පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

පෝෂණීය මුං ඇට බබාට කවමු.

මුං ඇට කියන්නේ රසවත් වගේම පෝෂණිය ආහාරයක්. අන්න ඒ නිසාම පොඩ්ඩාට හදලා දෙන්න මුං රෙසිපි කිහිපයක් ඔබ වෙත අරගෙන එන්න හිතුවා.

අපි අද රසවත්ව  මුං ඇට පිසිය හැකි ක්‍රම මොනවාද කියලා බලමු.

මුං රෙසිපි කිහිපයක්

පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

බබාට ඉස්සෙල්ලාම කෑම හදලා දෙන දවස් වල මුං ඇට පැලවෙන්න දාලා පැලවෙන මුං ඇට බබාගේ කෑම එකට එකතු කරනවා ඔයාට මතකද?

ඒ මුංඇට ඒ තරම්ම පෝෂ ගුණයෙන් යුක්ත නිසයි.

පසුව බබාට මුංඇට තම්බලා පොල් හෝ බටර් ටිකක් එක්ක දෙනවා.

පාසැල් වියේ දරුවෙක් නම් මුං ඇට තම්බලා ලුණු මිරිස් එක්ක කන්නත් කම්මැලියි.

සමහර වේලාවට අපි  මුං ඇට තම්බලා ඒකට කිරි ටිකක් දාලා මුං ඇට මාළුවක් හදලා බත් එක්ක කන්න බබාට දෙනවා.

ඉතින් මේ ඒකාකාරි මුං ඇට රෙසපි වලින් ඔබ්බට ගිහින් රසවත් රෙසපි 7 ක් හදමු.

1. මුං ඇට කිරිබත්

  • කැකුළු සහල් 750g
  • මුං ඇට 250g
  • පොල් කිරි 
  • රස අනුව ලුණු

සාදා ගන්නා අයුරු

  • මුං ඇට පෙරදා රාත්‍රියේ  පෙගෙන්න දමන්න.
  • කැකුළු සහල් 750g  සෝදා එයට ලුණු එක්කර සාමාන්‍ය බතක් සේ පිසගන්න.
  • බත් එක හොදින් ඉදිගෙන එනවිට එයට මුං ඇට එකතු කරන්න.
  • ඉන්පසු එයටම පොල් කිරිද එකතු කරන්න. 
  • මිශ්‍රණය හොදින් මිශ්‍ර කර මදක් ලිප මතම තබන්න.
  • ඊට පසු තැටියකට මුං කිරිබත් බෙදා කෙසෙල් කොලයකින් තුනී කර කෑලී කපා ගන්න.

2. මුං ඇට රොටි

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං ඇට 150g
  • ලුනු රස අනුව
  • පිටි 100g
  • ගා ගත් පොල් මිටක්
  • බිත්තරයක් 1
  • තෙල්

සකස් කරන ආකාරය

  • රැයක් පෙගෙන්න තබා බෙරිවෙන්න තම්බා ගත් මුං ඇට බදුනකට දමා හොදින් පොඩි කරගන්න.
  • එයටම පාන්පිටි හා පොල්ද එකතු කර රස අනුව ලුනුද දමන්න.
  • බිත්තරයක්ද එකතු කරන්න. එවිට පෝෂ්‍ය ගුණය ඉහළ යනවා.
  • ඉන්පසු රොටි ගුලි වෙන් කර තැටියක තුනී කරගන්න.
  • එම රොටි රත් වු රොටි තැටියක දමා දෙපැත්ත හොදින් පුච්චා ගන්න.

3. මුං රෙසිපි: මුං ඇට වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං ඇට 250 g පමන
  • තලා ගත් සුදු ළුණු
  • බටර් ටිකක්
  • කරපිංචා
  • හීනියට ලියා ගත් ලුණු ගෙඩියක්
  • හීනියට ලියා ගත් කැරට් අලයක්
  • ලුනු
  • පොල් තෙල්

සකස් කරන ආකාරය

  • මුං ඇට රැයක් පෙගෙන්නට තබා හොදින්ම තම්බා ගන්න.
  • තාච්චියක් ලිප තබා එයට බටර් ටිකක් දමා එය රත් වු පසු සුදුළුණු එකතු කරන්න
  • එය බැදෙන විට එයට ලියා ගත් ලුණු, කැරට් හා කරපිංචා එකතු කරන්න.
  • රස අනුව ලුනුද එකතු කරන්න.
  • ඉන්පසු මිශ්‍රණය ලිපෙන් ඉවත අරගෙන හොදින් පොඩි කරගන්න.
  • නිවුන පසු පුංචි පුංචි වඩේ ටිකක් ගුලි කරගන්න.
  • ඉන්පසු තෙල් තාච්චියක් ලිප තබා එය රත් වෙන විට වඩේ ටික බැදගන්න.

4. මුං මස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

මුං මස් සදහා

  • මු ඇට 250
  • මිරිස් කුඩු තේ හැදි 2 (මෙය බබාට හදන විට අඩුවෙන් යොදන්න)
  • කහ තේ හැදි ½ 
  • තුනපහ තේ හැදි 1 
  • ගම්මිරිස් තේ හැදි 1  (මෙය බබාට හදන විට අඩුවෙන් යොදන්න)
  • ලුනු රස අනුව
  • සුදුළූණු බික් 6
  • කරපිංචා ඉත්තක්
  • උම්බලකඩ
  • ලුණු ගෙඩි 1ක්

කරියට

  • තලා ගත් සුදුළූණු ඉගුරු පේස්ට් එකෙන් තේ හැදි 2 ක්
  • ගොරකා 2
  • බැදපු තුනපහ තේ හැදි
  • කුරුදු කැබැල්ලක්
  • ගම්මිරිස්, මිරිස් , ලුනු රස අනුව
  • කහ තේ හැදි භාගයක්
  • තෙල්
  • පොල් කිරි කොප්ප 1

සකස් කරන ආකාරය

  • මුං ඇට රැයක් පොගවා සොදා දිය බේරෙන්න ටික වේලාවක් තබන්න.
  • මුං ඇට වල හොදින් දිය බේරුන පසු මුං මස් සදහා අවශ්‍ය අනෙක් පහේ ටික එයට දමා මෘදු පේස්ට් එකක් එනතුරු අඹරා ගන්න.
  • තම්බා ගත හැකි බදුනකට කෙසෙල් කොලයක් අතුරා  එයට මුං මිශ්‍රණය දමා එය ස්ටීමරයක දමා තම්බා ගන්න.
  • තැම්බුන මුං මස් කුට්ටිය දැන් කුඩා කැබලි වලට කපා ගන්න.

කරිය හදමු

  • තෙල් ටිකක් ලිප තබා එය රත් වු විට එයට මිරිස් හා තුනපහ එකතු කරන්න.
  • මිශ්‍රණය තද පැහැ වෙන විට එයට තලා ගත් සුදුළූණු හා ඉගුරු එකතු කර ඊට පසු ලියාගත් ළූණු හා කරපිංචා එකතු කරන්න.
  • ඒවා රන්වන් පාට වෙන විට එයට මුං මස් ටික එකතු කර එයටම කහ, ගොරකා, කුරුදු එකතු කරන්න.
  • පොල් කිරි කෝප්පයක් එකතු කර රස අනුව ලුනුද එකතු කර මිශ්‍ර කරන්න.
  • පොල් කිරි හොදින් නැටු පසු ලිප නිවා දමන්න.

5. මුං රෙසිපි: මුං ඇට තෙම්පරාදුව

පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං  ඇට 250g
  • ලියා ලූණු ගෙඩියක්
  • කැරට් අලයක්
  • කරපිංචා ඉත්තක්
  • අබ තේ හැන්දක්
  • කහ තේ හැදි 1/2
  • ලුනු රස අනුව
  • උම්බලකඩ තේ හැන්දක්
  • තලා ගත් සුදු ළුණු බික් 2

සකස් කරන ආකාරය

  • මුං ඇට පැය 48 ක්වත් පොගවා ගන්න අවශ්‍ය වෙනවා. මේ සදහා පැය විසි හතරකට වරක් ජලය මාරු කරමින් මුං ඇට පොගවා ගන්න අමතක කරන්න එපා.
  • පැය 48 කට පස්සේ ජලය පෙරු මුං ඇට හොදින් සෝදා ගන්න.
  • ලුණු ගෙඩිය හා කැරට් අලය සෝදා හීනියට ලියා ගන්න.
  • තාච්චියක් ලිප තබා එයට තෙල් එකතු කරන්න.
  • තෙල් ටික රත් වු පසු අබ ද, අබ පුපුරන විට සුදුළූණුද එකතු කරන්න.
  • සුදු ළුණු හොදින් බැදුන පසු එයටම ලියා ගත් ලූණු , කැරට් හා කරපිංචා එකතු කරන්න.
  • ළුණු රන්වන් පාට වෙන විට බබා සැර කන්න කැමති නම් කෑලි මිරිස් ටිකක් එකතු කරන්න
  • දැන් මුං ඇට ටිකට රස අනුව ලුනු හා කහ ටිකක් කවලම් කර එයත් තාච්චියට එකතු කරන්න
  • රසවත් බව වැඩි කරන්න උම්බලකඩ ටිකක් එකතු කරන්න.
  • ඉන්පසු තාච්චිය වසා විනාඩි 30 ත් -40 ත් අතර වේලාවක් මුං ඇට පිසගන්න

6. මුං කැද

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං ඇට බැද ගත් පිටි 100g
  • සහල් පිටි 75g
  • කුඩු කරගත් හකුරු ටිකක්
  • පොල් කිරි
  • ලුනු
  • ටිකක් ලොකු බබෙක්ට නම් වියළි මිදි හා හීනියට ලියු කජු එකතු කර රසවත් කරන්න පුළුවන්.
  • කරද මුංගු තලා එකතු කරගැනීමෙන් සුවදක් ඇති කරගන්න පුළුවන්.

සකස් කරන ආකාරය

  • මුං ඇට පිටි, සහල් පිටි හා පොල් කිරි බදුනකට දමා හොදින් මිශ්‍ර කරන්න.
  • එයටම ලුනු, හකුරු, වියළි මිදි, කජු, හා කරදමුංගු එකතු කරන්න.
  • මෙම කැද එක දැන් ලිප තබා හොදින් නටවා ගන්න.

7. මුං ඇට වලින් සුප් එකක්

පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

ඡායාරූපය සදහා ස්තුතිය-www.tarladalal.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • පැළ මුං ඇට 150g
  • කුඩා කැබලි වලට බෙදා ගත් නිවිති 75g
  • ලුනු රස අනුව
  • තලා ගත් සුදු ළූණු තේ හැදි 2

සකස් කරන ආකාරය

  •  වතුර කෝප්ප 3 කට මුං ඇට හා  සුදුළුණු එකට එකතු කර ප්‍රෙශර් කුකර් එකට දමා විශිල් 2 ක් යන තුරු පිස ගන්න.
  • ආරක්ෂිතව හුමාලය ඉවත් කර මිශ්‍රණය මදක් නිවා බෙන්ඩ් කරගන්න.
  • මිශ්‍රණය ගැඹුරු බදුනකට දමා එයට වතුර කෝප්ප 1 ක් , ලුනු හා නිවිති ටිකත් එකතු කරන්න.
  • එය හොදින් මිශ්‍ර කර මද ගින්නක් විනාඩි 5 ක් තම්බා ගන්න.

ඔබ ලගත් මෙවන් රෙසපි ඇතිනම් අප හා බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි