ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

ගැබිනි මවට ගුණ දෙන කොළ කැද වර්ග 7 ක් ගැන දැන ගනිමු

ගැබිනි මවට ඖෂධීය කැඳ වර්ගයක් වන කොළ කැඳ  ගැන දැනුවත් වීමට ඔබත් කැමති ඇති. ඒ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා මුහුණු පොතට ලියු ලිපියක් අපි අද ඔබ වෙත ගෙන එනවා.

කොළ කැඳ යනු සමබර ආහාරයකි. කොළ යුෂ මඟින් සිරුරට ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල, විටමින් එක්වේ.

සහල් මඟින් පිෂ්ටයත්, පොල් කිරි මඟින් මේදයත් ලැබේ. එසේ ම, ඊට එක් කරන ඉඟුරු , සුදු ලූණුවලින් ලැබෙන අමතර පෝෂණය ද අති විශේෂ ය.

කොළ කැඳ

මෙහිදී කැඳ සඳහා බහුලව යොදා ගන්නා කොළ වර්ග මඟින් ලැබෙන පෝෂණ ගුණ විවිධ ය.

අතීතයේ සිටම කොළ කැඳ සෑදීමට කොළ වර්ග එකක් හෝ බොහෝ විට කොළ වර්ග කිහිපයක් එක් කොට කලවම් කොළ කැඳක් ලෙස සාදා පානය කිරීම සිදුකරනවා.

එකම කොළ වර්ගයකින් සාදාගත් කොළ කැඳක් නිරතුරුවම පානය කිරීම සුදුසු වන්නේ නැහැ.
කොළ කැඳ භාවිතා කිරීමෙන් කුසගින්න, පිපාසය දුරුකිරීම. ශරීරගත වාතය සමනය කිරීම, ආමාශය ඇතුලු අන්ත්‍ර පෙදෙස් පිරිසිදු කිරීම, හා මලබද්ධ මුත්‍රාබද්ධ දුරුකර පහසුවෙන් බහිශ්‍රාව්‍ය පිටකිරීම ඔසු කැඳ මඟින් සිදු කෙරෙනවා.

එසේ ම විෂ හරණය, ශක්ති වර්ධනය, දාහය නිවීම, සම පැහැපත් වීම, ධාරණ ශක්තිය වැඩිවීම වැනි වාසි ගණනාවක් සිරුරට අත්වෙනවා.

සාමන්‍යයෙන් කොළ කැඳ ලෙස භාවිතා කෙරෙන ඖෂධීය කැඳ සකසා ගන්නේ මෙලෙස යි

  • සහල් මිටක් තැම්බෙන්නට ලිප තබනවා.
  • තැම්බෙනවිට සුදුලූනු ඉඟුරු හා රතුලූනු ස්වල්පය බැගින් එක්කරනවා.
  • කොළ යුෂ මිරිකා පසෙක තබාගන්නවා.
  • ඉතිරි කොළ රොඩු, පොල් ටිකක් සමග කොටා වෙන ම මිරිකා ගන්නවා.
  • බත හොඳින් තැම්බුණු පසු, හැන්දෙන් පොඩිකර පළමුව පොල්කිරි එකතු කර රත් කරනවා.
  • අන්තිමට කොළ යුෂ එක්කර කොළ පැහැය වෙනස්වන තුරු නොසිට දුම් නැගී එනවිට බිමට ගෙන ලුණු එකතුකරගන්නවා.

* කොටා ගැනීමේදී කොළ මනාව තැලීම වඩා ඵලදායක බැවින් බ්ලෙන්ඩරයක් පාවිච්චියට වඩා සුදුසු වන්නේ වංගෙඩියක් පාවිච්චිකිරීමයි.
*යොදා ගන්නා සහල් හීනටි, සුවඳැල් වැනි සාම්ප්‍රදායික සහලක් හෝ රතු කැකුළු හෝ නම් වඩා යෝග්‍යයි.

  •  රෝගයකට කැඳ සැදීමේ දී ඇතැම් වෙනස්කම් ඇතිවනවා. උණ, උදරාබාධ ඇතිවිට පොල් හා කොළ වර්ග, නොයොදා ලුණු කැඳ, හෝ බැදිහාල් කැඳ සකසා දෙනවා.
  • සර්ප වෙදකමේ කැඳ වලදී ලුණු යොදන්නේ නැහැ.
  •  කොලෙස්ටරෝල් දියවැඩියා රෝගීන්ටත් දාහය නිවීමටත් ගුණදායකවන මුං ඇට කැඳ පිසීමේදී මුං ඇට සහල්වලට එක්කර තම්බනවා.
  • රත්පිත් අධිරුධිර පීඩන රෝගීන්ට ලබා දෙන කිතුල් පිටි කැඳ සෑදීමේදී කිතුල් පිටි පොල්කිරට එක්කරනවා .
  •  අර්ශස්, බඩවැල පහත්වීම වැනි රෝගවලට කොහිල අල කැඳ සෑදීමේදී අල පොතු හැර කපා පොල් සමඟ කොටා මිරිකා එක්කරනවා.

 ඖෂධීය කැඳ: ගැබිනි මවට කොළකැඳ

ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

බොහෝ කැඳ වර්ගවල පෝෂණ ගුණ මෙන්ම රෝග නිවාරණ ගුණ ද කැටිව පවතිනවා .

1. ඖෂධීය කැඳ: වැල්පෙනෙල

  • වැල් පෙනෙල කොළයි දඬුයි වංගෙඩියෙ දාල හොඳට කොටාගෙන දෙපාරක් විතර යුෂ මිරිකගන්න.
  • නිවුඩු හාල් අවශ්‍ය පමණට වතුර දාල තම්බාගන්න.
  • ඒකට පොල්කිරි දෙපාරක් මිරිකල, ලුණු දාල ඒකටම මිරිකගත්තු වැල්පෙනෙල යුෂ ටිකත් එකතු කරගන්න.
    හොඳට හැඳි ගාමින් පස්සවාගන්න. හැන්දට කැඳ බර දැනෙනකොට ළිපෙන් බාගන්න.
  • ප්‍රධාන ගුණය පෘෂ්ඨිමත් බව වැඩි කිරීමයි. පෙනෙල කැඳ බීමෙන් පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
  • සරු භාවය ඇති කරයි. අධික රුධිර පීඩනය නැති වෙයි. ශරීරයේ වෙව්ලන බව නැති කරයි.
  • පක්ෂාගාත අර්ධිත රෝගවලට ගුණදෙයි. පිළිකා වළක්වන ගුණය පවතී. ශරීරයේ බලය ඇති කරයි.
  • ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනී. ලේ පිරිසිදු කරයි. ඉදිමුම නැති කරයි. අරුචිය නැති කරයි.

2 ඖෂධීය කැඳ: කරපිංචා

අවශ්‍ය ද්‍රව්‍ය-

  • කරපිංචා කොළ (සාමාන්‍ය ප්‍රමාණයට මේරූ)
  • සිහින්ව ගාගත් පොල්
  • සුදු ළූණු හා රතු ළූනු
  • කැකුළු හාල් මිටක්
  • දිය ලුණු

සාදන ක්‍රමය-

  • කරපිංචා කොළ කොටා ඉස්ම මිරිකා ගන්න.
  • ඉන් පසු කැකුළු හාල් ස්වල්පයක් ලිප තබා ඉදීගෙන එන විට එයට කරපිංචා කොළ ඉස්මද, පොල් කිරි ද, ලියාගත් රතුළූණු හා සුදුළූණුද අවශ්‍ය තරමට ලුණු ද එක්කර හොඳින් පැහීගෙන එනවිට ලිපෙන් බා ගන්න.
  • ශරීර ගතවිෂ පහ කිරීමටත්, ආමාශයේ මනා ක්‍රියා කාරීත්වයටත් ආහාර රුචිය ඇතිවීමටත් මෙම කරපිංචා කැඳ ඉතා ගුණදායකය.

3. ගැබිනි මවට ඖෂධීය කැඳ: රණවරා කොළ කැඳ 

අවශ්‍ය ද්‍රව්‍ය

  •  රණවරා කොළ 500 g ක් විතර
  • බී ළුණු ගෙඩියක්
  • අමුමිරිස් කරල් 2,3ක්
  • කරපිංචා
  • සුදුළුනු බික් 3,4ක්
  • වියලි මිරිස් කරල් 3,4ක්
  • මිරිස් කුඩු මේස හැඳි /21ක්
  • තුනපහ කුඩු මේස හැඳි 1/2ක්
  • කහ කුඩු චුට්ටක්
  • ලුණු කුඩු චුට්ටක්
  • කුරුඳු පොත්තක්
  • උළුහාල් චුට්ටක්
  • ගොරකා කැබැල්ලක්
  •  උකු පොල් කිරි මේස හැඳි 3,4ක්

~ සාදන ක්‍රමය ~

  • මුලින්ම රණවරා කොළ ටික වෙන් කර ගෙන හොඳින් සෝදා වතුර බේරා පැත්තක තියන්න.
  • ළූනු, සුදුළූනු ,කරපිංචා හා අමුමිරිස් සිහින්ව කපා ගන්න.වියලි මිරිස් ලොකුවට කපා ගන්න.
  • ඉන්පසුව මැටි ඇතිලියක් ගෙන රණවරා කොළ හැර ඉතිරි සියල්ලම දමා කලවම් කර ලිප තබා රත් කරන්න.
  • පහේ සේරම තැම්බී කිරි උතුරන විට ගින්දර අඩුකර රණවරා කොලද මිශ්‍ර කර කලවම් කර හින්දවා ගන්න. හරිම රසයි..

4 එළබටු කොළ කැඳ

ගම්බද බොහෝ නිවෙස් වල දකින්නට පුළුවන් ඉතාමත් රසවත් කැඳකි එළබටු. සෙම් රෝග වලට විශේෂයෙන් ගුන දෙන එලබටු කොල කැඳ ඉතාම රසවත් ය.

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළබටු කොල අවශ්‍ය පමණට
  • කැකුළු සහල්
  • සුදු ළූනු බික් කීපයක්
  •  පොල් ස්වල්පයක්
  •  ලුණු ස්වල්පයක්
  • හකුරු

~ සාදන ක්‍රමය ~

  • එළබටු කොළ සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න.
  • කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එළබටු යුෂ දමා එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න.
  • කොලෙස්ටරෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න.
  • වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

5. ගැබිනි මවට කොළ කැඳ: ගොටුකොළ කැඳ

  • පහසුවෙන් සොයාගත හැකි ගොටුකොළ බොහෝදෙනා අතර ජනපි‍්‍රය කැඳ වර්ගයකි. රසයෙන් හා ගුණයෙන් වැඩියි. මුළු ශාකයම ප්‍රයෝජනයට ගත හැකියි.
  • ධාරණ ශක්තිය ඇති කරයි. අලස බව දුරු කරයි. බොහෝවිට කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ සුදුසුයි.
  • බුද්ධිය ඇති කරයි. කිරිදෙන මව්වරුන්ට ගුණදායකයි. සිරුරට සිසිලස ලබා දෙයි. ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයි.
  • රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි. හිසකෙස් වඩයි. හිසකෙස් දීප්තිමත් කරයි.
  • ක්‍රියාශීලි බවින් ජීවිතය පවත්වා ගැනීමට උදව් වෙයි. බොහෝ රෝගවලට ගුණදෙයි.
  • රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයි. පිළිකා රෝගවලට යෝග්‍යවෙයි.
  • කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට ගුණ දෙයි. විටමින් බහුලව පවතී. ක්ෂුද්‍ර පෝෂක ඇත. ලේ පිරිසිදු කරයි. ගොටුකොළ කැඳ දිනපතා පානය කළාට වරදක් නැත.

6. ගැබිනි මවට කොළ කැඳ: මුගුණුවැන්න

ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

  • පලාවර්ග අතරින් ඉතාම ජනපි‍්‍රයයි. කොළ කැඳ ඉතාම රසවත්ය. ශරීරයේ විෂ පහ කරයි.
  • ඇස් පෙනීම වැඩි කරයි. විටමින් ඒ බහුලව ඇත. සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
  • ක්ෂුද්‍ර පෝෂක වලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති පොටෑසියම්, සින්ක්, කැල්සියම් ඇත. දත් වැඩේ.
  • ප්‍රතිශක්තිය වැඩි කරයි. පටකවල ගෙවි යාම අඩු කරයි. මල පිටවීම හොඳින් සිදු කරයි. මල බද්ධයට හිතකරයි.
  • රුධිරයේ පවතින විෂ දෝෂ නැති කරයි. කුෂ්ට රෝග දුරු කරයි. සිරුරේ දැවිල්ල නැති කරයි.
  • බඩගින්න ඇති කරයි. සිරුර ප්‍රබෝධමත්ව තබයි. අක්මා රෝගවලට ගුණයි. පීනසට හිතකරයි. හිසරදය දුරු කරයි.
  • රුධිරය පිරිසිදු කරයි. සිරුර සිසිල් කරයි. හොඳින් මුත්‍රා පිටවෙයි. අකලට හිසකෙස් පැසීම නවතාලයි.
  • ඇස් දීප්තිමත් කරයි. හිසකෙස් කළු පැහැ කරයි. මතක ශක්තිය වැඩි කරයි. ඇස්වල ප්‍රභාව වැඩි කරයි. සම පැහැපත් කරයි.

7 හාතවාරිය

  • හාතවාරිය කැඳ ගුණාත්මක බවින් වැඩි කැඳ වර්ගයකි. පහසුවෙන් සොයාගත හැකි හාතාවාරිය කොළ කැඳ රසවත් භාවයෙන් යුතුයි.
  • සිරුරේ සිසිලස රඳවා තබයි. මුත්‍රා හොඳින් පිට වේ. වාතය නසයි. සිරුරේ බලය ඇති කරයි. සිරුර පෘෂ්ඨිමත් කරයි.
  • අකලට හිසකෙස් පැසීම නතර කරයි. සරු බව ඇති කරයි. චර්ම රෝග නැති කරයි. හෘදයට හිතයි. කුෂ්ට රෝග දුරු කරයි.
  • සන්ධි රෝගවලට සුදුසුයි. මව්කිරි වඩයි. බුද්ධිය වඩයි. සිරුරේ ඉදිමුම නැති කරයි. ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝගවලට හිතකරයි.
  • රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වූ අයට යෝග්‍ය වේ. ඇස් පෙනීම වැඩි කරයි. ලේ පිටවෙන අර්ශස් රෝගයට සුදුසුයි.
  • ආමාශයේ තුවාලවලට හොඳයි. කාන්තා රෝගවලට සුදුසුයි. සිරුරේ දාහය නසයි. සිරුරේ බලය වැඩි කරයි.

කොළ කැඳ වලට ගත හැකි කොළ වර්ග

  • ගොටුකොළ
  • හාතාවාරිය කොළ
  • පොල්පලා කොළ
  • කරපිංචා කොළ
  • වැල්පෙනල කොළ
  • මොනරකුඩුම්බිය කොළ
  • වැල් තිබ්බටු
  • නීරමුල්ලිය (ඉකිරිය ) කොළ
  • නිල් කටරොළු දළු
  • කොහිල කොල කොළ
  • ලුනුවිල කොළ
  • හීං බෝවිටියා
  • රත්කරල් හැබ කොළ

මුළු විශ්වයටම මව් සෙනෙහසේ හැඟීම දැන් ඒවා.

ගැබිනි මවට කොළ කැඳ ගැන වු වටිනා ලිපිය ඔබ වෙනුවෙන් ගෙන ඒමට අවසර  දීම පිළිබදව අපි වෛද්‍යතුමන්ට අපගේ ස්තුතිය පිරිනමනවා.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන .
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි