මව්කිරි දීම උතුම් කාර්යයකි. අම්මා කෙනෙක් තමන්ගේ හදවතට දැනෙන අපිරිමිත සෙනෙහසක නාමයේ තමන්ගේ රුධිරය කිරට හරවනවා. ඒක මානව වර්ගයා අතර පමණක් නොවෙයි ක්ෂිරපායි සත්ව වර්ගයා අතරම පවතින මාතෘත්වය තුල ඇති අපූර්ව වු ගුණාංගයකි. සිය මව රක්ත වර්ණ වු ලෙය ශ්වේත වර්ණ වු කිරට හරවද්දි තම කුස පුරවා ගන්නා කුඩා ජිවිතයට මොනවත්ම නොහිතෙනවා ඇතිද? එවන් පුංචි හිතක උපදින්න ඇතැයි සිතෙන මේ සොදුරු හැගීම් මෙලෙස කවියක් වු වගයි.

බබාගෙන් අම්මිට ආදරණීය පණිවිඩයක්, මව්කිරි දීම ගැන. මේ පුංචි හිතටත් සවන් දෙන්න...
අපමණ දුකක් විදලා මා මෙලොවට බිහිකොට
ලෙය කිරි කරලා මට ආදරයෙන් පොවන කොට
මව්ගේ ළමැද කිරි බර වී පිරිපුන් විය මා නමට
මව්කිරි වුනි දිව බොජුනක් මගේ පොඩි කුසට

මාස හයක් තිස්සේ පැය විසි හතර පුරාවට
අහිතක් නැතුව ලෙය කිරි කර පොවා මට
ඔබගේ ලේ මස් ඇට දියවෙලා යන කොට
මතකයි නිකැලැල් හිනාවක් වැඩි හැටි ඔය මුහුණට
තබනා විටදී මුල් බත් කට මගේ මුවට
මව්කිරි ටික වැරදුනේ නැහැ ඒ අතරට
කොතැනත් මා කිරි ඉල්ලා අඩන විට
විලියක් නොබලා ඔබ කිරි දුන්නයි මට

කුසගිනි විටදී එය අහරක් විය මා කුසට
ඔසුවක් විය එය මගේ ලෙඩ වු ගත සිතට
තුරුලේ මා සනසා සුව සිහින පෙනෙන කොට
උණුසුමයි අම්මේ ඔබේ ළමැද හැමදාම මට
රුව ගැන සිතා මව්කිරි නොදෙනා ලදුන් අතරට
අම්මේ ඔබ දෙව් ලියකි හැර වු ලෙය කිරට
ලංවී තුරුලු වී ආදරයෙන් අම්මාගේ හදවතට
හෙව්වේ කිරි පමණක් නොවේ අම්මේ මා රසට
ගැහෙනා මව්ගේ හදවතේ ආදරයේ රිද්මයට
හිස තියාන ළමැදේ මං ඇහුවේ ඇති ආදරයයි මට
මව්කිරි පොදක් තෙමනා විට මගේ පුංචි කට
දැනුනා අම්මේ ඔබේ ආදරේ මහ මෙරක් තරමට
අපුරුයි නේද? ඒ පුංචි හිතක පිපුනු කවි මල් සිතුවිලියි. ඔබ ලගත් සොදුරු කවි සංකල්පනා ඇත්නම් පහත කමෙන්ට් තීරයේ ඔබේ අදහස් සටහන් කරන්න.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.