මූණේ ඉතිරි වුන මව්කිරි නිසා බබාට එල්ල වු මී ප්‍රහාරය

මූණේ ඉතිරි වුන මව්කිරි නිසා බබාට එල්ල වු මී ප්‍රහාරය

ආහාර ලබා දීමෙන් පසු බබා නිසි ‌ලෙස පිරිසිදු ‌නොකලොත් ‌මෙවැනි අනිසි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

ඔබත් ආහාර ලබා දීමෙන් පසු ඔබේ බබාව පිරිසිදු කිරීම කරනවාද? මේ අසන්නේ කට වටේ පිස දැමීම ගැන පමණක් නම් නොවෙයි.

ඔබ මව්කිරි ලබා දෙන විට හෝ ආහාර ලබා දෙන විට කුඩා කෑම කැබලි හෝ කිරි බිදිති රැදෙන්න පුළුවන්. දරුවාගේ සිරුරේ සෑම කොටසක්ම මනාව පිරිසිදු කිරීම වැදගත් වෙනවා.

ඉතින් ‌මේ බබාව පිරිසිදු කිරීම හා එහි වටිනාකම මතක් කරමින් චීනයෙන් තවත් කණගාටුදායක පුවතක් පසුගිය දවසක වාර්තා වුනා.

ඒ මාස 03 ක් වයස වු මේ පුංචි බබාගේ නාසයෙන් කොටසක්  මීයෙකු  සපා කෑමත් සමගයි. දරුවාගේ නාසය සපා කෑ මීයා ඉන් නතර වී නැහැ. ඉන්පසු දරුවාගේ මුලු මුහුණම සපා කා තියෙනවා. මේ පුංචි ළදැරියගේ මුහුණේ තුවාල සීයයකට අධික ප්‍රමාණයක් පවතින බව වාර්තා වෙනවා.

මාස තුනක දරුවෙකු එවන් අවාසනාවන්ත තත්වයකට මුහුණ ‌දෙනවා කියන එකත් ඒ දරාගන්නා ‌වේදනාව ගැනත් ‌‌මොහොතක් සිතන්න.

Kunming TV නම් දේශීය ප්‍රවෘත්ති නාලිකාව මගින් වාර්තා කල පරිදි, දරුවාගේ දෙමව්පියන් ඇයට මව්කිරි දී ලබා දී ඇති නමුත් දරුවාගේ මුව පිස දැමීමට අමතක වී ඇත.

දරුවා කාමරයේ තබා විනාඩි දහයකින් පමණ හඩන්නට පටන් ගෙන තියෙනවා.  

බබාව පිරිසිදු කිරීම

බබාට බරපතල තුවාල

බබාගේ හැඩීම එක්ක දෙමව්පියන් ඇය සිටි කාමරයට කලබලයෙන් ලගා වුවා. ඒ වන විටත්  ඔවුන් ප්‍රමාද වැඩිය.

තම දියණියගේ මුහුණේ වු සපාකෑම් සලකුණු සහ ලේ දැකලා මේ අම්මායි තාත්තායි දෙන්නාම කම්පනයට පත් වුනා.

මේ පුංචි ළදැරියගේ නාසයේ කොටසක් සපා කා තිබු අතර ඒ නිසා  නාසයේ දකුණු පැත්තේ අස්ථිය මතු වී තිබුනා.

ඒ අම්මාටයි තාත්තාටයි ‌කොච්චර බියකරු අත්දැකීමක් ‌වෙන්න ඇතිද ‌නේද?

මේ දෙමව්පියන් වහාම දරුවා ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට ගෙන ගියා.

දරුවාට බොහෝ තුවාල සිදුවී ඇති අතර එම තුල ගණනය කර ගැනීමට පවා නොහැකි තරම් විශාල අගයක් බව එක් වෛද්‍යවරයෙක් පැවසුවා.

තුවාල සුවවීමට බොහෝ කාලයක් ගත වෙනවාලු

තුවාල ඉතා දරුණු බැවින් පහසුකම් හිඟකම නිසා දරුවා විශාල රෝහලකට මාරු කරනු ලැබුවා.

එහිදී ඇයගේ තුවාල වලට මැහුම් යොදනු ලැබු අතර ජලභීතිකා රෝගය සදහා එන්නත් ලබා දුන්නා.

ඉදිරි දින කිහිපය තුළ දරුවා රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටිනවා. 

නමුත් ඇයගේ මුහුණේ ඇති වූ තුවාල සුවවීමට තවමත් බොහෝ කාලයක් ගතවනු ඇති බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පැවසුවා. 

අනාගතයේ දී දරුවාගේ මුහුණේ පෙනුම සකස් කිරීම සඳහා දරුවාට ප්‍රතිනිර්මාණය කිරීමේ සැත්කම් කිරීමට සිදුවනු ඇති බවද වෛද්‍යවරු පැවසුවා.

බබාව පිරිසිදු  කිරීම නොකල විට 

ඔබ බබාට මව්කිරි හෝ ආහාර ලබා දුන් පසු දරුවාගේ මුව ඇතුලු සිරුර පිරිසිදු කිරීම වැදගත් වෙනවා.

එසේ නොවුනහොත් ඉහත චීනයේ දරුවාට වුනා වගේ ඔබේ දරුවා සතුන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙන්න හෝ දරුවා ලෙව කන්න ඉඩ තියෙනවා.

පහත දැක්වෙන්නේ එවැනි නිවසේ සිටින සතුන් කිහිපදෙනෙකි.

  • මීයන්
  • හූනන්
  • කැරපොත්තන්
  • කූඹීන්
  • පූසන් හෝ බල්ලන්

බබාව පිරිසිදු කිරීම කරන අයුරු

මූණේ ඉතිරි වුන මව්කිරි නිසා බබාට එල්ල වු මී ප්‍රහාරය

ආහාර ලබා දීමෙන් පසු ඔබේ දරුවා පිරිසිදු කරන්න.

  • බබාගේ කට වටේ – ආහාර හෝ මව්කිරි ලබා දුන් පසු බබාගේ කට වටේ ආහාර ගෑවෙන එක සාමාන්‍යයි. ඒ නිසා ආහාර ලබා දුන් පසු තෙත රෙදි කඩකින් කටවටේ පිස දමන්න. 
  • දත් – බබාට දත් පැමිණි පසු බබාලාට නිර්මාණය කල බුරුසුවකින් සෑම ආහාර වේලකට පසුම බබාගේ දත් මදින්න. මේ මගින් සතුන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා වෙනවා පමණක් නොවෙයි. බබාගේ දත් නරක් වීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්.
  • දිව – බබාගේ දිව තෙත් රෙදි කඩකින් පිස දැමීමෙන් දිවේ බැදී ඇති කිරි මෙන්ම දිවේ රැදි ඇති ආහාර ඉවත් කරන්න පුළුවන්.
  • බබාගේ කොණ්ඩය – බබා ආහාර ගන්න විට කෑම ගෑවුන අත් වලින් නිතර කොණ්ඩය අල්ලන්න පුළුවන්. ඒ නිසා ආහාර ලබා දුන් පසු බබාගේ කොණ්ඩය සැලකිල්ලෙන් බලා පිරිසිදු කරන්න.
  • බෙල්ල – බබාගේ බෙල්ලේ මස් රැළි අතර ආහාර රැදෙන්න පුළුවන්. ඒ නිසා බබාට ආහාර දුන් පසු ඒ රෑළි පාදා තෙත් රෙදි කඩ කින් පිස පසුව තෙත මාත්තු කරන්න.
  • බබාගේ නියපොතු – බබාගේ නියපොතු කෙටිව තබාගන්න. බබා නිතරම ඇගිලි කටේ දාන නිසා අතේ නියපොතු අතර ආහාර රුදෙන්න පුළුවන්. ආහාර ලබා දුන් පසු නියපොතු තෙත් රෙදි කැබැල්ලකින් පිස දමන්න.
  • අත්ල – බබාගේ අත්ල ගුලි වී තියෙන නිසා ආහාර රැදෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා බබාගේ අත්ල දිග හැර තෙත් රෙදි කඩකින් හොදින් පිරිසිදු කර තෙත මාත්තු කරන්න.

දෙයක් සිදු වී ප්‍රතිකාර ගන්නවාට වඩා වළක්වාගැනීම වැදගත්.

ඔබේ දරුවා සතුන් සපා කෑම වැනි අනවශ්‍ය ව්‍යසන වලින් ආරක්ෂා කරගැනීම ඔබ සතු වගකීමකි.

සෑම ආහාර වේලකට පසුම දරුවා හොදින් පිරිසිදු කරන්න. එය ටිකක් කරදරකාරී අමතර කටයුත්තක් තමයි.

නමුත් මීයන්, බල්ලන් හා පූසන් වැනි සතුන් ලෙව කෑමෙන් හෝ සපා කෑමෙන් ජලභීතිකා රෝගය පවා වැළදීමේ අවදානමක් තියෙනවා.

ඒ වගේම එවැනි සපාකෑම් වලදී දරුවාට එන්නත් ලබා දීමේන් වේදනාවට පත්වෙන්න සිදුවෙනවා. ඒ නිසා මෙය සුළුකොට තකන්න එපා.

ඒ වගේම කැරපොත්තන් ‌ලෙව කෑමෙන් බබාගේ මුහුණ පමණක් ‌නොවෙයි සිරුරේ ඔනීම තැනක් වණ ‌වෙන්න පුළුවන්. නිවසේ නිතර මුණ ගැසෙන පුංචි කූඹීන්ට වුනත් ‌ලොකු හානියක් කරන්න පුළුවන්. ‌ලොව පුරා කුහුඹුවන්ගේ ‌මෙවැනි දෂ්ට කිරීම් නිසා අපහසුතාවයට ලක්වෙන දරුවන් ‌බොහොමයක් සිටිනවා.

මූණේ ඉතිරි වුන මව්කිරි නිසා බබාට එල්ල වු මී ප්‍රහාරය

ඔබේ දරුවා ඔබ ආරක්ෂා කරගන්න.

 ආහාර ලබා දීමෙන් පසු ඔබේ දරුවා පිරිසිදු කරන්න. ඒ වගේම හැකිනම් ‌මෙවැනි සතුන් ඔබේ දරුවා ‌වෙත ලගාවීම වළක්වන්න. ‌මෙවැනි හදිසි අනතුරක් වු විට දරුවා ලගම ඇති පහසුකම් ඇති ‌රෝහල ‌වෙත ‌ගෙන ‌ගොස් නිසි ප්‍රතිකාර ලබා ‌දෙන්න.

ඔබටත් ‌මෙවැනි අත්දැකිම් තියෙනවාද? ඔබ ‌මෙවැනි සිදුවීම් අසා තියෙනවාද? නැතිනම් ඔබට ‌‌‌මේ ගැන අදහසක් දක්වන්න අවශ්‍යයිද?

එසේ නම් පහතින් ඇති කමෙන්ට් තීරුව ඒ සදහා භාවිතා කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි