පළමු මාස කිහිපය තුළ මව් කිරි දෙන අම්මලා ඒ ගැන දැන ගත යුතු කරුණු 7 ක්

පළමු මාස කිහිපය තුළ මව් කිරි දෙන අම්මලා ඒ ගැන දැන ගත යුතු කරුණු 7 ක්

සමහර කරුණු තේරුම් ගන්න අළුත් අම්මා කෙනෙකුට කාලය උවමනා අතර මව් කිරි දීම අපිට කල්යවන්න බැහැ.

පළමු සති කිහිපය තුළ මව්කිරි දීම නැවුම් අත්දැකීමක් වගේම තරමක් අමාරුයි. එය ඔබටත් පැටියාටත් දෙදෙනාටම අලුත් අත්දැකීමක්. ඒ වගේම පැටියා ඔබවත් මව් කිරිත් හුඟක් බලාපොරොත්තු වෙනවා. Romper The Humbled Homemaker වෙතින් තෝරාගත් අදහස් කිහිපයක් ඔබටත් ඔබේ පැටියාටත් වැදගත් වේවි.

1. උපකාර ගන්න

ඔබ නොදන්නා කරුණු මව්කිරි දීම පිළිබඳ විශේෂ උපදේශකයින්ගෙන් වගේම කිරිදුන් මව්වරුන්ගෙන් අසා දැනගන්න. ඒ වගේම ඔබ මුහුණ දෙන ගැටළු හා අනෙකුත් මව් වරුන්ගේ ගැටළු ගැන සාකච්ඡා කර ඔබේ සිතේ ඇති පීඩාකාරී බවෙන් මිදෙන්න.

2. නිදිවරන්න මානසිකව සුදානම් වෙන්න

කිරිකැටියෙකු සමග සුපුරුදු ලෙස නින්දක් ලබන්න ඔබට නොලැබෙන්න පුළුවන්. ඊට මානසිකව හා කායිකවත් සුදානම් වීම වැදගත්. විශේෂයෙන් දහවල් කාලයේ පැටියා නිදාගත් පසු ඉඩක් ඇත්නම් ඔබත් නින්දක් ලබාගන්න.

3. නොවැදගත් කතා වලට සවන් යොමු නොකර සිටින්න

ඔබට එරෙන කිරි ප්‍රමාණය ගැන අන් අය වද වෙනවා නම් කිරි මදි යැයි කියමින් මව් කිරි වෙනුවට පිටි කිරි යෝජනා කරන්නේ නම් ඔබ නැසූ කන්වා සිටින්න. ඔබ ඔබේ දරුවාට හැකි උපරිම කරන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමවත් අවශ්‍ය නොවන්නේ මවක් තම යුතුකම ඉටුකරන බව කවුරුත් දන්නා නිසයි.

4. කුසගින්නේ ඉන්න එපා

ඔබේ ශරීරයේ දෙදෙනෙකුට කෑම, ශක්තිය දිය යුතුයි. ඒ නිසා දෙදෙනෙකුට කනවට වඩා පෝෂණයෙන් වැඩි ආහාර ටික ටික ගන්න. ජලය අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.

5. උදවු ලබා ගන්න

මිතුරු මිතුරියන්ගෙන් හා සැමියාගෙන් උදවු ලබාගන්න. ඔබට අවශ්‍ය ආකාරය ඔවුන්ට පහදා දෙන්න. දින කිහිපයක් ඔබ සමග රැඳෙන්න වැඩිහිටියෙකු හෝ කරුණු දන්නා අයෙකුගෙන් ඉල්ලීමක් කරන්න. ඔබ මේ අලුත් ක්‍රියාවලියට හුරු වන තුරු අන් අයගේ උදවු ගැනීමට මැලි වෙන්න එපා.

6. ඔබේ පහසුව ගැන සිතන්න

මව් කිරි දීමට සුදානම් වන විට ඔබ පැද්දෙන පුටුවක් වැනි පහසු පුටුවක් තෝරාගන්න. මව් කිරි දීම වෙනුවෙන් ඇති කොට්ටයක් සුදානම් කරගන්න. ඒ වගේම මව් කිරි දීම ගැන ඇති සුන්දර වීඩියෝ පට නරඹන්න. ඉන් දැනුමක් ලබාගන්න.

7. ඔබට ආදරය කරන්න

කවුරුත් කියන තරම් මේ ක්‍රියාවලිය පහසු නැහැ. සත්‍ය ඒකයි. නමුත් ඉන් ඔබ පසුබට වෙන්න එපා. අනාගතය හොඳ බව නිතර සිතන්න. මේ ටික කාලයට අවබෝධයෙන් මුහුණ දෙන්න.

අපි හැමදාමත් කියනවා වගේ ඔබේ දරුවට මව් කිරි දෙන්න පුළුවන් ඔබටම විතරයි. ඒ නිසාමයි එය ආශ්චර්යමත් කියන්නේ. අපහසුකම් මැද වුවත් මවකට මේ මොහොත ඉතා වටිනා කාලයක් ලෙස සලකන්නේ ඒ නිසාමයි. ඔබේ අපහසුතාවයන් මදකට හෝ මගහැරීමට theAsianparent Sri Lanka අපි නිතරම උත්සාහ ගන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි