අලුතෙන් පිය පදවිය ලැබීමත් එක්කම ඔබටත් හැමදේම අලුත්. හුඟක් තාත්තලා හොඳම තාත්තා විය යුතුයි කියලා හිතුවත් අන්තිමේදී අම්මා තරම් මට මොනවද කරන්න පුළුවන් කියලා පසු බහිනවා. ඒත් කිරි දෙන අම්මා ට අලුත් තාත්තට උදවු දෙන්න පුළුවන් බොහෝ අවස්ථා තියෙනවා.
දරුවට කිරි දෙන එක සම්පූර්ණයෙන්ම ඔබට කරන්න බැහැ. නමුත් අම්මට කිරි දෙන කාලය පහසුවෙන් ගෙවන්න පසුබිම ඇයට හදලා දෙන්න ඔබට පුළුවන්. ඉන් කිරි දෙන අම්මා ට ලැබෙන මානසික සුවය හා සතුට පුංචි පැටියටත් හුඟක් වටිනවා.
ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඒ සතුට වෙනුවෙන් ඔබට කළ නොහැකි දෙයක් නැති බව විශ්වාසයි.

1. මව්කිරි දීම පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවකට සහභාගී වෙන්න
වර්තමානයේ එවන් වැඩසටහන් සංවිධානය වෙනවා. ඉතින් ඔබ දෙදෙනාටම එවැනි අවස්ථාවකින් දැනුම ලබාගන්න පුළුවන්. ඔබ දෙදෙනාම එක ලෙස දැනුමෙන් සන්නද්ධ වීම මේ කාර්යය පහසු කරනවා. ඉතින් අම්මට වගේම තාත්තාටත් මව් කිරි දීම ගැන ඉගෙනීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.
2. බබා බඩගින්නට අඬන හැටි අඳුරගන්න
ඔබේ පැටියට පෝෂණය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ඔබේ බිරිඳගෙන්. නමුත් ඒ කියලා ඔබට බබා බඩගින්නට අඬන හැටි අඳුරගන්න එක කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ බඩගින්න හඳුනාගෙන පුංචි වෙලාවකට හරි දරුවාව අම්මා එනතුරු සකසන්න ඔබට උදව් වෙන්න පුළුවන්.

3. බිරිඳගේ අවශ්‍යතා අඳුනගන්න
බබාට කිරි දීමේ සිට සියලු වගකීම් අම්මට පවරා දීමෙන් යහපතක් වන්නේ නැහැ. ඔබ සැමවිටම ඇය පසුපස සිටින ශක්තිය විය යුතුයි. ඇය ප්‍රධාන භූමිකාව ගෙන ගියත් ඔබේ උදව් ඇයව ශක්තිමත් කරනවා. සමහර විට ලොකු උදව්වක් නැතත් ඇය ළඟින් හිඳිමම ඇයට සතුටක්.
ඒ වගේම ඕනෑම මොහොතක ඇයට ඔබේ උදව් ලැබෙන බව ඇයට දැනවීමත් වැදගත්. ඇයට උවමනා අවශ්‍ය දේ අවශ්‍ය ලෙස ඉටුකර දීම මේ මොහොතේ ඔබට කළ හැකි ඉහළම උදව්වයි.
4. බබාගේ කිරි බෝතල් ටික සෝදන්න පුළුවන්
හුඟක් වෙලාවට අම්මලා කිරි දොවලා බෝතල් වල අසුරනවා. මේ වගේ වෙලාවට කිරි දොවන පම්ප් එක හා ඊට අදාල බෝතල් වගේ දේවල් සෝදලා සුදානම් කරලා දෙන්න ඔබට පුළුවන්. එය ඇයට ලොකු අස්වැසිල්ලක්. ඇය හුඟක් සතුටට පත්වෙනවා. ඔබ උත්සාහ කර බලන්න.

5. ගෙදරදොර වැඩට උදව් වෙන්න
දරුවාගේ වැඩත් එක්ක ගෙදර කරන්න තියෙන වැඩ ටික නිසා ඇගේ හිස බර වෙලා. ඔබටත් එහෙමම තමයි. නමුත් ඇයට ඉතා ලොකු වගකීමක් තියෙනවා. දරුවට දෙන මව් කිරි ටික සතුටින් සැනසීමෙන් දෙන්න ගෙදර දොර පුංචි වැඩකට හරි ඔබේ උදව්ව මේ මොහොතේ ඇයට ලොකු අස්වැසිල්ලක්. ඇය ඔබේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් ඔබ දෙන ඇගයීම ඇයට හුඟක් වටීවි.
6. බබාගේ නැපි මාරු කරන්න, ගුඩුස් යවන්න තාත්තටත් පුළුවන්
ඉතින් ඔබ තවත් උදව් දෙන්න උනන්දු වෙනවා නම් නැපි එක මාරු කරන්න, කිරි දීමෙන් පසු විඩාවට පත්වෙන බිරිඳට පුංචි විවේකයක් දෙන්න ගුඩුස් යවන්න ඔබට පුළුවන්. සැබෑ පීතෘත්වය ඔබට දැනෙන්නේ එතකොටයි. ඒ සතුට ඔබට විඳින්න මෙය හොඳ අවස්ථාවක්.
7. කිරි දෙන අම්මා වගේම ළඟින් ඉන්න
ඔබේ උණුසුම දරුවට දැනෙන එකත් අම්මා වගේම වැදගත්. ඉතින් අම්මා වැඩ කරන වෙලාවට තාත්තට පුළුවන් පුංචි පැටියව උණුසුමින් තියන්න. එයාව තුරුලට ගන්න. ඒ නිසා බබාව ඉක්මනින් තේරුම් ගන්න අම්මට වගේම ඔබටත් පුළුවන් වෙනවා.
8. ශුභවාදී, උද්යෝගිමත් පියෙක් වෙන්න
දරුවාට මව් කිරි දීමේ වැදගත්කම වගේම කිරි අඩු යැයි අපි සිතනවා නම් එය සාමාන්‍ය තත්වයක් බව වටහා දෙමින් ඇයව ශුභවාදී ලෙසත් උද්යෝගිමත්වත් තැබීම ඔබට කරන්න පුළුවන්. ඇය කරන මේ උතුම් කාර්ය ලෙහෙසි පහසු එකක් නොවන බව ඇයට කියන්න. ඊට ඔබ ආදරය ගෞරවය නිරතුරුවම ලැබෙන බව හඟවන්න.
අපි හැමදාමත් කියන ආශ්චර්ය මව් කිරි වලට වඩා සම්පතක් ඔබේ පැටියාට මේ ලොව නැති තරම්. ඊට ඔබේ ආදරය රැකවරණය නිරතුරුවම දෙන්න. Asianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය තාත්තලාට මේ පණිවිඩය ගෙන ආවේ ඔබ දරුවන්ට ඇති ආදරය නිසාමයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ