ඔබ ඔබේ දරුවා හදාවඩා ගන්නා ක්‍රමය වැරදිද? මේ සලකුණු 8 බලන්න

ඔබ ඔබේ දරුවා හදාවඩා ගන්නා ක්‍රමය වැරදිද? මේ සලකුණු 8 බලන්න

දරුවන් නිවැරදිව හදාගන්න නම් ‌මේ වැරදි 8 ‌නොකර ඉන්න.

දරුවන් ලොකුමහත් කිරීම පහසු කාර්යයක් ‌නොවේ. දරුවන් යහපත්ව හදා වඩා ගැනීම එක්තරා විදියට අභියෝගයක්ද ‌වෙනවා.

දරුවන් අයහපත් වන්නේ දෙමව්පියන් ඔවුන්ව වැරදි ලෙස හදාවඩා ගන්නා විටයි.

දෙමව්පියන් යනු දරුවන්ගේ  ජීවිතයේ පළමු ගුරුවරුන් ය. දරුවෙකුගේ ආකල්පය, අදහස්, අරමුණු සහ ඉදිරි දර්ශනය රඳා පවතින්නේ දරුවන් දෙමව්පියන් ගෙන් ඉගෙන ගන්නා දේවල් මතයි. 

ඇත්ත වශයෙන්ම දරුවෙකුගේ හැසිරීමෙන් ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට සලකනු ලැබූ ආකාරය පිළිබිඹු කරනු ලබනවා.

ළමා වියේදි දරුවන් අත්විදින දේවල් ඔවුන් ජිවිත කාලය පුරාවටම රැගෙන යනවා.

යහපත්ව දරුවන් ලොකුමහත් කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසයි.

දරුවන්ට හැසිරීම ඉගැන්වීමේ වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි.

දරුවෙකු වැරැද්දක් කරන විට දෙමව්පියන්ට ඇගිල්ල දිගුවන්නේ ඒ නිසයි.

වැරදි ලෙස දරුවන් හදා වඩා ගැනීම දරුවන්ට හානිකර වෙනවා. 

එසේ නම් අපි දරුවන් හදා වඩා ගන්නා ක්‍රමය නිවැරදිද කියලා දැන ගන්නේ කෙසේද?

ඔබ මේ වැරදි 8 නොකර ඉන්න තාක් කල් ඔබේ දරුවාට නිවැරදිව ලොකුමහත් වෙන්න ඔබ ඉඩසලසා දෙයි.

ඔබ ඔබේ දරුවා හදාවඩා ගන්නා ක්‍රමය වැරදිද? මේ සලකුණු 8 බලන්න

දරුවන් ලොකුමහත් කිරීම තුල ඔබ කරන වැරදි 8 ක්

1.ඔබේ දරුවා නොසලකා හැරීම

ඔබේ දරුවා ශාරීරිකව හෝ හැගීම් වලින් නොසලකා හැරීම දරුවා තුල දැඩි ඍණාත්මක බලපෑම් ඇතිකරනවා.

නොසලකා හැරීම ඉතා සුලභ ළමා අපයෝජනයක්ද වෙනවා.

දරුවන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම, ඔවුන් අධීක්ෂණයට ලක් නොකිරීම, භයානක අවස්ථාවන්හිදී අතහැර දැමීම නිසා ඔවුන්ගේ  ආත්ම අභිමානයක් වෙන්න පුළුවන්.

මේ මගින් දරුවෙකුගේ මානසික සෞඛ්‍යයට මෙන්ම සමාජ සංවර්ධනයට බලපෑම් ඇතිවෙනවා.

නොසලකා හැරීම නිසා දරුවෙකුගේ මානසිකත්වය, හැඟීම්, හැසිරීම, චලන සංවර්ධනය, භාෂා සංවර්ධනය සහ සමස්ත ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇති කරන්න වුවත් පුළුවන්.

විසඳුම: 

දරුවෙකුට ආදරය හා සෙනෙහස දැනිය යුතුය. ඔබේ දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔවුන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන්න. ඔබේ දරුවන් සමඟ කතා කිරීමට කාලය වෙන් කරන්න.

ඔබ ඔවුන්ට ආදරය කරන බවත් ඔවුන්ව අගය කරන බවත් ඔබේ දරුවන්ට පැහැදිලි කරන්න.

2.ශාරීරික හෝ වචනයෙන් හිංසා කිරීම

දරුවෙක්ට  ශාරීරිකව හෝ වාචිකව  හිංසනය කිරීම දරුවාගේ යහපැවැත්මට බෙහෙවින් හානිකර වෙන්න පුළුවන්.

බොහෝ දෙමව්පියන්ට මේ ගැන අදහසක් නැහැ. නමුත් මේ මගින් වෙන දරුවාට වෙන  මානසික බලපෑම අති මහත්ය.

දරුවාට පහර දීමේ හෝ බැන වැදීමේ ඵල වසර ගණනක් නැතිනම් ජිවිතකාලය තුලම දරුවාට බලපෑම් කරන්න පුළුවන්.

මේ හැරුනු කොට, වාචික හා ශාරීරික හිංසනයේ බලපෑම් මානසික අවපීඩනය, කාංසාව මෙන්ම ස්වයං හානියක්, අපරාධ, වැනි අහිතකර, භයානක හැසිරීම් සදහාද දරුවන් පෙළඹෙන්න පුළුවන්.

මෙවන්  සමහර දරුවන් තුල ආහාර ගැනීමේ අක්‍රමිකතා, නින්දේ ගැටලු මෙන්ම අවධානය අඩුවීම දකින්න පුළුවන්.

විසඳුම: 

දරුවන්ට ගුටිබැට දීම හා බැන වැදීමෙන් වළකින්න.

ඒ වෙනුවට දරුවන්ගේ රූපවාහිනිය නැරඹීම වැනි වරප්‍රසාද අහිමි කිරීම, අමතර වැඩ ලබා දීම දරුවන්ට දඩුවම් දීම සදහා හොඳ ක්‍රම වෙනවා.

3.වැරදි ආදර්ශ ලබාදීම

සමහර දෙමව්පියන්ට තම දරුවාගේ වැරදි  නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ඔවුන් එම වැරදි දැක දැකත් ඇස් කන් පියා ගෙන සිටියි.

ඒ වගේම ඔබ දරුවන් ඉදිරියේ කෑගසන හෝ නරක වචන භාවිතා කරන අයෙක් නම්, අනිවාර්යයෙන්ම ඔබේ දරුවාද එලෙස හැසීරමට ඇති ඉඩකඩ වැඩිය. 

දුම් පානය කරන්නන්ගේ, මත්පැන් පානය කරන්නන්ගේ හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ දරුවන් කුඩා අවදියේදීම ඒවා අත්හදා බැලීමට යොමුවෙන්න පුළුවන්.

ළමයින් බොහෝ විට තම නිවෙස්වල නිරීක්ෂණය කරන දේ අනුකරණය කරනු ලබනවා. 

විසඳුම: 

ඔබ හොඳ පුරුදු ඇති කරගන්න. ඔබව  ඔබේ දරුවන් නිරීක්ෂණය කරනවා මෙන්ම ඔබව අනුකරණය කිරීමටද පෙළඹෙනවා.

ඔබේ දරුවන්ට යහපැවැත්මේ වැදගත්කම කියාදෙන්න. එවිට ඔවුන් හානිකර පුරුදු අනුගමනය කිරීමට පෙළඹිම අඩුවෙන්න පුළුවන්.

4.අනුග්‍රහය හෝ පක්ෂග්‍රාහීත්වය දැක්වීම

අළුත් මව්වරුන්ට උපදෙස්

දරුවන් කිහිප දෙනෙක් සිටින දෙමව්පියන් එක් දරුවෙකුට තවත් දරුවෙකුට වඩා කැමති බව පෙනේ නම් අඩු කැමැත්ත ඇති දරුවන්ගේ  ජීවිතයේ පසුකාලීනව මානසික අවපීඩනය පෙන්නුම් කරනවා. 

බොහෝ තැන් වල පිරිමි ළමයින්ට වැඩි ආදරයක් කැමැත්තක් ලබා දෙනු ලබනවා.

එහිදි ගැහැනු  ළමයින්ට පහත් හෝ නොසලකා හැරීම පිළිබද හැගීමක් ඇතිවෙන්න පුළුවන්.

අධ්‍යාපනය, සමාජ අවස්ථා හෝ වෙනත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් ගැහැනු ළමයින්ට බොහෝ විට පිරිමි ළමයින්ට වඩා අඩු අවස්ථාවන් ලැබෙන අතර එය ආරම්භ වන්නේ ඔවුන්ගේම නිවෙස් තුලිනි.

ශ්‍රී ලංකාවේ මේ තත්වය බොහෝ දුරට දැන් අඩු නමුත් ඉන්දියාව වැනි රටවල මෙය බහුලව දකින්නට ලැබෙනවා.

තවද සමහර ‌දෙමව්පියන් බාල දරුවාට වැඩි අනුග්‍රහයක් දක්වනවා.

ඒ වගේම ඕනෑවට වඩා විවේචනාත්මක, අසාධාරණ හෝ පක්ෂග්‍රාහී වන දෙමාපියන් තම දරුවන්ගේ හැසිරීමට හානි කරනවා.

විසඳුම:

 ඔබ එක් දරුවෙකු වැඩි කැමැත්තක් දැක්වුවද එය දරුවන්ට පෙන්වීමට උත්සාහ නොකරන්න.

ඔබේ සෑම දරුවෙකුම අගය කරන්න.

ඔවුන් සියලු දෙනා සමඟ ඔබේ බැඳීම වැඩි දියුණු කිරීම සඳහා එක් එක් දරුවා සමඟ වෙනවෙනමත්  කාලයක් ගත කරන්න.

5. දරුවන් ලොකුමහත් කිරීම තුල පීඩාකාරී දැඩි අධිකාරීවාදය

සමහර දෙමව්පියන් දරුවන්ගේ කැමැත්ත, බුද්ධි මට්ටම හෝ හැකියාවන් නොසලකා තම තේරීම් සදහා  දරුවන්ට බල කරනවා.

මෙවන් පාලනය කරන සුළු දෙමව්පියන් තමන්ගේම ඉටු නොවූ සිහින හා අභිලාෂයන් දරුවන් තුලින් ඉටු කරගැනීමට උත්සහා කරනවා.

ඒකාධිපති මව්පියන්ට තම දරුවන්  කීකරුවීම අත්‍යාවශ්‍ය වන අතර ඔවුන් ඒ සදහා තර්ජනය කිරීම හෝ දරුවා ලජ්ජාවට පත්කිරීම වැනි දේවල් කරනු ලබනවා.

දරුවෙකුට දිරිගැන්වීම සහ පෙළඹවීම අවශ්‍ය වන නමුත්, ඔවුන්ගේ ස්වභාවයට විරුද්ධ ලෙස වෙනස්වීමට ඔවුන්ට බල කිරීම අහිතකර වෙන්න පුළුවන්.

විසඳුම:

ඔබේ දරුවන්ට තමන් වීමට අවශ්‍ය ඉඩ  සහ දිරිගැන්වීම ලබා දෙන්න.

ඔවුන්ගේ අභිලාෂයන් ගවේෂණය කිරීමට ඉඩදෙන්න.  අසාධාරණ දේවල් කිරීමට ඔවුන්ට බල නොකරන්න.

ඔවුන්ගේ විනෝදාංශ ගැන උනන්දුවක් දක්වන්න. ඔබ කරන දේ හරියටම කරන්නැයි ඔවුන්ට බලපෑම් නොකරන්න.

ඔබේ විනෝදාංශ දරුවන් සමඟ බෙදා ගන්න.

6.වගකීම් විරහිත මූල්‍ය ආකල්ප

බොහෝ දෙමව්පියන් මුදල් පිළිබඳ එතරම් නැණවත්ව කටයුතු නොකරන අතර ඔවුන්ගේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න මූල්‍ය වගකීමක් ආදර්ශනය කරන්නේ නැහැ.

සමහර දෙමව්පියන් දරුවෙකුගේ සෑම අවශ්‍යාතාවයක්ම සපුරනවා. 

තවත් සමහරු දරුවන්ගේ අවශ්‍යතා ලබා දීම පිළිබද දරදඩු ක්‍රමවේදයක් ගෙන යනවා.

වරප්‍රසාද ලත් හෝ නරක් වූ දරුවන්ට මුදල්වල සැබෑ වටිනාකම වටහා ගැනීමට අපොහොසත් වෙන්න පුළුවන්.

එය ඔවුන්ගේ අනාගතයට නරක බලපෑමක් ඇති කරන්න පුළුවන්.

විසඳුම:

ඔබේ දරුවන්ට හොඳ මූල්‍ය හැසිරීමක් ආදර්ශනය කරන්න. මුදල් ගැන ඔවුන් සමඟ කතා කරන්න.

දරුවන්ට දිනෙක ඔවුන් විසින් මුදල් උපයා ගත යුතු බව පැහැදිලි කරන්න.  

ඔබේ දරුවන්ට ඉතිරි කිරීමට සහ නැණවත්ව වියදම් කිරීමට කියාදෙන්න.

7.ඕනෑවට වඩා සැනසීම  හෝ මැදිහත්වීම

ඔබ ඔබේ දරුවා හදාවඩා ගන්නා ක්‍රමය වැරදිද? මේ සලකුණු 8 බලන්න

ඕනෑවට වඩා සුරතල් සැනසීම හෝ මැදිහත් වීම නිසා  දරුවෙකු නරක් වෙන්න පුළුවන්.

බොහෝ දෙමව්පියන් තම දරුවන් ඕනෑවට වඩා ආරක්ෂා කරමින්  ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙනවා.

එවිට ඔවුන් වැඩෙන විට තමන් ගැනම බලා ගැනීමට අපොහොසත් වෙනවා මෙන්ම තීරණ ගැනීමට අපොහොසත් වෙනවා.

විසඳුම: 

ඔබේ මැදිහත්වීම අවශ්‍ය තරම් ගැටළුවක් බරපතළද නැතිනම් එය ඔබේ දරුවාට තනිවම හැසිරවිය හැකි නම් එය විසදීමට ඔහුට තනිව ඉඩදෙන්න.

සෑම අවස්ථාවකදීම ඔවුන් බේරා ගැනීමට නොගෙන අසමත් වීමට හෝ කලකිරීමට පත්වීමට  ඔබේ දරුවන්ට ඉඩ දෙන්න.

දරුවන් තනිව දේවල් කිරීමට කරන විට දක්ෂ හා ස්වයංපෝෂිත වෙනවා.

8.දරුවා විශ්වාස නොකිරීම

බොහෝ දෙමව්පියන් තම දරුවන් විශ්වාස කරනවාට වඩා අන් අය විශ්වාස කරනවා. 

ඔවුන් තතම දරුවාට පැහැදිලි කිරීමක් කිරීමට පවා ඉඩ දෙන්නේ නැහැ. 

බොහෝ දෙනෙකුට තම දරුවන් කෙරෙහි විශ්වාසයක් නොමැති අතර ඔවුන්ගේ වචන හෝ ක්‍රියාවෙන් ඔවුන්ව පහත් කොට සලකනවා. 

මෙය දරුවා උද්වේගකාරීව හැසිරීමට හේතුවෙන්න පුළුවන්.

විසඳුම:

 ඔබ සහ ඔබේ දරුවන් අතර විශ්වාසය ඇති කරන්න. 

ඔවුන්ගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ හෝ ඔවුන්ගේ හැඟීම් ගැන ඔවුන්ට සැමවිටම ඔබ සමඟ කතා කළ හැකි බව ඔවුන්ට පවසන්න..

 ඔබ ඔවුන්ව විශ්වාස කරන බව ඔබේ දරුවන්ට පෙන්වන්න. 

ළමයින් තුල තම දෙමව්පියන් කෙරෙහි විශ්වාසය ඇති විට ඔවුන්ගේ ජීවිතයේ සිදුවන්නේ දේවල්  විවෘතව කතා කිරීමට ඉඩ තියෙනවා. ඔබේ දරුවා අවංකව කටයුතු කිරීමෙන් විශ්විසය දිනා ගන්න.

මුලාශ්‍ර - wehavekids.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි