තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

දරුවන්ගේ ඔලු වලට කාවද්දන යල් පැනගිය අදහස් වලින් දරුවන්ට පසුකාලීනව සිදු වන අයහපත මෙතෙකැයි කියන්නට බෑ බෑ.

අපිට ඕනි අපේ දරුවන් අනාගතයේදී සතුටින් සිටින සාර්ථක වැඩිහිටියන් බවට පත් වන්නටයි. ඉතින් අපේ සමාජයේ අපිටම ආවේනික වූ දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රම සහ විධි වලට අපි දරුවන්ව මෙහෙයවනවා. අපි එමඟින් බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඔවුන් සාර්ථක වේවි කියලා. දරුවන්ට අපි විධි විධාන පනවනවා. දරුවෝ උනාම වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන්නට ඕනි, ලොකු අය කතා කරද්දි මැද්වල පනින්න එපා, ඉගන ගන්න එක ගැන විතරක් හිතන්න, ළමයි උනාම අපි තෝරලා දෙන ඇඳුම් අඳින්න ඕනි වගේ දරුවන්ට සීමා පනවනවා. ඒත් වැඩිහිටියෝ චුට්ටක් වත් හිතන්නේ නෑ ඔවුන් ඒ කරන දෙයින් අනාගතයේදී දරුවන්ට හොඳට වඩා නරකක් සිදු වෙනවා කියලා. සමහර ජනප්‍රිය සහ පටු අදහස් නූතන පරම්පරාවට ගැලපෙන්නේ නෑ. ඒවා යල් පැනගිය අදහස්.

අලුත් පරම්පරාවේ ප්‍රශ්න යල් පැනගිය අදහස් වලින් තොරව අලුත් විසඳුම්

අලුත් පරම්පරාවේ ප්‍රශ්න වලට අවශ්‍ය වන්නේ අලුත් පන්නයේ විසඳුම් කියලා අපි විශ්වාස කරනවා. යල් පැනගිය අදහස්, විධික්‍රම මත්තේම හිතලා, දරුවාට ඔබට හොඳයි කියලා හිතෙන විවිධ දේවල් වලට බල කරන්න එපා.

යල් පැනගිය අදහස්

සමහර දෙමව්පියන් මේ කරන දේවල් නිසා දරුවන්ට වගකීම් සහගත ලෙස වර්ධනය වීමට අහිතකර ලෙස බලපානවා. අන්තිමේදි දෙමව්පියන්ට දුක් වෙන්නට වෙනවා.

අපි බලමු මොනවාද අපි නොදැනුවත්වම අපේ දරුවන්ට කරන භයානක ප්‍රතිපල ගෙන දෙන දේවල් කියලා.

1. "මගේ පුතාට/දුවට දෙන්නේ මං හොඳම දේ. ඕක කැඩුනාට කමක් නෑ. ඒක අයින් කරන්න. අලුත් එකක් දෙන්නම්. හොඳද?.."

ඔබ හිතාවි අනේ මගේ දරුවාට ආදරේටයි මං මෙහෙම කරන්නේ කියලා. එයා වෙනුවෙන් වියදම් නොකරන සල්ලි මොකටද කියලා ඔබ සිතාවි. ඒත් ඔබ ඒ කරන දෙයින් දරුවන්ට ඔබේ ඉපයීමේ වෙහෙස පෙනෙන්නේ නෑ.

ඔබ එක රුපියලක් හොයන්න කොච්චර මහන්සි වෙනවාද කියන එක දරුවෝ කවදාවත් තේරුම් ගන්නෙ නෑ.

අනිත් එක තමයි ඒක පුරුද්දකට ගියොත් ඔවුන්ට දෙයක් ඕනි උනාම ඒ මොහොතෙම, ඔවුන්ට අවශ්‍ය දේම කොහොම හරි ලබා ගන්න උත්සහ කරනවා. හොඳින් හෝ නරකින්.

දරුවාට මුදලේ වටිනාකම කියා දෙන්න

ඔබ මෙහෙම කලොත් නම්. මුදලේ වටිනාකම කියලා දෙන්න. කැඩුනු විගස අලුත් දේ අරන් දෙන්න ඉක්මන් වෙන්න එපා. එය නැවත සකසාගෙන පාවිච්චි කරන්නට දෙන්න.

එයින් ඔවුන් නව නිර්මාණකරුවන් වේවි. දක්ෂයින් වේවි. අනේ මගේ අම්මාගේ/තාත්තාගේ සල්ලි නාස්ති කරන්න හොඳ නෑ කියලා තේරුම් ගනීවි.

නමුත් ඔබ එසේ නොකලොත් අනාගතයේ දවසක ඔබේ දරුවා වැඩිහිටියෙක් වූ දාක ඔහුගේම සතුරා ඔහුම වේවි. ඔබේ දරුවාට ඔබ කෝටි ගණනක් වටිනා වාහනයක් අරන් දීලා,ඒක හප්පා ගත්තා උනත් එයාට ගාණක් නෑ.

මගේ අම්මා/තාත්තා මට අලුත් එකක් අරන් දේවි කියලා හිතාගෙන ඉඳීවි. ඒක එයාගේ පෞරුෂයට තදින්ම බලපානවා.

එයා ආත්මාර්ථකාමී අයෙක් වේවි. වගකීම් විරහිතව ක්‍රියා කරාවි. විවිධ දේ වලට තදින් ඇබ්බැහි වේවි.

2. "නිතරම වැඩිහිටියන්ට සවන්දිය යුතුයි. එයාලා එක්ක එකට එක කියවන්න එපා..වාද කරන්න එපා.." මේ වගේ යල් පැනගිය අදහස් නම් අයින් කරන්න කාලය හරි.

අම්මලා, තාත්තලා පොඩ්ඩක් හිතන්නකෝ. ඔයාලා පොඩි කාලේ මේ වාක්‍ය ඛණ්ඩය ඔබේ වැඩිහිටියන්ගෙන් හරි දෙමව්පියන්ගෙන් හරි අහලා තියනවාද? සමහර වෙලාවට පාසලේදී ගුරුවරුනුත් ඒ කාලයේ අපිට එහෙම උගන්වලා ඇති.

ඇත්තටම වැඩිහිටියන්ට නිතරම සවන් දුන්නාම අනාගතයේදී හොඳ දරුවෝ,වැඩිහිටියෝ වෙනවාද? මොකද ඔබ හිතන්නේ?

යල් පැනගිය අදහස්

දෙමව්පියන් විදියට ඔබ සිහින දකිනවා ඇති දරුවෝ ඔබට නි‍රන්තරයෙන්ම සවන් දිය යුතුයි කියලා.

ඒත් දෙමව්පියන් විදියට ඔබ හිතුවාද ඔබේ දරුවාට නිරන්තරයෙන් වැඩිහිටියන්ට සවන් දීම පුරුද්දක් කෙරෙව්වොත් දරුවාගේ අනාගතය භයානක ලෙස අනතුරක කියලා.

 

Peaceful Parent, Happy Kids" කියන ග්‍රන්ථයේ රචකයා, ලෝරා මා‍ක්හම් වන සුප්‍රකට මනෝ විශේෂඥයා පවසන දේ

"Peaceful Parent, Happy Kids" කියන ග්‍රන්ථයේ රචකයා, ලෝරා මා‍ක්හම් වන සුප්‍රකට මනෝ විශේෂඥයා පවසනවා කීකරු දරුවන් අනාගතයේදී කීකරු වැඩිහිටියන් බවට පත් වෙනවා කියලා.

ඉතින් හරි හොඳයි නේ නේද? එහෙමද හිතුනේ? එහෙනම් මේ ටිකත් අහ ගන්නකෝ. ලෝරා මහත්මිය තව දුරටත් කියනවා ඒ වගේ කීකරු දරුවෝ වැඩිහිටියෝ බවට පත් උනාට පස්සේ තමන් වෙනුවෙන් නැඟී සිටින්නේ නෑ.

එයාලා කපටි, වංචාකාර මිනිස්සුන්ට ලේසියෙන්ම හසු වෙනවා. මොකද පොඩි කාලේ ඉඳලාම එයාලාට හුරු සවන්දීලා මිසක් තමන් වෙනුවෙන් පෙනී ඉඳලා නෙමෙයි.

දරුවන්‍ යනු දෙමව්පියන්ගේ ඇඟේ කොටස් නොවේ. ඔවුන්ටත් ඔවුන්ගේම අදහස්, කැමති, අකමැති දේ තිබේ.

ඉතින් යල් පැනගිය අදහස් වන මේ ක්‍රමයත් ඉවත දාන්න කාලය දැන් හරි. දරුවන්ට ස්වාධීන වෙන්නට පුරුදු කරන්න. නිතරම තමන් වෙනුවෙන් පෙනී ඉන්නට හුරු කරන්න. දරුවෝ ඔබෙන් උපත ලැබුවාට ඔවුන් ඔබේ ඇඟේ කෑල්ලක් නෙමෙයි. ඔවුන් වෙනම ජීවීන්.

ඔවුන්ට වෙනම අදහස්, ආසාවල්,බලාපොරොත්තු තියනවා. ඒවා වෙනුවෙන් සටන් කරන්න කොන්ද පණ ඇති දරුවෙක් බිහි කරන්න වගකීම තියෙන්නේ දෙමව්පියන්ට.

නැත්නම් ඔබේ දරුවා පස්සේ කාලෙක හැම කෙනාටම ඔලුව පහත් කරාවි. හැම කෙනෙක්ම කියන දේ පිළිගන්න, එකඟ වෙන නිවට, බියගුළු චරිතයක් වේවි. "නෑ", "බෑ" කියන වචන වලට බිය නොවී, ඒවා පාවිච්චි කරන්නට කියන්න.

ඔබේ දරුවාගේ අදහස් වටින බවත්,ඒවා ප්‍රකාශ කරන ලෙසත්, හැම කෙනෙක්ටම එකඟ වීමට අවශ්‍ය නැති බවත් පොඩි කාලේ ඉඳලාම උගන්වන්න.

3. "ඉස්කෝලේ විභාග, ඇගයීම් වලදී ගන්න ඕනි "A". ඒක තමයි හොඳම. අනිත්වා, "C" වගේ ඒවා නම් වැඩක් නෑ. ඒ වගේ ප්‍රතිඵලයක් නරකයි."

ඔබත් ඔබේ දරුවාට මේ විදියට හැම විෂයකටම, හැම විභාගයකටම ඉහලම ලකුණු ගන්න යැයි බල කරනවාද?

එහෙමත් නැත්නම් දරුවාට "A" නැතිව "B", "C", "S" එහෙමත් නැත්නම් අසමත් වෙලා තිබ්බොත් දොස් කියනවාද? "A" විතරක් වටින බව කියනවාද? "C" වගේ ගත්තොත් නරකයි කියලා කියනවාද ඒක?

තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

දරුවාට මේ විදිය දිගටම කලොත් කාංසාව හැදිලායි නතර වෙන්නේ!!

ඔබ "A" කියන තත්වය මත පමණක් හඹා යන දෙමාපියෙක් නම් ඔබෙන් අසන්නට ඇත්තේ ඔබට දරුවාවද වටින්නේ විභායගේදී නොලැබුන "A" එකද කියලා.

මොකද මේ විදියට ඔබ දරුවාට කාලාන්තරයක් තිස්සේ පැවසුවාම දරුවාව කාංසාව කියන තත්වයට ගොදුරු වෙනවා. හැබැයි අම්මේ, තාත්තේ ඔබ මේ විදියට බල කරන අයෙක් නම් ඒ තත්වයට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ ඔබයි.

ආදරණීය දෙමාපියන් විදියට ඔබ දරුවාට කියා දිය යුතුයි පරාජය කිසි ලෙසකින් ඉදිරි දේ වලට බලපාන්නේ නැති බව. පරාජය තාවකාලික බව.

ඒ වගේම කියා දිය යුතුයි පරාජය කියන්නේ ජීවිතයට ලැබිය හැකි හොඳම පාඩමක් බව. ඒ පරාජයෙන් ජීවිතය ගොඩ නඟා ගන්න ශක්තිමත් වෙන විදිය ඔබ දරුවාට කියා දිය යුතුයි. "A" පසු පස හඹා යන රොබෝවෙක් බවට දරුවාව පත් කරන්න එපා.

සායනික මනෝ විශේෂඥ වෛද්‍ය ස්ටෙෆ්නි ඕ'ලෙරී මහත්මිය පවසන්නේ කුමක්ද?

සායනික මනෝ විශේෂඥ වෛද්‍ය ස්ටෙෆ්නි ඕ'ලෙරී මහත්මිය පවසනවා පරාජය කියන දේ දරුවන්ට වාසි සහගත වෙනවා කියලා විවිධ පැති වලින්. පරාජය දරුවන්ට කියලා දෙනවා ඍණාත්මක අවස්ථාවකට මුහුණදෙන විදිය සහ ඒ සමඟ ගණුදෙනු කරන විදිය.

එය වටිනා ජීවන අත්දැකීමක් වෙනවා දරුවන්ට. තමන්ගේ අඩු පාඩු හදා ගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. අමාරු අවස්ථාවන්ට ගැලපෙන විසඳුම් සොයා ගන්නට පන්නරයක් දරුවන්ට මේ මඟින් ලැබෙනවා.

එමඟින් අනාගතයට දරුවෝ බියකින් තොරව ශක්තිමත්ව මුහුණදෙන්නට හැකියාවක් ලද්දන් වෙනවා. පරදින්න බිය වන්නේ නෑ ඔවුන්. ඔවුන් දන්නවා පැරදුම කියන්නෙ අවසානය නොවන බව.

ස්ටෙෆ්නි මහත්මිය පවසනවා "A" පසු පිස්සුවෙන් වගේ හඹා යන දරුවෝ ඇත්ත ජීවිතයට පුරුදු නෑ කියලා. පොළවේ පය ගසා ජීවත් වන්නට ඔවුන්ට නුහුරුයි.

නමුත් පරාජයෙන් බැට කාලා, ඒවාග විසඳුම් හොයා ගත්ත, අනාගතයට බය නැති දරුවෝ සමාජයේ හොඳින් පැවැත්මක් ඇතුව ජීවත් වෙන්න දන්නවා කියලා එතුමිය පවසනවා. ඔබටත් ඔබේ යල් පැනගිය අදහස් ඉවතලන්නට කාලයයි මේ.

4. "ගහගන්න එපා. ගැහුවොත් ආයෙම ගහන්න යන්න එපා..හොඳ ළමයි එහෙම ගහ ගන්න යන්නේ නෑ.."

කලිනුත් කිව්වා වගේ මනුස්සයෙක් උනම තමන් වෙනුවෙන් පෙනී ඉන්නට පුලුවන් වෙන්න ඕනි.

දෙමව්පියෙක් තමන්ගේ දරුවාට "කිසිම හේතුවකට කිසිම කෙනෙක්ට ගහන්න යන්න එපා. ඔයාට ගැහුවා උනත්.." යැයි පැවසීම දරුවාගේ ඔලුවට, මනසට එල්ල කරන සෑහෙන ලොකු ප්‍රහාරයක්.

එමඟින් වෙන්නේ දරුවාව නිහඬවම වෙනත් දරුවෝ අතින් හිරිහැරයට පත් වීම. මොකද හිරිහැර කරන දරුවෝ දන්නවා ඒ දරුවා ප්‍රති ප්‍රහාර එල්ල නොකරන බව.

මේ ආකාරයට වැඩුණු පසු ඔවුන්ට අනාගතයේදී තරඟකාරී වාතාවරණයක් තුල ජීවත් වීමට නොහැකි වේවි.

යල් පැනගිය අදහස්

 

මේකෙන් කියන්නේ නෑ දරුවෙක් ඔහුට හිරිහැර කරන සෑම අයෙක් එක්කම ගහ ගන්න යන්න ඕනි කියලා. නමුත් තමන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනි මොන විදියෙන් හරි. වචනයෙන් කියලා හරි අතින් පයින් හරි.

සුදුසු දේ සුදුසු වෙලාවට කල යුතුයි. ඒ පෞරුෂය ඔබ දරුවා තුල ඇති කල යුතුයි. ඒක ඔබේ දරුවාට ජීවිත කාලය තුල ඔහුට ලද හැකි අගනා ත්‍යාගයක් වේවි.

5. "ඔයා ඉගන ගන්න එක ගැන විතරක් හිතන්නකෝ..අනිත් දේවල් මං බලා ගන්නම්..ගෙදර අනිත් වැඩ කරන්න ඕනි නෑ ඔයා.."

ගොඩාක් අම්මලා මේ කතාව තමන්ගේ දරුවන්ට කියනවා නේද? එහෙම කියන්නෙ ඇයි ඇහුවොත් කියාවි "ආදරේට නේ..", "ගෙදර වැඩ ගන්න ඕනි නෑ..." "ඔන්න ඔහේ ඉගෙන ගත්තාවේ.වැඩ කරන්න ඕනි නෑ.." වගේ දේවල් කියාවි සමහර විට හේතු විදියට.

ඒත් ඔබ දන්නවාද ඒ දේවල් නිසා දරුවෙක්ට වන් අයහපත කොතරම්ද කියලා.

දරුවෙක් කුඩා අවධියේ සිටම බහුකාර්යන් කිරීමට හුරු වෙන්න ඕනි. එක ප්‍රධාන කාර්‍යභාරයක් කරන ගමන්ම මතු වෙන අනිකුත් ප්‍රශ්නත් විසඳා ගත යුතු වෙනවා තනිවම.

දරුවෙක්ට වගකීම් සහගත වෙන්න නම් බහුකාර්යන් කිරීමට ඉඩ දීම කල යුතුම වෙනවා.

සමහර දෙමව්පියන් ඕනිවට වඩා දරුවන්ට හැම දේම කරලා දෙනවා, බලා කියා ගන්නවා. ඔවුන්ට තනියෙන් දෙයක් කර ගන්න දෙන්නේම නෑ. ඒක හරිම වැරදියි.

ඔබත් මේ වගේ මවක්ද?

සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන්ට හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙනවා. විශේෂයෙන්ම පුතාලාට අම්මලා වැඩි ආදරේ පෙන්වන්න එහෙම කරනවා. දුවලාටත් නොකරනවා නෙමෙයි.

උදාහරණයක් විදියට දරුවන්ට පාඩම් කරන්න තියන වෙලාවනේ කියලා හිතලා රෙදි ටික හෝදලා දෙනවා. තැන තැන දාපු සෙල්ලම් බඩු ටික අස් කරනවා.

නිකන්වත් දරුවාගෙන් උදව්වක් ගන්නේ නෑ. රෙදි ටික මැදලා දෙනවා. ඇඳුනුත් අන්දනවා. තනියෙන් ඇඳගන්න දීලා බැරි නම් කියලා දිදී උදව් කරන්නේ නෑ.

බත් ටිකත් කවනවා. ඒ තරම් ආදරේ සහ හුරතලේ. ඒ වගේ අම්මලා ඉන්නවා. ගෙදර පිරිසිදු කිරීම් කටයුතු දෙන්නේ නෑ. දාසිය වගේ සේරම කරනවා.

ළදරු වැඩිහිටියන්

අනිතිමට බිහි වෙනවා ළදරු වැඩිහිටියෙක්. මොකක්??? ඒ මොකද්ද කියලාද හිතුවේ? ඔව්. ළදරු වැඩිහිටියෙක් තමයි. ඒ කියන්නේ තනියෙන් කිසිවක් කර ගන්න බැරි, වගකීමක් ගන්න බැරි වැඩිහිටියෙක් බිහි වෙනවා.

විවාහ වූ දවසක පිරිමියෙක් නම්, ඔහුට බිරිඳ නැතුව තේ එකක් වත් හදා ගන්න බෑ. රෙදි ටික හෝදා ගන්න බෑ. ගෙදර පිරිසිදු කිරීමේ කටයුතු වලට එන්නේවත් නෑ.

වළඳක්, කෝප්පයක් හෝදන්නේ නෑ. තේ බීපු කෝප්පය තරම් වත් හෝදන්නේ නෑ. ඒවා ගැහැණු වැඩ යැයි සිතා ඉන්නවා. බිරිඳ දාසියක් යැයි සිතනවා.

තත්වය අතිශයෙන් ශෝචනීය වෙන අවස්ථාවක් එනවා. එවන් පිරිමියෙක් පියෙක් වු දවසට. තම දරුවාගේ වැඩකට සහයක් වත් දෙන්නෙ නෑ. එවන් ළදරු වැඩිහිටියන් අද සමාජයේ ඕනෑ තරම් සිටිනවා.

එදා ඒ ආකාරයේ ගැහැණු දරුවොත් ඉන්නවා අද වැඩිහිටි වෙලා කිසි දෙයක් ගැන වගකීමක් නොගන්න. හැමදේම තමන්ගේ සහකරු කරයි කියලා සිතන අය අද සමාජයේ ඉන්නවා.

ඉතින් දෙමව්පියන් විදියට ඔබ ඔබේ දරුවාව මේ තත්වයෙන් දකින්නට අකමැති නම් ඔබට වෙනස් වෙන්නට සිදු වෙනවා. යල් පැනගිය අදහස් නම් කුණු කූඩයට දාන්නම වෙනවා.

තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

6. " උසස් පෙළින් පස්සේ ඉක්මණින්ම උපාධිය කරන්න පටන් ගන්න ආර්ථික විද්‍යාවෙන්.."

දරුවා කැමති විෂය නැතුව දෙමව්පියන්ට කැමති විෂය කරන්නට බල කරන දෙමව්පියන් ඉන්නවා. ඔබත් සමහරවිට දරුවාට එවැන්නකට බල කර තිබෙන්නට පුලුවන්. ඒත් එහෙම කරන එකෙන් දරුවා රැකියාවකට ගිය පසු එය තෘප්තිමත්ව සිදු කරන්නේ නෑ.

උදාහරණයක් විදියට උසස්පෙළින් පසු උපාධියක් කරන එක ගොඩක් හොඳ දෙයක්. නමුත් දරුවාට යම් සහනයක් දිය යුතුයි. නිදහසේ ඉන්න ඔහුත් ප්‍රියයි.

සෑහෙන කාලයක් පාඩම් වැඩ වලට වෙහෙසිලා විභාගය අවසන් උනා කියන්නේ සෑහෙන දුරක් පියාඹපු කුරුල්ලෙක් වගේ. හති අරින්න කාලයක් දෙන්න. නැත්නම් ඔබේ දරුවා රැකියාවට වෛර කරාවි ඔබ නිසා. දරුවාට එයාගේ අනගතය හදා ගැනීමට ඉඩ දෙන්න.

7. "උපාධිය තමයි වටින්නේ. උපාධියක් නැත්නම් වැඩක් නෑ.." මේකත් යල් පැනගිය අදහස් වලින් එකක් බව වැටහේවි.

මේ වගේ කතාත් දෙමව්පියන් නිතර දරුවන්ට කියන කතාවක්. "ඔයාට උපාධියක් නැත්නම් හොඳ රැකියාවක් නම් හොයා ගන්න වෙන්නේ නෑ" වගේ කතා දෙමව්පියන් දරුවන්ට කියනවා. ඒක වැරදියි.

උසස් අධ්‍යාපනය ලබන එක ගොඩක් හොඳ දෙයක්. නමුත් ඒකට අවස්ථාව අහිමි වූවොත් එයටම බල කරන එක, හරිම වැරදි දෙයක්.

ඒකට හේතුව තමයි උපාධියක් උවමනා වෙන්නේ සමහර රැකියාවන් වලට.

වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න උපාධියක් අවශ්‍ය වෙනවා. ඔවුන් හොඳින් උපයනවා. නමුත් ඔවුන් විතරද හොඳින් උපයන්නේ.

ඔබට මේ වගේ අය හමු වෙලා තියෙනවාද?

සමහර වෙලාවට උපාධි පිට උපාධි සහතික තිබ්බාත් ඔබට හමු වෙලා නැද්ද උගන්වන්නට බැරි ගුරුවරු?

හරියට බෙහෙත් ටික දෙන්න බැරි වෛද්‍යවරු? ඉන්නවා නේද? උපාධි නැතත් හොඳට උගන්වන ගුරුවරුත් ඕනි තරම් ඉන්නවා. ඒක හැකියාව සහ දක්ෂකම.

රූපලාවණ්‍යගාරයක් කරගෙන යන අයෙක් බලන්න. සමහරු පතරෙටම ඉගනගෙන තියෙන්න පුලුවන්. ඒ කෙනා ගාව ඉන්න සිසුවියක් ප්‍රධානියාට වඩා ලස්සනට මනාලියන්ව හැඩ ගන්වනවා වෙන්න පුලුවන්.

සුපිරි දක්ෂයින්

සමහරු තොරතුරු තාක්ෂණය පැත්තෙන් උපාධි, පශ්චාත් උපාධි ගත්තත් කිසිම උපාධියක් නැති කෙනෙක් සුපිරි දක්ෂයෙක් වෙන්න පුලුවන් තොරතුරු තාක්ෂණය පැත්තෙන්.

ආයතනයක හිමිකරුට උපාධියක් නැති වෙන්නට පුලුවන් එහි සේවකයන් සැමටම උපාධි තිබුණත්. නමුත් ඔවු ආහතන ප්‍රධානී වගේම හැමෝම ඔහුට අමතන්නේ "සර්" කියලා.

ඉතින් ඔබට වැටහෙන්න ඕනි උපාධිය තිබීමෙන් හැමදෙයක්ම හරියන්නේ නැති බව. දරුවා දක්ෂයෙක් කල යුතුයි. උපාධියට වඩා වටින්නේ එයයි.

8. "අර්ධකාලීන රැකියාවක් කිරීම දරුවෙක් අධ්‍යාපායෙන් දුරස් කරවනවා. ඒ නිසා හොඳම දේ පාඩම් වැඩ ගැන විතරක් හිතන එක.."

සමහර වෙලාවට දරුවෝ පොඩි පොඩි අර්ධකාලීන රැකියා කරනවා. වාහන වලට,වාහන අමතර කොටස් වලට කැමති දරුවෝ ගරාජ් එකක වැඩක් කරනවා වෙන්න පුලුවන් නිවාඩු කාලෙට.

නැත්නම් සතියකට සැරයක් දෙසැරයක්. නැත්නම් පරිඝණක අලුත්වැඩියා කරනවා වෙන්න පුලුවන්.

මොනවාම හරි දෙයක් අමතර රැකියාවක් විදියට ඉගන ගන්න ගමන් කරන දරුවෝ ඉන්නවා. නමුත් බොහෝ දෙමව්පියන්ගේ අදහස වෙන්නේ එය අනවශ්‍ය දෙයක් කියලා.

අර්ධකාලීන රැකියාවක වාසි මොනවාද?

නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් දරුවෝ මේ විදියට අර්ධකාලීන රැකියා වල නිරත වීමෙන් ඔවුන්ට හොඳ අත්දැකීමක් ලැබෙනවා. සමාජ ආශ්‍රයක් ලැබෙනවා. වැඩක් වෙලාවට කරන්න්ට හුරු වෙනවා. වගකීම් සහගත වෙනවා. එයාලා ගැන හොඳ, නරක එයාලාගේ වැඩ පරීක්ෂකවරුන්ගෙන් එයාලාට දැන ගන්නට ලැබෙනවා. මුදල් සෙවීමට කොතරම් මහන්සි වෙන්න ඕනිද කියන දේත්, ඒවා අරපරිස්සම් කල යුතු බවත් තේරුම් යනවා.

9. "අනිත් මිනිස්සු තීරණය කරාවි. ඔයා ඕනි නෑ ඒවාට. පැහෙන්නේ නැතුව ඉන්නකෝ."

සමහර මිනිස්සු කැමතියි කවුරුන් හරි ඔවුන් වෙනුවෙන් තීරණ ගන්නවාට. ඔවුන් ඔවුන්ගේ දරුවන්ටත් උගන්වන්නේ ඒ ආකාරයටමයි.

"ඔයා ඔයාගේ වැඩේ කරන්න.අනුන්ගේ වැඩ කරන්නේ නැතුව", "ඕනිවට වඩා කියවන්න එපා", "අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්න එපා" වගේ දේවල් සමහර දෙමව්පියන් දරුවන්ට කියනවා.

ඒ දරුවෝ වැඩිහිටියන් උනාමත් තමන්ගේ කැමත්තට වැඩ කරන්නේ නෑ. වෙන කෙනෙක් තීරණ ගන්නකල් ඉන්නවා.

ඒ වගේ අය අහල පහල ගෙයක් ගිනි ගත්තත් ඔහේ ඉන්නවා වෙන කෙනෙක් ඒ වෙනුවෙන් ගිනි නිවන රථය ගෙන්වනකල්.

තීරණ ගැනීමේ හැකියාවක් නෑ. මොන ප්‍රශ්නය ආවා උනත් එක්කෝ අම්මාගෙන් අහන්න ඕනි.

තමන්ට තීරණයක් ගන්න බෑ ඒ වගේ අයට. තෙතමනයක් නැති, තීරණයක් ගන්න බැරි වැඩිහිටියෙක් අන්තිමේදි බිහි වෙනවා.

ඒ නිසා දෙමව්පියනි ඔබේ දරුවාගේ ඔලුවත් මේ වගේ යල් පැනගිය අදහස් වලින් නම් පුරවන්න එපා.

සටහන:- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

කතන්දර ලිපි