චේතනා ලියනගේ ගෙන් ජීවිතයේ යථාර්ථය දරුවන්ට කියාදෙන්න.

lead image

පුංචි දරුවන්ට අමාරුවෙන් වුණත් ජීවිතයේ යථාර්ථය ඇය හරි අගනා ලෙස කියා දෙමින් ඇගේ ඉස්පාසුවක් නැති කාර්යබහුල ජීවිතය සතුටින් සමබරව යුතුකම් ඉටු කරමින් සිදුකරනවා. ඇගේ කතාව සැබවින්ම අම්මලාට ආදර්ශයක් වන්නේ ඒ නිසයි.

ජීවිතයේ මුලසිටම දරුවන්ට අව්‍යාජත්වය ලෝකයේ යථාර්ථය සරල දේවල් මගින් කියා දීම ඇය හැම විටම තමන්ගේ දියණියන් වෙනුවෙන් කරනවා. මේ ඒ ගැන චේතනා ලියනගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක්.

දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වන චේතනා අද වන විට මහරාජා ව්‍යාපාර සමූහයේ මානව සම්පත් නිපුණතා කළමනාකරණය අධ්‍යක්ෂිකාවක් ලෙස ඉතා වගකීම් සහිත රාජකාරියක් හොබවනවා.

ඒ අතර ඇය දරුවන්ගේ හා ගෙදර වැඩ නොපිරිහෙලා ඉටු කරන මවක් යැයි සැබවින්ම කිව හැකි බොහෝ අදහස් ඇගෙන් අපිට දැනගන්නට ලැබුණා.

“මම නිතරම වැඩ කිහිපයක් එකවිට කරන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් දෙනවානම් අවුරුදු කිහිපයකකට පෙර වෘත්තීය ගෙන යන ගමන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස පුර්ණකාලීන මගේ කළමනාකරණ විශේෂ උපාධියත් ඒත් එක්කම ගෙන ගියා. දැන්, පූර්ණ කාලීන වෘත්තියත් සමග විවාහයත් ගැටළුවක් නැතිව කරගෙන යන්න මට පුළුවන්,”ඇය කියන්නේ සතුටින්.

හුඟක් කාර්ය බහුල නිසා දරුවන් සමග මුළු කාලයම ගෙවන්න බැරි වුණත් කාන්තාවන්ට කළමනාකරණය හා ජීවිතයේ සැලැස්ම ගැන ඇය හොඳ ආදර්ශයක් බව ඇය සමග කතා කරන විට හැඟුණා.

මවක් එලෙස ආදර්ශවත් වීම දරුවන්ට සැබෑම ශක්තියක් වන්නේ ඔවුන් හැමවිටම දෙමාපියන් ආදර්ශයට ගන්නා නිසයි. චේතනා නිතරම සඳහන් කරන්නේ ඇයගේ මේ ශක්තිය හා සියලු දේවල් සතුටින් කරගෙන යාමට ඇය ඉගෙන ගත්තේ ඇගේ අම්මගෙන් කියලයි.

“ඉස්සර මගේ අම්මා පාන්දර නැගිටලා දවසේ සිදුවිය යුතු දේවල් ලැයිස්තුවක් ලියනවා. අපි පාන්දර පාඩම් කරන්න ඇහැරෙන කොට අම්මා ඉන් කිහිපයක් කරලත් ඉවරයි”.

ඇය ඒ වගේම සඳහන් කරන්නේ ඔවුන්ට ආර්ථික අඩුපාඩුකම් නොවුනත් ඔවුන්ගේ දෙමාපියන් ජීවිතයේ යථාර්ථය කියා දුන් නිසා අදත් ඇයට ඕනෑම කෙනෙකු සමග නොබියව, නොපැකිලිව, මිත්‍රශීලීව කටයුතු කරන්න පුළුවන්කම ලැබුණු බවයි.

“මම අද මගේ දරුවන්ටත් කියාදෙන්නේ ඒකයි. මම හැමදාම දරුවන්ට කියන්නේ පොළවේ පයගහලා ජීවත්විය හැකි මිනිසෙකු වෙන්න කියලයි. එදා අව්ව වැස්ස අපිට හේතු ලෙස ගන්න දෙමාපියන් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අද අව්ව වැස්ස යන කිසිවක් මගේ ජීවිතයට බාධකයක් නොවෙයි. එදා වැස්සේ වුණත් බස් එකක නැගලා අපි පන්ති වලට පාසලට ගියා. ඒ පන්නරය අද හැමදේම සමබර කරගන්න මට පුළුවන් වුණ ශක්තිය වෙලා”.

“අද මගේ දුලා දෙන්නට මම නිතරම කියන්නේ ඒකයි. අපිට සමාජයේ විශාල මිනිසුන් කොටසක් හමු වෙනවා. ඔවුන් විවිධයි. නමුත් අපිට ඔවුන් සමග ජීවත් වෙන්න ලොකු ශක්තියක් අවශ්‍යයි. ඔවුන් පාසලේ විවිධ මිතුරු මිතුරියන් ගැන විවිධ අදහස් දැක්වුවත් මම නිතරම ඔවුන්ට කියන්නේ ඒ හැම දෙනා එක්කම එක වගේ ජීවත් වෙන්න කියලයි. නැතිනම් ලෝකය ඉදිරියට යන ඔවුන් මංමුලා වෙන්න ඉඩකඩ තියෙනවා”.

“මුදල් වල අගය මම නිතරම ඔවුන්ට කියා දෙනවා. අපිට හැමදේම ලැබුනත් අප අතර මේ දේවල් නැති හුඟක් දරුවන් ඇති බව ඔවුන්ට අමාරුවෙන් වුණත් තේරුම් කරලා දෙන්න මට පුළුවන් වුණා. දැන් ඔවුන් ඔවුන්ට වැඩිපුර තියෙන නැතිනම් පාවිච්චි නොකරන හැමදේම එකතු කරනවා. එකතු කරලා අසරණ දරුවන්ට හරි ආසාවෙන් බෙදලා දෙනවා”.

පුංචි දරුවන්ට අමාරුවෙන් වුණත් ජීවිතයේ යථාර්ථය ඇය හරි අගනා ලෙස කියා දෙමින් ඇගේ ඉස්පාසුවක් නැති කාර්යබහුල ජීවිතය සතුටින් සමබරව යුතුකම් ඉටු කරමින් සිදුකරනවා.

ඇගේ කතාව සැබවින්ම අම්මලාට ආදර්ශයක් වන්නේ ඒ නිසයි.

 

අපේ දරුවන්ට මුල සිටම ජීවිතයේ යථාර්ථය කියාදෙන්නේ කොහොමද? චේතානාගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් වලින් ඔබට ලැබෙන මේ ඉඟි කිහිපය වැදගත් වේවි.

  • අපිට වැඩිපුර දේවල් තිබුනොත් නැති අයට ඒවා දෙන්න උගන්වන්න. ඊට ආදර්ශයක් වෙන්න ඔබට පුළුවන්.
  • ඉලෙක්ට්‍රොනික උපාංග දරුවන්ගේ පාළුව කාන්සිය වෙනුවෙන් දෙන්න එපා.
  • නිතර එළියට ගිහින් යහළු යෙහෙලියන් සමග සෙල්ලම් කරන්න දරුවන්ට කියා දෙන්න.
  • අධ්‍යාපනය සමග පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට හැකි තරම් යොදවන්න.
  • දරුවන්ට ඉතිරි කිරීම උගන්වමින් පුංචි කැටයකට සල්ලි ඉතිරි කරන්නත් අවසානයේ එය නැති බැරි දරුවන් වෙනුවෙන් යොදවන්න දිරිගන්වන්න.
  • දරුවන්ට හමුවෙන විවිධ දරුවන් සමග පාසලේ එකට එකතුව කටයුතු කරන්න කියාදෙන්න.
  • දරුවන්ට විවිධ පුද්ගලයන් සමග ඇසුරු කිරීමේ වැදගත්කමත් කවදා හරි දිනයක ඔවුන් ලෝකය හා ගැටෙන්නට එය උදවු වෙන බව වටහා දෙන්න.
  • කිසි විටෙකත් තම උත්සාහය කැපවීම නැතිව ලෝකය දිනිය නොහැකි බව කියා දෙන්න.
  • නිතර සැලසුමකින් දවසට මුහුණ දෙන්න ඔවුන්ගේ දවස සැලසුම්කර දෙන්න. ඊට ඔබත් ආදර්ශයක් වෙන්න.

චේතනා ඇගේ සැබෑ ජීවිතයේ තම දරුවන් හා ගෙවන කාලය අපිට විස්තර කළේ ඉතාම නිර්ව්‍යාජ අදහස් වලින්. ඒ නිර්ව්‍යාජ බවට ස්තූති කරමින් අපේ දරුවන් සාර්ථක දරුවන් ලෙස හෙට දවසට රැගෙන යන්න අපේ අම්මලාට theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.