තම පියාණන්ගේ අභාවයත් සමගම කම්පනයට පත්වූ තම ලේලිය වෙනුවෙන් අමිතාබ් බච්චන් කළ සංවේදී සටහනක්

තම පියාණන් අවසන් ගමන් යන මොහොතේ අයිෂ්ගේ ඇස් වලින් කඩා හැලුණු කඳුළු කාගේත් සිත් සසල කළා.

ලෝ ප්‍රකට සුරූපී නිලි අයිෂ්වර්යා රායිගේ පියාණන් දරුණු ලෙස රෝගී වීමෙන් පසු වසර 78 ක් ආයුෂ ගෙන මෙලොවින් සමුගත්තා. ක්‍රිෂ්නාරාජ් රායි මියයෑමට පෙර මුම්බායි හි ලීලාවතී රෝහලේ සති දෙකකට වැඩි කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඔහු මාර්තු 18 වන දා අවසන් සුසුම් හෙලුවා.

මේ පුවත සමග පවුලේ අයගේ හදවත් කම්පනයටත් තැවුලටත් පත්වුණා. ඒ සමගම අමිතාබ් තම ටුවිටර් ගිණුමේ ප්‍රියයන්ගෙන් වෙන්වීම හා දුක පිළිබඳ සටහන් කර තිබුණා. මරණයට ඇත්තේ එක් අවසානයක් පමණයි. එය අර්ථ දක්වන්නට වචන ප්‍රමාණවත් නැහැ.

තම පුතා හා ලේලිය සමගින් අවමගුලට සහභාගී වූ බච්චන්ට වේදනාබර හැඟීම් තද කරගන්න අපහසු වුණා. ඔහු ඉතා සංවේගයට පත්ව සිටි අතර කඳුළු සලමින් සිටි අයිෂ් ළඟ රැඳෙමින් අභිෂේක් ඇයගේ දුක බෙදාගන්නා අයුරු පෙනුනා.

ඔවුන්ගේ පවුලේ ශෝකය හා සංවේදනාව ඔහු බ්ලොග් සංවාදයක සඳහන් කරමින් මරණයේ අඳුරු සිතුවිලි හා අදහස් දක්වා තිබුණා.

මරණය අපට කතා කරන විට එය නතර කළ නොහැකි බවත්, එලෙස අපට නැතිවන කෙනා නැවත අපට ලබාගත නොහැකි බවත්, එය ජීවත්ව සිටින අයට කෙතරම් වේදනාවක් ගෙන දෙන්නේදැයි ද, නමුත් යථාර්තය එය බවත්, සම්ප්‍රදායන් සියල්ල අභිබවා මරණය ජය ගන්නා බවත්, අවසන් ගමනකදී කළහැකි දෙයක් අපට ඉතිරි නොවන බවත්, අපි දුක් වුවත් වෙන්වූ කෙනා ප්‍රීතිමත්ම පුද්ගලයා බවත්, ඔහු දෙව්ලොව යා යුතු බවත් ඔහුගේ පණිවිඩයේ ගැබ්වී තිබුණා.

ඊට ටුවිටර් ඔස්සේ පිළිතුරු දක්වමින් බොහෝ රසික රසිකාවියන් අයිෂ්ගේ පියාගේ වියෝව ගැන තම ශෝකය ප්‍රකාශ කර තිබුණා.

අයිෂ්ගේ පියාණන් දරුණු රෝගයකින් පීඩා වින්දා

මුලින් මේ පිළිබඳ රායි පවුල ප්‍රසිද්ධියේ අදහස් නොකළත් ලීලාවතී රෝහලේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඒ බව මාධ්‍යට ප්‍රකාශ කළා. මේ පිළිබඳ අදහස් දක්වමින් රායි මහතා පිළිකාවකින් පීඩා විඳි බවත්, මේ මගින් සම්පූර්ණ ශරීරය අකර්මන්‍ය වී තිබුණු බවත් ප්‍රකාශ වුණා. වසා සෛල පිළිකා තත්වය නිසා එය මොලය දක්වා පැතිරී තිබුණා.

වෛද්‍ය වී. ශංකරන් ලීලාවතී රෝහලේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා පැවසුවා. ඒ වගේම රායි පවුලේ ළඟම ඥාතියෙකු සඳහන් කළේ මේ කාලය පුරාම ඔහුගේ දියණිය අයිෂ් ඔහු ළඟ දිවා රෑ රැඳෙමින් නිදිවර්ජිතව රෝහලේ ගත කළ බවයි. ඇයට මෙය ඉතාම පීඩාකාරී හා වේදනාකාරී අවස්ථාවක් වුණා, ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වුවත් ආදරණියන්ගෙන් වෙන්වීම දරාගත නොහැකි වේදනාවක්. මේ වේදනාව විඳගනිමින් අයිෂ්ටත් ඇගේ පස් හැවිරිදි දියණියට මේ සුවිශේෂ සිදුවීම හා ඔවුන්ගේ වේදනාවට හේතු සඳහන් කරන්න වෙනවා.

මරණය ගැන දරුවන්ට කතා කළහැකි ආකාර 3 ක්.

  • අවංක වෙන්න - වයස අවුරුදු 5 ක් වන විට දරුවන් ආරම්භය හා අවසානය ගැන වටහා ගන්නවා. ඒ නිසා අවංක වීම නුවණට හුරුයි. අපේ ආදරය දිනපු අය හදිසියේ වෙන්විය හැකි බවත් ඔවුන් නැවත නොඑන බවත් ඔවුන්ට කියා දීම වැදගත් වන නිසා ඔබ ඔබේ හැඟීම් ගැනත් ඔවුන්ට කීම වැදගත්.
  • සවන් දීම හා සැනසීම - ඔබටත් කවුරුන් හෝ සවන් දීම හා සැනසීම අවශ්‍ය වගේම මේ ගැන දැනගත් විට දරුවන්ටත් එය අවශ්‍යයි. ඔවුන්ටත් දුක් වෙන්න සංවේදී වෙන්න ඉඩක් දෙන්න. “අපි ඔයාට ඉන්නවා”, “අපි එයා වෙනුවෙන් ගරු බුහුමන් දක්වමු” ආදී දේවල් කියා ඔවුන්ව සැනසීම කළ හැකියි.
  • අතීතයේ සැමරුම් මතකයට ගන්න උදවු කරන්න - ඔවුන් අපෙන් වෙන්ව ගියත් ඔවුන් පිළිබඳ මිහිරි මතක සිහිකරන්න ඔවුන්ට උදවු වෙන්න. ඒවා ඔවුන් තුළ ජීවත් කරන්න.

දරුවන්ටත් දෙමාපියන්ටත් හදිසියේ වෙන්වන ආදරණීයන් ගේ වියෝව දරාගැනීමට අසීරු වුනත් ලෝ දහමට මුහුණ දෙන්නට ඔවුන් ශක්තිමත් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ