මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

ජිවිත කාලයටම හරියන්න මොළය වර්ධනය වෙන පළමු දින 1000 ගැනයි මේ.

මිනිසාගේ වර්ධනය ගැන කතා කරද්දි අනිවාර්යය‌ෙන්ම කතා කල යුතු මාතෘකාව වන්නේ ‌මොළයේ වර්ධනය ගැනයි. මිනිසා අනෙක් ජිවින්ට වඩා බුද්ධිමත් බව සැල‌කෙන්නේ ඔහු සතු ‌මේ සුවිශේෂි ‌මොළය නිසයි. ඒ නිසා අනිවාර්යයෙන් මේ මොළයට ලැබෙන නිසි පෝෂණය ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

ජිවිත කාලයම මේ මොළය වර්ධනය වන්නේ නැත. මුළු ජිවිත කාලයම අපි භාවිතා කරන්න නියමිත අපේ මේ මොළය වර්ධනය ආරම්භ වන්නේ මව් කුස තුලයි. ඒ අනුව ජිවයක් ආරම් වන මොහොතේ සිට පළමු දින 1000 මොළයේ වර්ධනය සදහා තීරණාත්මක කාලය ලෙස සැලකෙනවා.

මිනිස් ජිවියේ ආරම්භක දින 1000 තුල දරුවාගේ මොළය වේගයෙන් වර්ධනය වන බව ඔබ දන්නවාද? එසේ නම් මේ මුල් දින 1000 තුල දරුවාගේ පෝෂණය ගැන අපි සැලකීම අතිශය වැදගත්.

එහි ආරම්භය මව් කුසයි. දරුවා මව් කුස තුල ගත කරන පළමු සති 40 සිට මුල් ළමාවිය පුරාම පෝෂණය මඟින් දරුවෙකුගේ මානසික හැකියාවන්, චලන කුසලතා සහ සමාජීය හැගීම් සංවර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය සැපයීම කල යුතු වෙනවා.

එමඟින් අධ්‍යාපනයේ සහ පසුකාලීන ජීවිතයේ ආර්ථික අවස්ථාවන්ට සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්.

මෙම දින 1,000 තුළ සෑම අදියරකදීම, දරුවෙකුගේ මොළය වේගයෙන් වර්ධනය වන අතර එය  දුර්වල පෝෂණය, නොසලකා හැරීම, කුසගින්න හා ආහාර අනාරක්ෂිත භාවය සමඟ එන ආතතිය වැනි දේවල් වලට ගොදුරු වෙන්න පුළුවන්.

දරුවෙකුගේ සංවර්ධනයට සිදු වන හානිය ගැඹුරු වන අතර එය කිසිදා ආපසු හැරවිය නොහැක. පළමු දින දහස තුළ අවශ්‍ය  නිසි පෝෂණය ලබා දීම සදහා ගැබිනි කාන්තාවන්ට හා දරුවන්ට අවශ්‍ය පෝෂණය හා සහයෝගය ලබා දීම අනිවාර්යයයෙන්ම සිදුකල යුත්තේ අන්න ඒ නිසයි.

3

ගර්භණිත්වය තුල මොළයේ වර්ධනය

එය ආරම්භ වන්නේ මව්කුස තුලයි.

මව්කුස තුල 4 වන සතිය තුල මොළයේ සෛල 10000 ක් පමණ සකස් වී තියෙනවා. එය ඔබට හිතාගත නොහැකි වේගයෙන් වර්ධනය වෙමින් 24 වන සතිය වන විට එම සෛල බිලියන 10 ඉක්මවා යනවා.

ඉතින් මව්කුස තුල කලලයේ මොළය වර්ධනයේ වේගය ඔබට හිතා ගත හැකියි නේද? මව් කුස තුල ඉන්නා දරුවා පෝෂණය වන්නේ මවගෙනි. අන්න ඒ නිසා ගැබිනි මව පෝෂණයෙන් ඉහළ ආහාර ගැනීම වැදගත් වෙනවා.

ෆෝලික් අම්ලය, යකඩ, සින්ක් සහ අයඩින් වැනි පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රෝටීන් සහ මේද අම්ල ගර්භණී සමයේදී ලබා ගැනීමෙන් කුස තුල සිටින දරුවාගේ මොළය වර්ධනයට මහත් දායකත්වයක් ලැබෙනවා. 

ගර්භණී සමයේදී මෙම සංඝටක එකක් හෝ කිහිපයක් ඌණ වීම , ළදරු සංවර්ධන ප්‍රමාදයන්, උපත් ආබාධ සහ මානසික ආබාධ ඇතිවීමේ අවදානමක් තියෙනවා.ඒ නිසා ගර්භණි මව්වරුන්ට නිසි පෝෂණය ලබා දීම වැදගත් වෙනවා.   සායනයෙන් ලබා දෙන ෆෝලික් අම්ලය, යකඩ වැනි අතිරේක ලබා ගන්න. 

ළදරු අවධිය මොළයේ වර්ධනය

මව්කිරි යනු මොළයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදෙන සොබාදහමේ අනගි නිර්මාණයකි.

ළදරු අවධිය තුල මොළයේ විශිෂ්ට වර්ධනයක් ඇතිවෙනවා. මෙම කාලය තුළ, ළදරුවෙකු තමා අවට ලෝකය කටයුතු කරන ආකාරය හා අදහස් හුවමාරු කරන ආකාරය ඉගෙන ගන්නවා.

ඒ නිසා දරුවාට ආරක්ෂාව , ආදරය , රැකවරණය වගේම නිසි පෝෂණයක්ද අවශ්‍ය වෙනවා. ඒ අතරිනුත් මොළය වර්ධනයට අවශ්‍ය ආහාර ලබා දීම සුවිශේෂි වෙනවා.

මව්කිරි යනු මොළයේ වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂණයකි. ළදරුවන්ගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය කරන ගොඩාක් දේවල් එහි අඩංගු වෙනවා. විවිධ පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රෝටීන සහ හෝමෝන එහි අඩංගු ද්‍රව්‍ය වලින් කිහිපයක් වෙනවා. 

මව්කිරි බීපු ළදරුවන් බුද්ධි පරීක්ෂණ වලදී වඩා බුද්ධිමත්ව ක්‍රියා කරන බවත් ඔවුන් ළමුන් හා යෞවනයන් වු පසු ඉහළ IQ ලකුණු ලබා ගන්නා බවත් බොහෝ අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා . මව දරුවා ස්පර්ශ කිරීම හා මව්කිරිදීම ඒ සදහා ඉහලින්ම දායකවෙනවා. ඒ වගේම දරුවා‌ගේ මානසික හා සමාජීය හැගීම් සංවර්ධනයට තීරණාත්මක වෙන  ළදරුවන්ගේ සංවේදක හා චිත්තවේගීය පරිපථය ශක්තිමත් කිරීම සඳහා මව්කිරි දීමද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මුලික ළමාවිය මොළයේ වර්ධනය

කුඩා දරුවන්ට ඉගෙනීම සඳහා ඔවුන්ගේ මොළය බල ගැන්වීමට හොද පෝෂණයක් අවශ්‍ය වෙනවා..

පුංචි බබෙක් ළදරු වියට එළඹෙන විට මොළය වේගයෙන් වර්ධනය වෙනවා. අලුත උපන් බිළිඳෙකුගේ මොළය වැඩිහිටියෙකුගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණක් වන බව ඔබ දැන සිටියාද? ඒ පුංචි මොළය  වයස අවුරුදු 3 වන විට 80% ක් දක්වා වර්ධනය වෙනවා. දරුවා වයස අවුරුදු 5 වන විට වැඩිහිටි මොළයේ ප්‍රමාණයෙන් 90% දක්වා මොළය වර්ධනය වී අවසන් වෙනවා. මුල් ළමාවියේදී දරුවාගේ මොළය කාර්යබහුල වෙනවා. ඒ මොළයේ සෛල වලට එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසා දෙන මොළයේ භාෂා හා සම්බන්ධ ප්‍රදේශවල සම්බන්ධතා ඇතුළුව  සම්බන්ධතා සකස් කරමිනි.

වැඩෙන මොළයට යකඩ, සින්ක් සහ ප්‍රෝටීන් බහුල පෝෂ්‍යදායී ආහාර අවශ්‍ය වෙනවා. මෙම ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ වල ඌණතාවයන් වළක්වා ගැනීම සඳහා කුඩා දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු වෙනවා.

මොළය වර්ධනය සදහා සුදුසු ආහාර

මොළයේ වර්ධනය

පෝෂකය අඩංගු ආහාර
          ෆෝලික් අම්ලය
  • නිවිති
  • දොඩම් යුෂ
  • බණ්ඩක්කා
  • බීට් මෑකරල්
  • වෙරළු
  • පේර
  • සෝයා බෝංචි 
  • කවුපි
  • රටකජු
  • කඩල
    යකඩ
  • බිත්තර
  • නිවුඩ්ඩ සහිත ධාන්‍ය
  • කොළ පැහැ එළවළු
  • රටකජු
  • පීකදු
  • බතල
  • තල
  • පළතුරු
  • බ්‍රොකලී
  • මල් ගෝවා
  • සෝයා බෝංචි
සින්ක් 
  • මස්,
  • රටකජු 
  • මෑ
  • බෝංචි
  • මුහුදු ආහාර
  •  මාළු 
  • වට්ටක්කා
  •  සූරියකාන්ත 
          අයඩින් 
  • අයඩින් මිශ්‍ර ලුණු භාවිතය
  • මුහුදු මාළු
  • මුහුදු පැළෑටි 

 

දරුවාගේ මොළය දුර්වල කරන ආහාර වර්ග

1

ආහාර කාණ්ඩය ආහාර
ඇසුරුම් කළ හෝ සකස් කළ ආහාර
  • චිප්ස්
  •  ලුණු දවටන ලද චිප්ස්
  •  බර්ගර්
  • පීසා
  • ක්ෂණික නූඩ්ල්ස්
කෘතිම වර්ණක / රසකාරක  යෙදු ආහාර
  • ජෙලි
  • ටොෆි
  • රස කැවිලි
සමහර පාන වර්ග
  • වායුකෘත බීම 
  •  සෝඩා 
  • සිසිල් බීම 
  • කැෆේන් සහිත බීම වර්ග 
  •  තේ 
  •  කෝපි
අධික සීනි සහිත ආහාර
  • අයි්ස්ක්‍රීම්
  • රස කැවිලි
  • කේක් වර්ග

ඔබ දන්නා තවත් මොළය වර්ධනය කරන හෝ දුර්වල කරන ආහාර වර්ග තියෙනවාද? එසේ නම් පහලින් සටහනක් යොදා එම තොරතුරු  අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි