දරුවන් නොලැබීම මානසික වදයක් ලැබීමට තරම් වරදක්ද?

දරුවන් නොලැබීම මානසික වදයක් ලැබීමට තරම් වරදක්ද?

දරුවන් නැති හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හදවතේම කදුළු කතාවක් තියෙනවා.

දරුවන් , දරුවන් ලැබීම ගැන කතා කරන අපි දරුවකු නොමැති මානසික වදය ගැනත් කතා කරන්න අවශ්‍යයි කියලා හිතුවා.

ඒක අපි අද කතා කල යුතුම ඉතා සංවේදි මාතෘකාවක්.

දරුවෙක් කියන්නේ විවාහක යුවලකට ලැබිය හැකි අනගිම දායදයයි.

ඒ නිසාම විවාහයෙන් පසු හෝ කාලයකට පසු සැලසුම් කර දරු පිළිසිද ගැනීමක් බලාපොරොත්තු වෙනවා

එනමුත් හැම කෙනෙක්ම සර්ව සම්පුර්ණ නැහැ.

මාසයක් ගානේ ඔසප් වීමත් එක්ක බොදව යන කිරි හීනය වෙනුවෙන් හුල්ලන අම්මලා තාත්තලා අපේ සමාජයේ ඉන්නවා.

ඇත්තටම බබාලා නොලැබෙන්නේ ඔවුන්ගේ වරදින් නොවේ.

සමහර අය කර්මය අනුව එසේ සිදුවෙන බව පවසනවා.

ඒ වගේම සෞඛ්‍ය ගැටලු තියෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ඉන්නවා.

සමහර අය නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් පසු එම වාසනාව ලබන අතර තවත් පිරිසක් ප්‍රතිකාර වලින් සුවයක් විදිය නොහැකි තත්වයක් අත් විදින්න පුළුවන්. 

දරුවන් නැති හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හදවතේම කදුළු කතාවක් තියෙනවා.

men and miscarriage

දරුවකු නොමැති මානසික වදය ඇති කරන සමාජය

අප ජිවත්වෙන සමාජය බැදීම් ගොඩාකින් වට වෙලා තියෙන්නේ. මිනිස්සු කොහොමත් අනෙක් අයගේ ජිවිත ගැන බොහොම උනන්දුයි.

කතාවටත් කියනවානේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ලොකුයි කියලා. 

ගැහැණු දරුවෙක් පවුලක ඉන්න කොට මෙයා බදින්නේ නැද්ද කියන එක වටේ පිටේ අයට තියෙන ලොකුම ප්‍රශ්නයයි.

ඒ ගැහැණු ළමයා බැන්දා කියමුකෝ ඊලගට බැදපු දාට පහුවදා ඉදන්ම අහන්නේ බබෙක් හදන්නේ නැද්ද කියලා, ඊලගට බබෙක් හැදුවොත් ඒ බබාගේ කටේ කිරි සුවද යන්න කලින් අහනවා තව බබෙක් හදන්න කාලේ හරි නේද කියලා.

ඉතින් මේ විදියට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ අනුන්ගේ දේවල් ගැන පුදුම විදියට උනන්දු පිරිසක් මැද්දේ හරියට දත් තිස්දෙක මැද්දේ ඉන්න දිව වගේ බොහොම අමාරුවෙන් තමයි.

මේ විදියට ප්‍රශ්න කරන කිසිම කෙනෙක් සංවේදි මිනිස්සු නෙමෙයි.

කසාද බැදපු යුවලකට මොනවද තියෙන ගැටලු නොදැන ඇයි බබෙක් හදන්නේ නැත්තේ වගේ ජිවිතයේ සංවේදි කාරණාවන් විමසීම ඒ යුවලට කොතරම් මානසික  පීඩනයක් දෙනවා ඇතිද?

මිනිසුන් තාම බබෙක් නැතිද කියලා විවාහ වෙලා වසර ගණනක් ගිය යුවලකගෙන් ඇසුවොත් දරුවෙක් උවමනාවෙන් ප්‍රමාද කරන යුවලක් නොවේ නම් එය වේදනාත්මක දෙයක් වෙන්න පුළුවන්.

දරුවන් නොමැති වීමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ගැටළු හේතු වුනත් අතීතයේ ඉදන්ම එයට ඇගිල්ල දික් වුනේ කාන්තාවටයි.

හස්බන්ඩ් දාලා ගියා

ඒ නිසා මෙහිදි වඩාත්ම මානසික හිංසනයට ලක්වන්නේ කාන්තාවයි.

එයට හේතුව වන්නේ අන් අය නිරන්තරයෙන් දරුවන් නොමැති ප්‍රශ්නය ඉස්මතු කරන විට සමහර කාන්තාවන් සිය සැමියා ගෙන් , නැන්දම්මා මාමා ගෙන් පවා නිරන්තර මානසික හිංසනයට ලක්විය හැකි බැවිනි.

එලෙස දරුවෙකු වැදු නැති ගැහැනියකට සමාජය පවා කාරුණික නැත.

වඳ ගැහැණිය නැමති ලේබලය අලවන ඔවුන් මුහුණට මුලිච්චි වී ගමනක් යන්නට පවා පුරාණ ගැමියන් කැමති වුයේ නැත.

අතීතය තරම්ම සමාජය පටු ආකල්ප සහිත නොවුවත් තාමත් එම ආකල්ප වල ගිලි සිටින පිරිසක්ද සමාජය තුල සිටින බවද අපි අමතක නොකල යුතුය.

මෙලෙස තමන්ද මානසික පීඩාවකට පත් වී තිබෙන නමුත් තමන්ට පාලනය කල නොහැකි ගැටලුවකට චෝදනා මෙන්ම ඇනුම් පද අසන්න වීමෙන් කාන්තාවන් මානසික ආතතියට පත් විය හැකිය.

මුහුණු පොතේ සමහර සමුහ වල අම්මලා සටහන් කරන දේ තුලින්ම සිය කිරි සිහිනය සඵල කරගන්නට ඔවුන්ට ඇති උවමනාව කොතරම්ද කියලා වටහා ගන්න පුළුවන්.

ඒ වගේම සමහර අම්මලා දරුවෙකු නොමැති නිසා මෙලෙස මානසික පීඩනයට ලක් වීම ගැන ලියු වේදනාත්මක සටහන්ද සමාජයේ තියෙන මේ දුක්ඛිත තත්වයට ඇති තරම් නිදසුන් සපයනවා.

සමාජයක් විදියට අපි කරන්න අවශ්‍ය පළමු දේ තමයි විවාහ යුවලක ගෙන් දරුවන් ගැන ප්‍රශ්න කරන එක නැවැත්වීම,

ඒ වගේම කාන්තාවන් මානසිකව තලා පෙලා පීඩා නොකළ යුතුයි.

එලෙස දරුවන් ලැබීමට දැඩි උවමනාවක් තියෙන නමුත් දරුඵල ප්‍රමාද යුවලක් සිටි නම් ඔවුන්ට අවශ්‍ය මානසික ශක්තිය ලබා දෙන්න.

ඒ වගේම තමයි දරුවෙකු බලාපොරොත්තු වෙන යුවලක් එය ප්‍රමාද නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන අනුගමනය කල යුතුයි.

අද ලෝකය ඉස්සරට වඩා ගොඩාක් දියුණුයි. අද නල දරුවන් පවා ඇති කර තැම්පත් කරන යුගයක, දරුවන් ලබා ගැනීමට උත්සහ කිරීමට ඇති තරම් ක්‍රම තියෙද්දි මානසිකව පීඩාවට පත්වෙමින් නොසිටිය යුතුයි.

දරුවෙකු පිළිසිද ගැනීමට හොද මානසික සෞඛ්‍යයක්ද තිබීමද අවශ්‍ය වෙනවා.

දරුවෙකු පිළිසිද ගැනීම යුවලකට තමන්ට අවශ්‍ය වේලාවට සිදු කරගන්න බැහැ. එයට අවශ්‍ය සියලු අවශ්‍යතා සම්පුර්ණ වී ඇත්නම් දරුවෙකු පිළිසිද ගැනීම සිදුවෙනවා.

සමහර යුවල ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව දරුවන් ලබන අතර සමහර යුවල වලට ජිවිත කාලයම දරු සුරතල් විදින්නට ලැබෙන්නේ නැහැ.

තිත්ත වුනත් ඇත්ත එයයි.

ඒ නිසා දරුවකු නොමැති මානසික වදය එවන් යුවලක් තුල ඇති නොකිරීමට සමාජය වග බලා ගත යුතුයි.

එය මානසික පීඩනයක් නොකර ගෙන වෙනත් දේවල් වලට සිත යොමු කිරීම එවන් යුවලකට සුදුසු වෙනවා.

මීට වසර කිහිපයකට කලින් මා අකුරු කල කවක් සමග මෙම ලිපිය අවසාන කරන්න මම කැමතියි.

දරුවන් නොලැබීම නිසා වේදනාවට හා පීඩාවට පත් යුවලකට පසුව දරුවෙකු ලැබු පසු ඇති වු හැගීම හා පෙර ඔවුන් විදි මානසික වේදනාව  මෙම කවි පෙළ  මගින් කියා සිටියි.

එම සංවේදි හදවත් තේරූම් ගන්න. ඔවුන්ව මානසික පීඩාවට පත් කරන්න එපා.

දරුවන් නොලැබීම මානසික වදයක් ලැබීමට තරම් වරදක්ද?

සදක් නොපැයු අහසට
සදක් නුඹ ගෙන ඇවිදින්
මලක් නොපිපි ගහකට
මලක් නුඹ ගෙන ඇවිදින්

කවක් නොවු ජීවිතයට
අරුත නුඹ ගෙන ඇවිදින්
හෙටක් නොතිබු මා හදට
කල්පයක් නුඹ ගෙන ඇවිදින්

හිතන්නට දෙයක් නැත මට
සදක් අහසට ඇවිදින්
ඒ එලිය වැටී අප ලොවට
බලන් අපි සතුටින්

අමාවකයි කියා අහසට
නිගා කල උන්
ලස්සනයි පුර හද අපට
ආවඩයි අතීතය අමතක ලෙසින්

ගසක මල් නොපිපුනාට
සිනාසෙන විට උස් හඩින්
ලොවට නොපෙනුනාට
ගහ ඉකි බිදියි රහසින්

නුඹේ කදුලේ උණුසුමට
දෙවියන්ද අනුකම්පා කල ලෙසින්
සදවත දීලා නුඹේ දෝතට
ඔවුන් සැනසුනා තුටින්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය