝස් කරගන්නත් පුළුවන්.

4. උදෑසන ආහාර රෙසිපි: රස වෑහෙන මැකරොනි

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බූ මැකරෝනි 500g
  • මාගරින්
  • අර්තාපල් 150g
  • කැරට්  150g
  • බෝංචි  150g
  • කිරි 300 ml
  • හීනියට ගාගත් චීස් 150g
  • ලුණු

සකස් කරන ආකාරය

  • එළවළු ටික තම්බා ගන්න. මැකරොනි  ටිකත් තම්බා ගන්න.
  • ෆුඩ් පොසෙසර් එකකට එළවළු, බටර්, කිරි හා ලුණු එකතු කර මෘදු මිශ්‍රණයක් සකස් කරගන්න.
  • තම්බා ගත් මැකරොනි වලට කලින් සකස් කල මෘදු මිශ්‍රණය හා චීස් එකතු කරන්න.
  • මෙම මිශ්‍රණය තැටියකට දමා සෙල්සියස් 200 උෂ්ණත්වය යටතේ විනාඩි 15 ක් පුළුස්සා ගන්න.

5. කොස් ඇට මිශ්‍ර පෝෂණ පිට්ටු

කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා පොඩිකරගත් කොස් ඇට පිටි රයිස් කුකර් කප් බාගයක් පමන
  • කුරක්කන් පිටි ග්‍රෑම් 25ක්
  • සුවදැල් හාල් පිටි රයිස් කුකර් කෝප්ප 1 ක්
  • ගාගත් පොල්
  • ග්‍රෙට් කර ගත් කැරට් ටිකක්
  • ලියාගත් බීලූනු
  • සිහින්ව ලියා ගත් නිවිති කොලයක්,ගොටුකොල 2-3ක්, රතු තම්පලා කොල 2 පමන,ෆැෂන් ෆ්ෘට් දලු2 ක් පමන,මුගුනු වැන්න කොල 2-3ක් (ඔයාලට කැමති පලා කොල ගන්න)
  • රස අනුව ලුනු කුඩු

සකස් කරන  ආකාරය

  • මේ සියල්ල මිශ්‍ර කර සාමාන්‍ය පොල් පිට්ටු ආකාරයට පිට්ටු බම්බුවෙ තම්බා ගන්න.
    (වර්නක සදහා රතු පාට බීට් රෑට් වලින්ද කහ වර්නකය කැරට් වලින් ද ගත හැක)

මේ රෙසපිය හා එහි ඡායාරූප සදහා ස්තුතිය අපගේ පාඨක මවක් වන Indya Dananjali මහත්මියටයි.

6. පහසුවෙන් හදන අලුත් විදියේ බිත්තර රොටි

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 250 g 
  • උකු පොල් කිරි
  • බිත්තර 6
  • සිහින්ව ලියාගත් කැරට්, ලූණු, බෝංචි
  • ගම්මිරිස් 
  • ලුනු
  • තෙල්

සකස් කරන ආකාරය

  • පාන් පිටි වලට පොල්කිරි දමා උකු මිශ්‍රණයක් සකස් කරගන්න. කැටි තියෙන්න බැහැ.
  • තැටියක් ලිප තබා එහි තෙල් ගා රත් කරගන්න
  • තැටිය  මතට පිටි වත්කර රොටියක් ආකාරයට හැන්දෙන් සකස් කරගන්න.
  • ඒ මතට කඩා ගත් බිත්තරයක්, ලියාගත් කැරට් ලුනු  හා  බෝංචි දමන්න.
  • රස අනුව ලුනු හා ගම්මිරිස් දමා රොටියේ රවුම් කොටස් හතර ඇතුලට නවා හතරුස් කරගන්න.
  • ඒ පැත්ත හොදින් පිළිස්සුනු පසු අනෙක් පැත්ත හරවා පුළුස්සා ගන්න.

මේ උදෑසනට හදාගන්න පුළුවන් රසවත් වගේම පෝෂ්‍ය ගුණයෙන් සම්පුර්ණ ආහාර රෙසපි කිහිපයක්.  ඉතින් මේ රෙසපි ඔබට වැදගත් වේවි කියලා අපි හිතනවා.

ඔබ ලගත් මේ වගේ රසම රස ආහාර වට්ටෝරු තියෙනවා නම් අපි එක්ක බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි