බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

බබාට නිතර හැදෙන ‌‌හෙම්බිරිස්සාව ගැන ‌මේ කාරණා දැනුවත්ව සිටීමත් වැදගත්.

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව අපි නිතර අත්දකින රෝගයක්. බබා නිතරම පෙර පාසැලෙන් නැතිනම් පාසැලෙන් සෙම්ප්‍රතිශ්‍යාව අරගෙන එනවා නේද?

දරුවන්ගේ අඩු ප්‍රතිශක්තිය එයට හේතුවයි. සෙම්ප්‍රතිශ්‍යාව හැදුනට පස්සේ නහය හිරවෙලා රෑ පුරා පැටියා දුක් විදිද්දි බලා ඉන්නත් දුකයි. 

ඒ වගේම බබාගේ නාසයෙන් දවස පුරාම සොටු ගලද්දි ඒක බබාටම අපහසුවක් නේද?

සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ එයට අදාල වෛරසයක් බබාගේ උගුර හා නාස ආසාදනය කිරීමයි.

නාසය සිරවීම හා සොටු දියර ගැලීම මෙහි ප්‍රධාන ලක්ෂණයන් වෙනවා.

බබාට එයාගේ පළමු අවුරුද්ද තුල සෙම්ප්‍රතිශ්‍යාව 7 පාරක් පමණ වැළදෙන්න ඉඩ කඩ තියෙනවා.

පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන වාර ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්. 

දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව එක්ක ලැබෙන රෝග ලක්ෂණ පහසු කරගැනීමට නාසයේ තදබදය අඩුකිරීම, දියර ලබා දීම මෙන්ම වාතයේ තෙතමනය තබා ගැනීම කරන්න පුළුවන්. 

නියුමෝනියාව වැනි වෙනත් බරපතළ රෝගයක් දක්වා බරපතල විය හැකි බැවින් ළදරු සෙම්ප්‍රතිශ්‍යාව සදහා මුල් අවධියේම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වෙනවා.

runny nose in kids

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව හා බැදි රෝග ලක්ෂණ ගැන කථා කරමු

ළදරුවෙකුගේ ළදරු සෙම්ප්‍රතිශ්‍යා‌ෙවේ පළමු රෝග ලක්ෂණ

  • නාසයේ තදබදය හෝ සොටු දියර ගැලීම
  • සොටු දියර මුලදී පැහැදිලි වි පසුව ඝන වී කහ හෝ කොළ පැහැයට හැරීම

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව හා ඇතිවෙන වෙනත් රෝග ලක්ෂණ 

  • උණ 
  • කිවිසුම් යාම
  • කැස්ස
  • ආහාර රුචිය අඩු වීම
  • අපහසුතාවය
  • නිදාගැනීමේ අපහසුවීම
  • නාසය සිරවීම හේතුවෙන් මව්කිරි බීම හෝ බෝතලයෙන් කිරීබීම අපහසුවීම

බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

 වෛද්‍ය උපදෙස් සදහා යොමුවීම

සෙම්ප්‍රතිශ්‍යාව වැළදුන විට ඔබේ දරුවාගේ නොමේරූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ හා සටන් කරමින් ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්න උත්සහා කරනවා.

එහිදි ඔබේ දරුවාට වෙනත්  කිසිදු සංකූලතාවයක් නොමැති සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදි ඇත්නම් එය දින 10 සිට 14 ක් ඇතුලත සුව වීම සිදුවිය යුතුයි.

ඒ වගේම ඔබේ දරුවාට වයස මාස 3 ට වඩා අඩු නම්, සෙම්ප්‍රතිශ්‍යව වැළදුන විටම වෛද්‍යවරයා හමුවෙන්න.

සෙම්ප්‍රතිශ්‍යාව සමග  විශේෂයෙන් ඔබේ අලුත උපන් දරුවාට උණ තිබේනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව ටිකක් කරදරකාරි ලෙඩක් වුවත් සෑම විටම එහි රෝග ලක්ෂණ සැහැල්ලුට ගන්න එපා.

මේ දිනවල පැතිර යන කොවිඩ් 19 වසංගතයේද රෝග ලක්ෂණ බොහොමයක් මීට සමාන නිසා විශේෂයෙන් මේ දිනවල ඔබේ දරුවාට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ ගැන ඔබ ඉතා සැලකිලිමත් වෙන්න.

ඔබේ දරුවා මාස 3 ක් හෝ ඊට වැඩි නම්, පහත රෝග ලක්ෂණ ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.

  • වෙනදා තරම් වාර ගණනක් මුත්‍රා පිටවන්නේ නැතිනම් 
  • 100.4 F (38 C) ට වඩා වැඩි උණ තිබීම
  • කණ වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීම
  •  ඇස් රතුවීම හෝ කහ හෝ කොළ පැහැති ඇස් ස්‍රාවයක් ඇස් වලින් ගැලීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම
  • දිගින් දිගටම කැස්ස ඇතිවීම
  • ඝන, කොළ පැහැති සොටු දියර දින කිහිපයක් ගැලීම
  • අසාමාන්‍ය හැඩීම වැනිවෙනත් රෝග ලක්ෂණ තිබීම

ඒවගේම පහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම දරුවාව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන්

  • මව්කිරි හෝ වෙනත් දියර පානය ප්‍රතික්ෂේප කරයි නම්
  • වමනය යනතරම් හෝ සමේ වර්ණය වෙනස් වීම දැඩි කැස්ස ඇත්නම්
  • ලේ සහිත සෙම කැස්ස සමග පිටවීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ නම්  හෝ තොල් වටා නිල් පැහැයක් ගනී නම්
  • ඒ වගේම කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇතිනම්

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු

නාසය සහ උගුර ආසාදනය වී (ඉහළ ශ්වසන මාර්ගය ආසාදනය වී) සෙම්ප්‍රතිශයාව ඇතිවීම වෛරස් 100 කට වඩා වැඩි ගණනකින් සිදුවෙන්න පුළුවන්.

රයිනෝ වෛරසය වඩාත් සුලභ වෛරසයයි. වෛරසයකින් ආසාදනය වූ පසු, ඔබේ දරුවා සාමාන්‍යයෙන් එම වෛරසයට ප්‍රතිශක්තීය ගොඩනගා ගන්නවා.

නමුත් සෙම්ප්‍රතිශයාවට හේතු වෙන වෛරස බොහෝ ප්‍රමාණයක් ඇති නිසා ඔබේ දරුවාට වාර්ෂිකව හා ජිවිතය පුරා  බොහෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම සමහර වෛරස් ලබා දෙන ප්‍රතිශක්තිය තාවකාලික නිසා යම් කාලයකට පසු යලිත් එයම ආසාදනය වෙන්න පුළුවන්.

සාමාන්‍ය සෙම්ප්‍රතිශයා වෛරසයක් ඔබේ දරුවාගේ මුඛයට, නාසයට හෝ ඇස්වලට ඇතුල් වෙනවා.

ඔබේ දරුවාට වෛරසයකින් ආසාදනය විය හැකි ක්‍රම

  • වාතයෙන් –  සෙම්ප්‍රතිශයාව වැළදි සිටින අයෙකු කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන විට, වාතයට එක් වී ඒ මගින්
  • ස්පර්ශයෙන් –  සෙම්ප්‍රතිශ්‍යාව ඇති කෙනෙකු ඔබේ දරුවාගේ අත ස්පර්ශ කල පසු දරුවා මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීම මගින් 
  • එම වෛරස් ස්පර්ශ වු මතුපිට වල් –  සමහර වෛරස් පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් පෘෂ්ඨ මත වාසය කරනවා. සෙල්ලම් බඩුවක් එම වෛරසය තැවරී දරුවා  ස්පර්ශ කිරීමෙන් 

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව තුල අවදානම් සාධක

ළදරුවන් තුල සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමේ සාධක කිහිපයක් තිබෙනවා.

  • දරුවන්ගේ නොමේරූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා ඔවුන් පහසුවෙන් රෝගයට ගොදුරු වෙනවා.
  • දරුවන් පෙර පාසැල්, පැසැල් හා දිවා සුරකුම් මධ්‍යාස්ථාන වැනි ස්ථාන වලදි අනෙක් දරුවන් සමග බහුලව මුහු වෙන අතර ඒ මගින් ඔවුන්ට රෝගය වැළදිමේ වැඩි අවදානමක් තියෙනවා.
  • සාමන්‍යයෙන් වර්ෂයේ  සමහර මාස වල සෙම්ප්‍රතිශ්‍යාව පැතිරෙන කාල පරිච්ඡේද තියෙනවා. එහිදි දරුවාට රෝගය වැළදෙන්න පුළුවන්.

ළදරු සෙම්ප්‍රතිශ්‍යාව තුල සංකලතාවයන්

  • කණ ආසාදන- බැක්ටිරියා, වෛරස් ඇතුල් කනට ඇතුලු වෙන්න පුළුවන්
  • කෝඨරක ප්‍රදාහය
  • හතිය – ඔබේ දරුවාට ඇදුම නැතත් හතිය ඇතිවිය හැකිය
  • නියෝමෝනියාව , බ්‍රොන්කයිටිස් වැනි දෙවන රෝග තත්වයක් දක්වා සෙම්ප්‍රතිශ්‍යාව වර්ධනය වෙන්න පුළුවන්.

ආරක්ෂාවීම

දරුවාගේ කැස්ස

නිතර හැදෙන ‌බබාව ‌ලෙඩ කරන කැස්ස හා ‌සෙම්ප්‍රතිශ්‍යාව

  • සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා වීමට සාමාන්‍ය බුද්ධිය භාවිතා කිරීම හා නිතර අත් සේදීම සුදුසු වෙනවා.
  • රෝගි වු අයගෙන් ඔබේ දරුවා ඉවත් කර තබා ගන්න. අලුත උපන් දරුවෙක් නම් විශේෂයෙන් අන් අයට විවෘත කිරිමේදි ප්‍රවේශම් වෙන්න. අලුත උපන් දරුවන් පොදු ප්‍රවාහන සේවා වල මෙන්ම පොදු ස්ථාන වලට ගෙන යන්න එපා.
  • ඔබේ දරුවා ඇල්ලීමට පෙර ඔබේ අත් සබන් දා සෝදන්න. සබන් හා ජලය නොමැති නම් ඇල්කොහොල් අඩංගු ළදරු වයිප්ස් එකකින් අත පිසදමන්න
  • ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු හා සුප්පුව නිතර පිරිසිදු කරන්න
  • නිවසේ සිටින සෑම කෙනෙකුටම කැස්ස කිවිසුම් ඇතිවිට ටිෂු භාවිතයටත්, ඉන් පසු එම අපදුව්‍ය නිසි ලෙස ඉවත් කිරීමටත් කියා දෙන්න. ටිෂු නොමැති නම් කිවිසුම හෝ කැස්ස වැලමිටෙන් ආවරණය කරන්න.

මේ වගේ පුංචි ආරක්ෂක පියවර වළින් ඔබේ දරුවා සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා කරගන්න පුළුවන්.

මුලාශ්‍ර –  www.mayoclinic.org

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි