පුංචි පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු ගැන දැනගන්න

lead image

පුංචි පැටියාගේ සුවයට මේ දිව ඔසු ගැන අපිව දැනුවත් කරන්න මාතලේ ආයුර්වේද වෛද්‍ය සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා සමග ඉතා වටිනා පිළිසඳරක යෙදුනා.

අතීතයේ පටන් අපේ මුතුන්මිත්තන් ආයුර්වේද ශාකසාර ඇසුරෙන් ඉතා සරලව රෝග සුව කර ගැනීමේ ක්‍රම යොදා ගත්තා.

මේ අතරට එදිනෙදා වත්තෙන් හොයාගන්න බොහෝ පැළෑටි දිව ඔසු සේ පුංචි දරුවන්ගේ පෝෂණයට, ඥානය වර්ධනයට උදවු කරගන්න අපේ පැරණි අම්මලා සමත් වුණා.

ඒත් දැන් අපිට ඒ වගේ බෙහෙත් පැළෑටි හොයාගන්න අමාරුයිනේ. නැහැ. කොහෙත්ම නෑ. පුංචි ඉඩක අමුකහ, ඉඟුරු, ගොටුකොළ, ලුණුවිල, උඳුපියලිය වගේ දේවල් වවාගන්න ඔබට නොහැකි වන්නේ නැහැ.

ඉතින් පුංචි පැටියාගේ සුවයට මේ අපූරු දිව ඔසු ගැන අපිව දැනුවත් කරන්න කියලා මාතලේ කෙලින් වීදිය, නො.520 හි, උදය අල්විස් වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය, සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා සමග ඉතා වටිනා පිළිසඳරක යෙදෙන්න අවස්ථාව උදා වුණා.

ඔහු අපට සඳහන් කළේ නිවසෙන්ම ඉතා සරලව හදාගන්න පුළුවන් සරල බෙහෙත් වට්ටෝරු කිහිපයක් ගැනයි. නමුත් ඒවාගෙන් ඇති විශ්මිත ගුණ ඔබ මවිත කරන බව විශ්වාසයි. මාස 6ට අඩු දරුවන්ගේ සිට ඔබට මේ ඔසු දිය හැකි බව මෙතුමා විශේෂයෙන් සඳහන් කළා.

1. නිතර පැතිරෙන වෛරස් උට කොත්තමල්ලි, කොත්තමල්ලි දුම්

නිතරම විවිධාකාරයෙන් වෛරස් උණ දැන් දැන් හිස ඔසවනවා. එවැනි තත්වයන් වලදී කොත්තමල්ලි කබලක දමා පුච්චා එහි දුම් දරුවා නිදන කාමරය හා අවට පරිසරයට ඇල්ලීමේ විෂබීජ පැතිරීමත්, දරුවාට ඉන් ආරක්ෂාව ලබාගන්නත් පුළුවන් බව එතුමා සඳහන් කළා.

අනෙක් අතට සතියකට වරක් පමණ කොත්තමල්ලි තම්බා ගත් වතුර මෙවැනි කාල වලදී කුඩා ප්‍රමාණයක් ලබාදීම කළහැකි නම් බොහෝ බෝවන රෝග වලින් ආරක්ෂා වීමට හැකි බවත්, අවුරුද්දට වැඩි දරුවන්ට කොත්තමල්ලි සීනි ස්වල්පයක් සමග මුසු කර දීමෙන් ශරීරයට එය ඉක්මනින් අවශෝෂණය වන බවද ඔහු පවසනවා. ඒ වගේම ඊට කුඩා ඉඟුරු කෑල්ලක් මුසු කිරීමෙන් තවත් ගුණ ලබාගන්න පුළුවන්.

2. ගොටුකොළ

ගොටුකොළ, කොළ කිහිපයකින් ඔබට මේ බෙහෙත් හදාගන්න පුළුවන්. නිතර කේන්ති යන, නොසන්සුන් දරුවන්ට, සෙම් රෝග, පණු රෝග, නුරුස්සන ගතියට වගේම, නින්ද නොයන දරුවන්ටත් ගොටුකොළ කදිම ඔසුවක් බව එතුමා කියනවා. ඒ වගේම ඥානය හා බුද්ධිය වර්ධනයට ගොටුකොළ ඉතා හොඳ ඔසුවක් බව ඔහු කියනවා.

ඔබට කරන්න තියෙන්නේ ගොටුකොළ කොළ කිහිපයක් ගෙන හොඳින් පිරිසිදු කර මේස හැඳි භාගයක් පමණ යුෂ සතියකට කිහිප වරක් දරුවාට බොන්නට දෙන්න හෝ නැතිනම් බත් සමග මුසුකර වුවත් දෙන්න පුළුවන්. ගොටුකොළ ඇස් වල පෙනීම වර්ධනයට ඇතුළු විටමින් බහුල පලාවර්ගයක් නිසා කොයි ආකාරයෙන් දරුවන්ට දුන්නත් එහි ගුණ අනූන බව වෛද්‍යවරයා සඳහන් කළා.

3. උඳුපියලිය

ආයුර්වේදයට අනුව උඳුපියලිය ඉතා වටිනා ඖෂධයක් ලෙස සලකන අතරම පුංචි දරුවන්ගේ බඩේ අමාරු වලට දිව ඔසුවක්.

උඳුපියලිය, දෙහි, සුදුලූණු, අමු ඉඟුරු සමව ගෙන වන්ඩුවේ තම්බා, නැතිනම් ස්ටීම් කරගෙන පසුව එහි යුෂ මිරිකා මීපැණි   (අවුරුද්දට වැඩි දරුවන්ට) ස්වල්පයක් සමග දෙන්න පුළුවන්.

4. පිරිසිදු පොල් තෙල්

දරුවන්ගේ නින්ද අඩුකමට පිරිසිදු පොල් තෙල් හෝ හැකිනම් පොල් තෙල් වලට අරූද කොළ ටිකක් දමා රත්කර ගෑමෙන් ඉතා හොඳ සහනයක් දරුවන්ට ලැබෙන බව ඔහු පවසනවා. අරූද කොළ අපිට ආයුර්වේද ඔසු විකිණීමට ඇති බෙහෙත් බඩු කඩයකින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

5. එළඟිතෙල් හා තල තෙල්

දරුවන්ගේ ආහාර තෙම්පරාදු කරන විට එළඟි තෙල් හා තල තෙල් ඊට එක්කර ගැනීමෙන් දරුවන්ට ඇතිවිය හැකි අසාත්මිකතා, ඇලජික් වැනි තත්වයන්ගෙන් වැළකීමටත්, සුවය ලැබීමටත් සුදුසු බව පවසනවා.

6. හීනැටි හාල්, සුවඳල් හාල්, ඇල්හාල්

මේ හාල් වර්ග දරුවන්ට විශේෂයෙන් සුදුසු වන අතර හොඳින් ජීරණය වනවා වගේම එහි ඇති සමබර පෝෂණ ගුණයන් වැඩෙන දරුවන්ට ඉතා යෝග්‍ය බව පැවසෙනවා.

7. ලුණුවිල

ප්‍රාඥාව හා මොලයේ වර්ධනයට කුඩා කළ සිටම ලුණුවිල දිය හැකි නම් ඉතා හොඳ ඔසුවක් ලෙස වෛද්‍යවරයා පවසනවා. ලුණුවිල අපිට ගෙදර පෝච්චියක වුනත් වවාගන්න පුළුවන්.

මාස 6 ට වැඩි දරුවන්ට ලුණුවිල කොළ කිහිපයක යුෂ හෝ වයස අනුව සම්බෝල ලෙස රතුළුණු සමග මුසුකර දීම ඉතා ගුණදායක වන අතර කතාව ප්‍රමාද දරුවන්ටත් ලුණුවිල රතුළුණු සමග සිහින්ව අඹරා හෝ පොඩිකර එළඟි තෙලෙන් අඹරා ඉතා කුඩා ප්‍රමාණයක් සතියකට දින කිහිපයක් දීමෙන් කතාව වගේම බුද්ධියත් වර්ධනය වන බව පැවසෙනවා. අනෙක් අතට දරුවන්ගේ මළ බද්ධය හා පණු රෝග වලටත් ලුණුවිල ඉතා හොඳ ඔසුවක්.

8. පෙරුම්කායම්

පෙරුම්කායම් කැබලි ලෙස ඉතා පහසුවෙන් බෙහෙත් බඩු කඩ වලින් මිලදී ගන්න පුළුවන්. ඉන් දරුවන්ට බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් බව එතුමා පවසනවා.

පුංචිම දරුවන්ට පුංචි වළල්ලක් ලෙස පෙරුම්කායම් කැබැල්ලක් අතේ බැඳ නැතිනම් තොටිල්ලේ ආරක්‍ෂිත තැනක එල්ලා තබන්නත්, නිවස තුළ පෙරුම්කායම් දැමු කුඩා පීරිසියක් තැබීමෙනුත් අහිතකර විෂබීජ ඊට උරා ගැනීමේ ශක්තිය ඇති බව වෛද්‍යවරයා විස්තර කරනවා.

ඔබේ පැටියා පීඩාකාරී රෝග වලට මුහුණ දෙන්නට පෙර ඉතා සරල බෙහෙත් පැළෑටි වලින් ඉතා හොඳ සුවයක් සැනසුමක් ලබාගන්න මේ ඔසු පිළිබඳ තොරතුරු ප්‍රයෝජනවත් වනු ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.