ලංකාවේ සයිබර් හිංසනය සහ ඊට ගොදුරු වූවන්ට සහනය දෙන "හිතවතී" ව්‍යාපෘතිය ගැන කරුණු 12ක්

ලංකාවේ සයිබර් හිංසනය සහ ඊට ගොදුරු වූවන්ට සහනය දෙන "හිතවතී" ව්‍යාපෘතිය ගැන කරුණු 12ක්

දෛනික ජීවිතයේ සයිබර් අවකාෂයේ වැඩි කාලයක් ගත කරන ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව සයිබර් හිංසනයට ලක්වී ඇත්ද? ඒ බව මෙතැනින් විශ්ලේෂණය කරගන්න. ඔබ වින්දිතයෙක් කියා සිතේ නම් හිතවතී වෙත යොමු වෙන්න.

මෙම ලිපියෙන් ඔබට හඳුන්වාදෙන්නට යන්නේ ලෝකයේ මෙන්ම ලංකාවේද බහුලව ව්‍යාප්ත වන ගැටළුවක් වන සයිබර් හිංසනය (cyberbullying) නිසා පීඩාවන්ට ලක්වූවන් වෙනුවෙන් අසහාය සේවයක් සපයන හිතවතී ව්‍යාපෘතියයි.  

හිතවතී ලංකාවේ අපේම ආයතනයක්. “ඔබේ ලබැඳි මිතුරිය” නම් වූ හිතවතී සේවාව සවිස්තරාත්මකව හඳුන්වන්නට මත්තෙන් සයිබර් හිංසනය කුමක්දැයි අවබෝධ කරගනිමු.

සයිබර් හිංසනය සහ මූලික සයිබර් හිංසන වර්ග 5

පුද්ගලයෙකුට හිංසා හිරිහැර කිරීම සඳහා විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම සයිබර් හිංසනය (cyberbullying) ලෙස හඳුන්වනවා.  සාමාන්‍යයෙන් බිය ගැන්වීම හෝ තර්ජනාත්මක ස්වභාවයේ පණිවිඩ යැවීම ඇතුළුව සයිබර් අඩවියේ සිදුවන හිංසන පුළුල් වශයෙන් පහත ප්‍රභේද වලිට බෙදා දක්වන්නට පුළුවන්.

1. යමෙකුට හිරිහැර කිරීම

  • ඊ මේල්, කෙටි පණිවුඩ, ක්ෂණික පණිවිඩ ආදිය භාවිතා කර යමෙකුට හිරිහැර කිරීම, තර්ජනය කිරීම හෝ අපහසුතාවයට පත් කිරීම. 
  • Facebook ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා කටකතා පැතිරවීම, තර්ජන එල්ල කිරීම හෝ ලැජ්ජාවට පත්කරන අන්දමේ තොරතුරු පළ කිරීම.
  • Warning “අනතුරු ඇඟවීමේ උපාංග” භාවිතා කිරීම. (බොහෝ අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල නුසුදුසු දෙයක් පවසන පරිශීලකයෙකු වාර්තා කිරීමට ක්‍රමයක් ඉදිරිපත් කරයි. ළමයින් මෙම වාර්තා කිරීමේ බොත්තම් (Report user) භාවිතා කරයි. 
  • එක් පෙළට කෙනෙක්ට කෙටි පණීවුඩ යැවීම. 

2. තව කෙනෙකු ලෙස පෙනී සිටීම

  • වින්දිතයාගේ නැතහොත් බලපෑමට ලක්වූ කෙනාගේ නමට සමාන නමක් යටතේ සමාජ මාධ්‍ය ගිණුමක් සදාගෙන එම පුද්ගලයා සේ පෙනී සිටිමින් නින්දා අපහසාත්මක හා වෙනත් ආකාරයේ ප්‍රකාශ පළ කිරීම. 
  • වින්දිතයාගේ මුරපදය සොරකම් කිරීම සහ වින්දිතයා ලෙස පෙනී සිටිමින් වෙනත් පුද්ගලයින් සමඟ කතාබස් කිරීම. හිරිහැර කරන්නා වින්දිතයාගේ මිතුරන් හෝ හිතමිතුරන් අමනාප කරවන හා කෝපය අවුස්සන දේ ප්‍රකාශ කරනු ඇති. 
  • බලපෑමට ලක්වූ කෙනාගේ සමාජ ජාල ගිනුම් වල ඡායාරූප වෙනස් කොට, අසභ්‍ය, ලිංගික, වර්ගවාදී හෝ වෙනත් නුසුදුසු දේවල් ඇතුළත් කිරීම. මෙම ක්‍රියාදාමය සඳහා බලපෑමට ලක්වූ කෙනාගේ ඡායාරූප භාවිතා කිරීම.
  • බලපෑමට ලක්වූ කෙනා සේ පෙනී සිටිමින් ළමා අපචාරකයින්ගේ, වෛරී කණ්ඩායම්වල හෝ අසභ්‍ය සංවාද කුටිවල (sex chat rooms) හැසිරීම.  මෙහිදී හිංසා කරන්නා වින්දිතයාගේ පුද්ගලික තොරතුරු පවා ලබා දිය හැකිය.

3. ඡායාරූප භාවිතා කිරීම

  • රහසිගත ලෙස පුද්ගලික ස්ථාන වල (ඇඳුම් මාරු කරන ස්ථාන, වැසිකිළි, නාන කාමර ආදියේදී) වින්දිතයාගේ ඡායාරූප ගැනීම.
  • රහසිගතව ගත් ඡායාරූප සමාජ ජාල වලට හා පොදු මාධ්‍ය වලට මුදා හරින බවට තර්ජනය කිරීම.
  • රහසිගත ලෙස ගත් ඡායාරූප ඊමේල් හා සමාජ ජාල හරහා බහුල ලෙස සමාජගත කිරීම.
  • එවැනි පුද්ගලික ඡායාරූප අසභ්‍ය හා කාමුක වෙබ් අඩවි වල පල කිරීම.
  • රහසිගතව ගත් ඡායාරූප, නින්දිතයාව ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත්කිරීමට භාවිතා කිරීම.

4. වෙබ් අඩවි, බ්ලොග්, ඡන්ද විමසීම් වැනි තවත් දේ නිර්මාණය කිරීම

  • වින්දිතයාට නින්දාව, ලැජ්ජාව හෝ අපහාසය ඇතිවන ආකාරයේ තොරතුරු සහිත වෙබ් අඩවි නිර්මාණය කිරීම.
  • වෙබ් අඩවි හෝ බ්ලොග් හරහා වින්දිතයා පිළිබඳ කටකතා, බොරු හෝ ඕපාදූප අන්තර්ජාලය හරහා පතුරුවා හැරීම.
  • වින්දිතයාගේ පුද්ගලික තොරතුරු සහ පින්තූර වෙබ් අඩවියක පළ කිරීම මගින් වින්දිතයින් විලෝපිකයන් සම්බන්ධ කර ගැනීමේ අවදානමට ලක් කරයි.
  • වින්දිතයා ගැන අන්තර්ජාල මත විමසුමක් පැවැත්වීම. කැත ලස්සන, ගඳ සුවඳ කවුද, සිහින් සහ මහත කවුද යන්න ආදී ලෙස ඡන්ද විමසීමේදී ප්‍රශ්න විවිධාකාර විය හැකිය.
  • සූදු අඩවි වල, වින්දිතයා ගැන අශෝභන, පහත් හෝ අපහාසාත්මක අදහස් පළ කිරීම.
  • වින්දිතයා පිළිබඳ ඔත්තු බැලීම හෝ ඔහුගේ හෝ ඇයගේ පරිගණකය දුරස්ථව පාලනය කිරීම සඳහා වින්දිතයාට වෛරස්, ඔත්තු මෘදුකාංග යැවීම.

5.  අපහාසාත්මක තොරතුරු නැවත ප්‍රචාරය කිරීම හෝ නිර්නාමික මඩ ගැසීම

  •  වින්දිතයාගේ නම සඳහන් නොකරන  ට්වීට් හෝ ෆේස්බුක් සටහන් පළ කිරීම. මෙහිදී එම සටහන කා ගැනද යන්න එම තොරතුරු අනුව කියවන්නාට පසක් වනවා.
  • ගුරුවරුන්, පරිපාලකයින් සහ දෙමාපියන්ගේ ග්‍රහණයට හසු නොවන පරිදි, සියුම් ලෙස ප්‍රකෝපකාරී හැඟීම් අවුස්සනසුළු ප්‍රකාශ සමාජ ජාල හරහා පතුරුවා හැරීම. 

මූලික ලෙස ඉහත සඳහන් ප්‍රභේද වලට බෙදෙන සයිබර් හිංසනයට ඔබත් ගොදුරු වී ඇති නම් ඔබේ සහයට ඇපකැප වී සිටින හිතවතී වෙත නොපමාව යොමු වන්නට දැන් ඔබට පුළුවන්. හිතවතී ගැන පූර්ණ දැනුවත් කිරීමක් ඔබ වෙත ලබාදීම සඳහා ඔවුනේ පරිපාලකයන් වෙත අප ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කළා. පහත ප්‍රශ්ණෝත්තර අනුව හිතවතී ව්‍යාපෘතිය ගැන මනා දැනුවත් වීමක් ඔබට ලබාගන්නට පුළුවන්.

සයිබර් හිංසනය හා සම්බන්ධ සහය ලබාදෙන හිතවතී ව්‍යාපෘතිය 

1. ​ මොකක්ද මේ හිතවති ව්‍යාපෘතිය කියන්නේ?  එය ආරම්භ කළේ කවදාද?

හිතවතී ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ වුයේ 2014 වසරේ ජනවාරි මාසයේදීය. හිතවතී ව්‍යාපෘතිය – “ඔබේ ලබැඳි මිතුරිය” ලෙස හඳුන්වාදෙමින් 2019 ජනවාරි යාවත්කාලීන කොට යළිත් දියත් කරනු ලැබුවා.   

2. හිතවතී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුව කුමක්ද? මෙය පරිපාලනය කෙරෙන්නේ කෙසේද? 

ව්‍යාපෘතියේ මූලික අරමුණක් වන්නේ තාක්ෂණය, විශේෂයෙන් තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවට පත්වූ හෝ හිංසන හෝ කරදර වලට ගොදුරු වූවන් සඳහා උපකාරක සේවාවන් ක්‍රියාත්මක කිරීමයි.  ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා පරිච්ඡේදය (ISOC-LK) සහ ලක් වසම් ලේඛකාධිකාරීය (LK Domain Registry) යන ආයතනවල සාමාජික සාමාජිකාවන් විසින්. වර්තමානයේ හිතවතී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ලක් වසම් ලේඛකාධිකාරියේ අරමුදලිනි.

3. හිතවතී පිහිට පැතිය හැක්කේ කෙබඳු අයටද?

අපගේ සහය පිරිනමන අය අතරට වැඩිපුර අවධානයක් යොමු කරන්නේ ළමයින්, නව යොවුන් වියේ දරුවන්, තරුණියන් සහ කාන්තාවන් වෙතයි.
 
කෙසේ නමුත් පොදු වශයෙන් අපගේ සහය ගැහැනු, පිරිමි මෙන්ම බාල, තරුණ මහළු කා හටත් කාටත් විවෘත වනවා.

4. ලංකාවේ සයිබර් හිංසනය බහුල ලෙස පවතිනවාද?

ඔව්. සයිබර් හිංසනය සිදුවන ආකාර කිහිපයක් තිබෙනවා.  

  • අනවශ්‍ය සහ අසභ්‍ය  ලිංගික කොමෙන්ටු සහ තර්ජනය කිරීම
  • සයිබර් හිරිහැර කිරීම (cyberbullying); කෙනෙකුට අපහාස කිරීම, හිරිහැර කිරීම, තර්ජනය කිරීමට හෝ අපහසුතාවයට පත් කිරීමට අන්තර්ජාලය හෝ තාක්ෂණය කිරීම මෙහිදී සිඩු කරයි. මෙම පුද්ගලයා සයිබර් හිරිහැරකරුවෙකු ලෙස හැඳින්වේ.
  • වැඩිහිටියන්ද සයිබර් හිරිහැරයට ලක්වීම හා ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වීම අත්විඳීමද අසාමාන්‍ය දෙයක් නොවේ.
  • මෙවැනි සිදුවීම් අන්තර්ජාලයෙන් සහ දුරකථන කෙටි පණිවුඩ හරහාද සිදුවන බව වාර්තා වී ඇත. 

5. ලංකාවේ සයිබර් හිංසනය සම්බන්ධ නීති මොනවාද?

ශ්‍රී ලංකාවේ සයිබර් හිංසනය පාලනය කරන නිශ්චිත නීතියක් අපට සොයාගත නොහැක. කෙසේ වෙතත්, සයිබර් හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පහත සඳහන් විධිවිධාන භාවිතා කළ හැකිය;

  • දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය මගින් කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ විධිවිධාන සපයයි
  • දණ්ඩ නීති සංග්‍රහයේ 372 වන වගන්තිය කප්පම් ගැනීමකි
  • අපරාධ බිය ගැන්වීම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 483 වන වගන්තිය
  • ඊට අමතරව, පරිගණක අපරාධ පනතේ විධිවිධාන අදාළ වන පරිදි භාවිතා කළ හැකිය.

6. සයිබර් හිංසනයට ලක්වූවෙක් ඔබේ සේවය පතා සිටියහොත්, ඔවුනට බලාපොරොත්තු විය හැකි සේවාව කුමක්ද?

  • මුලින්ම සිද්ධිය ගැන වාර්තා කරන ආකාරය පැහැදිළි කරනු ලබයි. එය ක්‍රියාත්මක කිරීමේ අපහසුතා ඇතිනම් හිතවතී ඔබ වෙනුවෙන් මැදිහත්ව අදාල අධිකාරිය සමඟ සම්බන්ධ වී (උදා: ෆේස්බුක් ආයතනය) උසස් වාර්තාකරණයක් ඉදිරිපත් කරයි. 
  • හිංසනය හේතුවෙන් වින්දිතයින් මානසිකව වැටී ඇත්නම්, මනෝ උපදේශන සේවාවක් වෙත යොමු කරයි.
  • නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු පාර්ශව වේ නම්, ඒ බව දැනුවත් කර උපදෙස් දෙයි.
  • වින්දිතයෙකුට මිතුරෙකුට මෙන් සලකයි. ඔවුන් තනි නොවී ඇති බවත් ඔවුන්ගේ ජීවිතය කොතරම් වටිනවාද යන්නත් පහදා දී  අභියෝගයන්ට මුහුණ දීමෙන් ඔවුන් වඩාත් ශක්තිමත් වන බව පහදා දෙන්න. 

7. මේ ගැන තව දුරටත් ඔබේ අදහස් මොනවාද? 

ලෝකයේ, තාක්ෂණයේ දියුණුවත් සමඟ හොඳ නරක ඕනෑම දෙයක්, විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා වේගයෙන් හා පහසුවෙන් ව්‍යාප්ත කරන්නට පුළුවන්. (උදා: යමෙකුට හානිවන පරිදි ඡායාරූප හෝ වීඩියෝ සංස්කරණය කිරීම).

කෙසේ නමුත් අස්වැසිල්ලට කරුණක් වන්නේ කුමන ආකාරයේ අන්තර්ජාල සම්බන්ධ ගැටලුවක් වුවද, ඒ සඳහා වඩාත්ම සුදුසු විසඳුම සොයා ගැනීමට අපි ඔබට උදව් කිරීමට සැශී පැහැදී සීටීමයි.

එබැවින් මුලින්ම, ගැඹුරු හුස්මක් ගෙන සන්සුන් වන්න. ඔබගේ හෝ ඔබේ මිතුරාගේ හෝ ගැටලුව විසඳීමට අපි ඔබට උදව් කරන්නෙමු

අප වෙත ඔබේ ගැටළුව යොමු කිරීමේදී සැළකිය යුතු විශේෂ කරුණු

  • ඔබේ ගැටළුව පැහැදිළිව හා විස්තරාත්මකව අප වෙත යොමු කරන්න
  • ඔබගේ ගැටළුව සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් අප වෙත ඉදිරිපත් කළ හැකිය.

8. සයිබර් හිංසනය ගැන හිතවතී අමතන්නෙ කොහොමද?

ඔබේ ගැටළු වලට ඇහුන්කන් දීමට හා සුහදව විවෘතව කථා කිරීමට කාන්තා නිලධාරීන් විසින් මෙම දුරකථන අංකය හසුරුවනු ඇත.

දුරකථනය: (011) 421-6062
ඉ-මේල්: [email protected]

කාර්යාල වේලාවන්:
සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 9.00 සිට ප.ව. 5.00
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.

 

 

Written by

Niloufer Perera