මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

මව් කිරි දීම පටන් ගැනීමට පෙර ඔබ දැන සිටිය යුතු කරුණු ගණනාවක් විශේෂඥ අදහස් හා සිංගප්පුරුවේ මව් කිරි දීම පිළිබඳ විශේෂඥ හෙදියක් වන ජොෆියා බොක් ගේ අදහස් ද එක්කර ඔබට ඉදිරිපත් කරනවා.

පුංචි පැටියාගේ කිරි සිනහා දකින තුරු ඉවසුමක් නැතිව ඉන්න ඔබ මාතෘත්වය, දරුවන් රැක බලා ගැනීම වැනි බොහෝ කරුණු ගැන දැනුවත් වෙන්න පොත් පත් ලිපි කියවලා සුදානම් වෙන බව අපි දන්නවා. ඒත් මව්කිරි දීමට පෙර සමහර කාරණා ගැන සාමාන්‍යයෙන් දැන ගන්නවාට වඩා ගැඹුරින් දැනගැනීම හුඟක් වටිනවා. 

සිංගප්පුරුවේ ජොෆියා බොක් සුදුසුකම් ලත් මව් කිරි දීම පිළිබඳ විශේෂඥ හෙදියක් වන අතර ඇය ඉතා හොඳින් මව් කිරි දීම හා ධනාත්මක ලෙස ඊට මුහුණ දීමට අම්මලාට ඇගේ අත්දැකීම් හා දැනුම විස්තර කරනවා. ඔබට තොරතුරු දැනගැනීමට,

  • විශ්වාසවන්ත අයගෙන් අසා දැනගන්න.
  • අනෙකුත් කිරි දෙන අම්මලා ගෙන් තොරතුරු අසා දැනගන්න.
  • මව්කිරි දීමට පෙර අවශ්‍ය මූලික දේවල් එකතු කරන්න.
  • මව් කිරි දීම සම්බන්ධයෙන් උදවු විය හැකි, ගැටළු ගැන විමසිය හැකි පුද්ගලයන්ගේ දුරකථන අංක සොයා ළඟ තබා ගන්න.
  • කිරි දීම පිළිබඳ දැනුවත් කරන අයෙකුගෙන් ඒ පිළිබඳ හොඳින් දැනගෙන සැක හැර ගන්න.

මව්කිරි දීමට පෙර

මව්කිරි දීමට පෙර මේ කරුණු 10 ගැනත් ඔබ දැනගෙන සිටීම හරිම වැදගත්

1. මව් කිරි ඔබේ දරුවාට අවශ්‍යම පෝෂකයන් ලබා දෙනවා

දරුවෙකුට වඩාත් සුදුසු වන්නේ ඔහුගේ මවගෙන් ලැබෙන කිරියි. මනුෂ්‍යයන්ගේ මව් කිරි සුදුසු වන්නේ අපේ දරුවන්ටමයි. එහි කිසිදු සැකයක් නැහැ.

බිළිඳෙකුට මව් කිරි සම්පුර්ණ ආහාරයක් බව සිංගප්පුරුවේ Health Promotion Board (HPB) ද සනාථ කරනවා.

ඔබේ පළමු මව් කිරි කලොස්ට්‍රම් ලෙස හඳුන්වන අතර ඉන් ලැබෙන ප්‍රයෝජන හා ප්‍රතිශක්තිය ඉතාම ඉහළයි. හැම කිරි දෙන වාරයකදීම කලොස්ට්‍රම් ඉතා කුඩා ප්‍රමාණයක් කුසට ඇතුල් වුනත් එය පැටියාට හුඟක් වටිනවා.

මෙහි තවත් පුදුමයට කාරණයක් නම් දින 3-5 පමණ කාලයකදී මෙම කලොස්ට්‍රම් මව් කිරි බවට හැරීමයි. 

නිසි ප්‍රමාණයට මේදය, සීනි, ජලය, ප්‍රෝටින් අඩංගු නිසා මව් කිරි ඔබේ පැටියාට හොඳම පෝෂණය ලබා දෙනවා.

ජොෆියා විස්තර කරන ආකාරයට,

 දරුවා වැඩෙත්ම දරුවාට අවශ්‍ය ලෙස මව් කිරි ද පෝෂණයෙන් සන්නද්ධ වන බව කියනවා.  මව් කිරි වල ගුණ මෙතෙකැයි කියා නිම කරන්න බැහැ.

HPB හි වාර්තාවකට අනුව මව් කිරි දීම මගින් දියවැඩියා වර්ග දෙකක්, තරබාරුව, හදිස්සියේ සිදු වන බිළිඳු මරණ වැළකීම වැනි බොහෝ ප්‍රයෝජන තියෙනවා.

2. මව් කිරි දීම අම්මාටත් හරිම හොඳයි

මව් කිරි වලින් ඔබේ පැටියාට විතරක් නෙමෙයි ඔබටත් ප්‍රයෝජන රැසක් ලැබෙනවා. HPB මගින් සනාථ කරන ආකාරයට එමගින් දියවැඩියා වර්ග දෙකකින්, පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා වලින් ඔබව ආරක්ෂා කරනවා.

ඒ වගේම මව් කිරි දීමෙදී නිකුත්වන ප්‍රොලැක්ටින් හා ඔක්සිටොසින් යන හෝර්මෝන මගින් දරුවාත් ඔබත් අතර ඇති බැඳීම වැඩි කරන අතර දරුවා බිහි කිරීමෙන් පසු ගර්භාශයේ සංකෝචනයට උදවු වෙනවා.

3. ආරම්භයේ මෙය එතරම් පහසු කරුණක් නොවෙන්න පුළුවන්

ඔබ පළවෙනි වරට අම්මා කෙනෙක් වෙන්න යනවා නම් නැතිනම් පළවෙනි වරට මව්කිරි දීමට පෙර  සිටම සිටම ඊට සුදානම් වෙනවා නම් එය වෙනමම අත්දැකීමක් වෙනවා.

එය ආරම්භයේ මදක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්.

අප එහෙම කියන්නේ පළමු අවස්ථාවේම අපහසුතාවයන් ඇති වුවහොත් ඔබට එය අත්නොහැර සිටින්න ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

ඉවසීම, දැනුවත් අයගේ මග පෙන්වීම හා ඊට ඇති කැමැත්ත සමග ඔබට මව් කිරි දීම එතරම් අපහසු කටයුත්තක් වන්නේ නැහැ.

4. මව්කිරි දීමට පෙර... කිසි විටකත් උදවු ඉල්ලන්න පසුබට වෙන්න එපා

මගේ පළවෙනි පුතාට මව් කිරි දෙනකොට එය තරමක් අපහසු වුණා. මම හිතුව මම මොනවහරි වැරදී පිළිවෙලකට මව් කිරි දෙනවද කියලා. එත් මම ඒ ගැන මව් කිරි දීම පිළිබඳ උපදෙස් දෙන දක්ෂ අයෙකු මුණගැසුණා. 

හරි විදිහට බබාව අල්ලන හැටි, පැටියාට  කිරි උරන්න පහසු වන විදිහට බබාව සුදානම් කර දෙන හැටි වගේ හුඟක් දේවල් මම ඉගෙන ගත්තා.

ඉන් පස්සේ මව් කිරි දීම කොයිතරම් සරලද කියලා මට හිතුනා. මම අවුරුදු 2 ක් යන තුරුම පුතාට කිරි දුන්නා.

ඒ වගේම මට ඒ වගේ සහනයක් නොලැබුනානම් මමත් උත්සාහය අත්හරිවී.

ඔබත් පළමු දරුවා ලැබීමෙන් පසු කිරි දීම ගැන ගැටළු වලට මුහුණ දීලා ඉන්නවා නම් වහාම ඒ පිළිබඳ  විශේෂඥ අයෙකුගෙන් ඊට හේතු අසා දැනගන්න.

දරුවා රෝහලෙන් රැගෙන ගිය පසුව වුවත් ඔබට අපහසුතාවයක් දැනෙනවා නම් ඒ පිළිබඳ නැවත නැවත අසා දැනගන්න. ඔබට මව් කිරි දෙන හා කිරි දීපු මිතුරියන් ඉන්නවා නම්  ඔවුන්ගෙන් ඔබට මේ ගැන අහන්න පුළුවන්.

ඒ වගේම මේ වෙනුවෙන් දැන් අන්තර්ජාලයේ ඇති මව් කිරි දෙන මව්වරුන්ගේ කණ්ඩායමකට ඔබට එක්වෙන්නත් පුළුවන්.

5. ඉඳලා හිටලා බර්ගර් එකක් කෑවත් ඒ නිසා ඔබේ මව් කිරි වල විශිෂ්ටත්වය කිසිසේත් නැති වන්නේ නැහැ

ජොෆියා කියන ආකාරයට මව පෝෂණයෙන් අඩු කෑමක් කෑවත් ඉන් දරුවාට ලැබිය යුතු නිසි මව් කිරි ප්‍රමාණය දරුවාට ලැබෙනවා. නමුත් මින් අදහස් කරන්නේ නැහැ ඔබ මෙය නිතර කල යුතු දෙයක් කියලා.

ජොෆියා කියන ආකාරයට පෝෂණ ගුණයෙන් යුතු සමබර ආහාර වේලක් කිරි දෙන මව්වරුන්ට ඉතාම සුදුසු අතර කිසි විටකත් බඩගින්නේ නොසිටීමත් ඉතාම වැදගත් වෙනවා.

මේ මගින් මව් කිරි නිෂ්පාදනයට අවශ්‍ය පෝෂණය මවගෙන් උරාගැනීම අවම කිරීමට උදවු වෙනවා. ඒ වගේම අම්මාට දරුවාට  හොඳ පෝෂණය පිරි මව් කිරි ලබාදෙන්න ශක්තියක් ලැබෙනවා.

ඒ නිසා නිරන්තරයෙන් පෝෂ්‍යදායි ආහාර ගැනීම (HPB මගින් නිර්දේශ කරන ආකාරයට මවකට සමබර ආහාර වේලකට සාමාන්‍යයෙන් ලැබිය යුතු කැලරි ප්‍රමාණය වන කැලරි 500 ක්) අවශ්‍ය බවයි. හරියට ඔබ ගර්භණි කාලයේදී ආහාර ගත්තා වගේමයි.

ඒ වගේම කැල්සියම්, අවශ්‍ය විටමින් වර්ගයක් වෛද්‍ය නිර්දේශය අනුව ලබාගැනීම හා වතුර හැකි තරම් පානය කිරීමද වැදගත් වෙනවා. වෙනත් රෝග තත්වයකට ඔබට බෙහෙත් ලබාගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පිළිගැනීම වැදගත් වෙනවා.

බොහෝ බෙහෙත් වර්ග කිරි දෙන මව් වරුන්ට හානියක් නැති නමුත් සියලු බෙහෙත් එසේ හානිකර නොවන බව කියන්න බැහැ.

breastfeeding2jpg

6. බ්‍රෙස්ට්පෑඩ්ස් (breastpads) හොඳ සොයාගැනීමක්

ඔබට කිරි එරෙන්න පටන් ගත්තහම දරුවා කිරි නොබොන අවස්ථා වලත්, උණුසුම් ජලයෙන් නාන විට, නැත්නම් දරුවාට           
කිරි එරෙනවා අත්දකින්න පුළුවන්.

ඒත් ඔබ පිටතකට යන වේලාවක මේක වුනොත් ඔබේ ඇඳුම තෙත් වීම ඔබව අපහසුතාවයට පත් කරයි. ඒ වගේම අමතර තවත් ඇදුම් ගණනාවක් හෝදන්න එකතු වෙන අපහසුතාවය ඔබට තවත් කරදරයක් වෙනවා.

මේ හේතු ගැන හිතලා ඔබට බ්‍රෙස්ට්පෑඩ්ස් මිලදී ගන්න පුළුවන්. ළදරු නිෂ්පාදන විකිණීමට ඇති වෙළඳපළ වලින් ඔබට මෙය මිලදී ගන්න පුළුවන්. නමුත් මේවා තෙත් වූ පසු මාරු කරන්න මතක තබා ගන්න.

නැතිනම් තෙතමනය නිසා බැක්ටීරියාවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා.

7. මව් කිරි දීම ඉතාම පහසුයි

පිටි කිරි ඉවර වෙලා නම් හදිස්සියේ ඔබට කඩයට දුවන්න ඕනේ නෑ, මහා රෑ කිරි හදන්න වෙන්නේ නෑ, ඒ වගේම බෝතල් සෝදන්න, තම්බන්න ඕනේ නෑ. නියම උෂ්ණත්වයට අවශ්‍ය මොහොතක ඔබට මව් කිරි දෙන්න පුළුවන්.

ගමන් බිමන් යෑම , විශේෂයෙන් ගුවන් ගමන් හා දරුවාට කිසි විටෙකත් කෑම නැතිවී යන්නෙත් නැහැ.

8. මව්කිරි දීමට පෙර, ඔබේ දරුවාත් ඔබත් අතර ඉතා හොඳ බැඳීමක් ඇති කර ගැනීමට අවස්ථාව සැලසෙනවා

දෙමාපියන් බවට පත්වීම හුඟක් වෙහෙසකරයි. විශේෂයෙන් අලුතෙන් මවක් වූ ඔබට දරුවන්ගේ විවිධ කරණා ගැන මහන්සි වෙන්න, වද වෙන්න වෙනවා.

නමුත් මේ සියලු අපහසුතාවන් මැද දී පුංචි පැටියා ඔබට තුරුල් වෙලා කිරි උරනකොට ඔබගේ ඒ සියලු දුක් වේදනා පහවී යාවි.

මව් කිරි දෙන විට ඔබට මොහොතකට විවේකයක් ලැබෙනවා. සැනසුම් සුසුමක් සමගින් ඔබ පැටියාව දෑතට අරගෙන ඔහුව සුරතල් කරමින්, පැටියා දිහා බලාගෙන මේ ලෝකේ තියෙන උතුම්ම කාර්යයේ ඔබ නිරත වෙන බව හිතන්න.

ලොව හොඳම සම්පත සමග දරුවාට ආදරයත් ලබා දෙන්න.

9. ඔබේ දරුවා තනපුඩුව හරියට අල්ල ගැනීම වැදගත්

මව් කිරි දීමේදී ඔබත් පැටියාත් නිසි ලෙසටම කළයුතු කාර්යය මෙයයි. නිසි ලෙස ඔබේ පැටියා පියයුරුවට සම්බන්ධ වීම හරිම වැදගත්. කරුණු දන්නා අයෙකුගේ උදවුවෙන් ඔබට මෙයට පුහුණු වෙන්න පුළුවන්.

ඉවසීම හා කාලය සමග ඔබට එය එතරම් අපහසු වෙන්නේ නැහැ. පැටියා හරියට පියයුරු හා තනපුඩුව හා සම්බන්ධ වූ විට එයා හරි අපූරුවට කිරි ටික බොන හැටි ඔබට දකින්න පුළුවන්.

මව් කිරි දීම පිළිබඳ ප්‍රවීණයන්ට අනුව සම්පුර්ණයෙන් තනපුඩුව එයාගේ කටට ගැනීම මව් කිරි දීම ආරම්භයේදීම සිදුවිය යුතුයි. එහෙනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

  • පැටියට හොඳින් උරාගැනීමට පහසු වෙන්න තනපුඩුව කටට ළං කරන්න.
  • පැටියාගේ යටි තොල දිව හා නිකට ඔබේ පියයුරු වල මුළින්ම ස්පර්ශ වෙනවා.
  • හරියට සම්බන්ධ වූ විට සම්පූර්ණ කළුපාට රවුම් කොටස බොහෝ දුරට මුව තුළට ඇතුල්ව තිබිය යුතු වුවත් දරුවාගේ නහය නිදහස්ව තිබීම වැදගත්.

දරුවා පියයුරුව සමග නිසි ලෙස සම්බන්ධ වෙලා නැතිනම් ඔබට වේදනාවක් දැනෙනවා.

ඉතා මෘදු ලෙස, දරුවා කිරි ඉරීම නවත්වලා නැවත නිවැරදි ලෙස දරුවාට තනපුඩුව මුවට ඇතුල්කරන්න.

තවදුරටත් ඔබට මේ කටයුත්ත කරන්න අපහසුවක් දැනෙනවා නම් උපදෙස් පතන්න පසුබට වෙන්න එපා.

10. මව්කිරි දීමට පෙර ඔබේ තනපුඩු ගැන හොඳින් බැලීම හරිම වැදගත්

මව් කිරි දීම සමග ඔබේ තනපුඩු වෙහෙසට පත් වෙනවා. සමහර විට ඒවා ඉරිතැලීමට හා වේදනාවට පත්වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් නොවුනොත් දරුවාට මව් කිරි දීම දිගටම කරගෙන යන්න බැරි වෙනවා.

ඊට ඔබට අනුගමනය කළ හැකි ඉඟි කිහිපයක්.

  • හැම කිරි දෙන වාරයකටම පසුවම තනපුඩු පරික්ෂා කරන්න. ඒවා ඉරිතැලී හෝ වේදනාවක් ඇත්නම් මුලදීම ක්‍රියාත්මක වෙන්න.
  • ජොෆියා පවසන ආකාරයට මව් කිරි ස්වල්පයක් තනපුඩු වල ගල්වලා සුළඟට වියලෙන්න හැරිම මෙවැනි අපහසුතා මගහරවා ගන්න අම්මලාට උදවු වෙනවා.

අපි හැමදාමත් කියන්නේ මව් කිරි කියන්නේ ආශ්චර්යමත් ක්‍රියාවලියක් කියලයි.

මවක් වීමේ සතුට සම්පූර්ණ වන්නේ මව් කිරි දීමෙන් විතරමයි. මේ අසිරිමත් ක්‍රියාවලියට ඔබේ මිතුරිය theAsianparent Sri Lanka උදවු වන්නේත් ඒ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

කතන්දර ලිපි