කෙටි කෑමක් ලෙස වියළි මිදි දරුවන්ට දීම ගැන දන්ත වෛද්‍යවරු අනතුරු අඟවයි

lead image

හුඟක් දෙමාපියන් වියළි මිදි හා වියළි පලතුරු විටමින් බහුල ආහාරයක් ලෙස සිතුවත් එය තරමක් ප්‍රශ්නකාරී වෙනවා.

රේසින් කියන්නේ මිදි. මිදි කියන්නේ හොඳ පළතුරක්. ඒ නිසා වියළි මිදි හොඳයි. එය ඇත්තක්. නමුත් එහි හුඟක් සීනි අඩංගු වෙනවා. ඒවා ස්වභාවික සීනි වුනත් හුඟක් කෑමට ගැනීම එතරම් හොඳ නැහැ.

එක දන්ත වෛද්‍යවරයෙක් මේ ගැන අනතුරු අඟවනවා.  ඇය සාරා සබීර්. දන්ත වෛද්‍යවරියක් වගේම මවක්. ඇය Mirror වෙත අදහස් දක්වමින් දත් නරක් වීමට ප්‍රධාන හේතුව මෙවැනි සීනි අධික වියළි පලතුරු ආදිය දරුවන් කෑමට ගැනීම බව පවසනවා. හුඟක් දෙමාපියන් මෙවැනි වියළි පලතුරු විටමින් වලින් පිරිලා ඇතැයි සිතනවා. වියළි මිදි කුඩා පැකට්ටුවක සීනි තේ හැඳි 8 ක් පමණ ඇතැයි ඇය පවසනවා.

බ්‍රිතාන්‍යයේ NHS වාර්තා වලට අනුව අවුරුදු 4-6 දක්වා දරුවන්ට සීනි කියුබ් 5 ක් හා 7-10 දරුවන්ට 6 ක් පමණ ප්‍රමාණවත් බව පැවසෙනවා. වියළි මිදි ඇලෙන සුළු නිසා දත්වල ඇලෙනවා. ඒ නිසා බැක්ටීරියාවන් සීනි සමග ක්‍රියා කර දත් නරක් කරනවා.

නමුත් වියළි මිදි සම්පුර්ණයෙන්ම දරුවන්ගේ කෑම වේලෙන් අයින් කළ යුතු නැහැ. එය දෙන වෙලාව තමයි වැදගත්. මිදි අතුරු කෑමක් ලෙස නොව අතුරුපසක් ලෙස ප්‍රධාන ආහාර වේලෙන් පසුව දෙන්න පුළුවන් කියා සාරා පවසනවා. ප්‍රධාන ආහාර වලදී පැණි රස කෑම කෑමෙන් දත් නරක්වීමේ අවධානමක් එතරම් ඇතිවන්නේ නැහැ.

නමුත් ප්‍රධාන ආහාර වේල් වලට අමතරව නිතර නිතර පැණි රස කෑම නිසා මුව තුළ ඇසිඩ් ගතිය පවතිනවා. ඉන් දත් නරක් කිරීමට පරිසරය නිර්මාණය කරනවා. මන්ද මුව තුළ ඇති බැක්ටීරියා සීනි සමග එක්වීමෙන් ඇසිඩ් ගතියක් ඇතිවෙනවා.මේ නිසා දෙමාපියන් ප්‍රධාන ආහාර වේල් වලදී පමණක් පැණි රස කෑම ලබාදීම වැදගත්.

සාරා යෝජනා කරන්නේ ඒ වෙනුවට චීස් හෝ පාන් ස්ටික්ස් වැනි දේවල් ලබාදීම සුදුසුයි කියලයි. ඉන් මුව තුළ ඇසිඩ් ඇතිවීම පාලනය කරන අතර දත් නරක්වීම පාලනය කරනවා. ලුණු රස හා සැර කෙටි කෑමක් මීට පිළියමක් විය හැකියි.

theAsianparent Sri Lanka අපි ඔබට මේ තොරතුරු ගෙන ආවේ දරුවන්ගේ මුඛ සෞක්‍ය ජීවිත කාලයටම වැදගත් නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent