Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම

පණු රෝග ලක්ෂණ, අසාදනය විය හැකි ක්‍රම, නිසි ප්‍රතිකාර ක්‍රම ආදී තොරතුරු රැසකින් අප දැනුවත් කරන Dr. Dinu වෛද්‍යතුමියගේ මේ දැනුම් සම්භාරයෙන් ඔබත් පෝෂණය වන්න.

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි. Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

අප පසුගියදා අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද? ලිපියෙන් පසු අප පොරොන්දු වූ පරිදි අදත් ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වන සෞක්‍ය ගැටළුවක් ගැන සාකච්චා කෙරෙනවා.

Dr. Dinu අද අපව දැනුවත් කරන්නේ දරුවන් අතර සුලභ විය හැකි මුත් මවුවරුනට ගැටළු සහගත විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම ගැන. පොදුවේ ගත් කල ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල දරුවන් මුහුණ දිය හැකි  තත්වයක් වන පණු රෝග තත්වය ගැන ඔබ මැනවින් දැනුවත් වීම ඉතා වැදගත්.

ඉතිං අද දවසේ Dr. Dinu විශේෂාංගය තුළින් දරුවන්ට ඇති විය හැකි පණු රෝග ලක්ෂණ සහ නිසි ප්‍රතිකාර ක්‍රම ගැන වෛද්‍යතුමිය අපව දැනුවත් කරනවා.

1 වෛද්‍යතුමියනි, පණුරෝග ආසාදන කියන්නේ මොනවාද?

පණු රෝග ආසාදන කියන්නේ සාමාන්‍ය පරිසරයේ, පසේ  වෙසෙන පණුවන් ශරීරගත වූ විට ඇතිවෙන තත්වයක්. මෙම රෝග වලින් ආසාදනය වීමට ලොකු-කුඩා වයස් භේදයක් නැහැ.

2 වෛද්‍යතුමියනි, ලංකාවේ පණුරෝග ආසාදන ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

පණු රෝග අසාදන ඇතිවීම මගින් ශරීරයට අවශ්‍ය පෝෂණය අවශෝෂණය කිරීමේ හැකියාව අඩුවීම,  කෑම අරුචිය ඇතිවීම, රක්තහීනතාවය සහ සමහර අවස්ථා වලදී පණුවන් බඩවැල් තුල සිරවීම වැනි භයානක ප්‍රතිපලත්, දීර්ග කාලීනව බුද්ධි වර්ධනයේ ගැටලු ඇති වීමත් සිදුවෙන්න පුළුවන්.

3 ලංකාවේ සුලභ පණු රෝග අසාදන වර්ග මොනවාද?

මේ සඳහා බොහෝවිට හේතුකාරක වන්නේ වට පණුවන්, පටි පණුවන් සහ කොකු පණුවන් කියන පණුවන් වර්ගයි.

4 රෝග ලක්ෂණ තිබුනත් නැතත් පණු බෙහෙත් ගතයුතු බව අපගේ වැඩිහිටියන් පවසනවා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?

ශ්‍රී ලංකාව වැනි සමකාසන්න රටක පසේ නිතරම මම ඉහත කී පණුවන් සිටිනවා. මෙම පණුවන් පහසුවෙන්ම සම හරහා ශරීරගත වන්නට පුළුවන්. එමනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පණු බෙහෙත් දීම සඳහා වෛද්‍යවරුන්ට ජාතික මාර්ගෝපදේශක ප්‍රතිපත්තියක් නිකුත් කරලා තිබෙනවා.

ඒ අනුව ලංකාවේ පණු රෝග සඳහා වැඩි අවදානමක් ඇති ප්‍රදේශ (ඌව, සබරගමුව සහ මද්‍යම පළාත්) සඳහා මාස 6කට වතාවක් පණු ලබාදෙන්නත්, මද්‍යස්ථ අවදානමක් ඇති ප්‍රදේශ(උතුරු, නැගෙනහිර, බස්නාහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්) සඳහා අවුරුද්දට එක වතාවක් පණු බෙහෙත් ලබාදීමටත් අපි දැනට කටයුතු කරනවා.

නමුත් මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ වලත් පණු රෝග පැතිරීමේ හැකියාව වැඩි පාසැල් හෝ කර්මාන්ත ආයතන තිබේ නම් ඒවා අධි අවදානම් ප්‍රදේශ ලෙසට බෙහෙත් ලබා දෙනවා.

5 දරුවන්ට පණු අසාදන ඇති වන්නේ කුමන අවස්ථා වලද?

දරුවන් වැලි වල සහ පස් වල සෙල්ලම් කිරීමේදී කිලිටි අත් කටේ දැමීමෙන්  පණුවන්ගේ බිත්තර ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් ඊට අමතරව සෙරෙප්පු රහිතව ඇවිදීම මගින් පණුවන් සම තුලින් ශරීරයට අතුල්වන්නත් පුළුවන්. විශේෂයෙන්ම ගංවතුර වැනි ආපදා තත්ව වලට පසුව පණු රෝග බහුල වෙන්නේ මේ නිසයි.

6 සුලභ පණු රෝග වර්ග වල පණුරෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් පණු රෝග ඇති කෙනෙකුට ආහාර රුචිය නැති වීම, ඔක්කාරය, පාචනය, උදරාබාධ, විටමින් ඌනතා , කෙට්ටු වීම සහ ගුද මාර්ගය ප්‍රදේශය අවට කැසීම වැනි ලක්ෂණ තිබෙන්න පුළුවන්. දීර්ග කාලීනව, පණු රෝග නිසා නීරක්තිය ඇති කෙනෙකුට හුණු, පස් වැනි දේ කෑමට ප්‍රියතාවයක් දැක්වීමත් රෝග ලක්ෂණයක්.

7 පවුලේ අනෙක් අයට පණු රෝග බෝ විය හැකිද?

ඔව්. එකම වැසිකිලි භාවිතය, එකම ඇඳ රෙදි භාවිතය වැනි දේ මගින් පණු රෝග ඉතා ලෙහෙසියෙන් පවුලේ අනෙක් අයට බෝවෙන්න පුළුවන්.

8 පණු බෙහෙත් ගත යුත්තේ කුමන වයස් වලදීද?

දරුවන්ට පණු බෙහෙත් ලබාදීම බොහෝවිට අපි ආරම්භ කරන්නේ මාස 18 දී. මා ඉහත කී පරිදි අවදානම් ප්‍රදේෂ අනුව තමයි වෛද්‍යවරුන් පණු බෙහෙත් නියම කරන්නේ. ඊට අමතරව ගර්භනී මව්වරුන්ට මුල් මාස තුනෙන් පසුවත් අනිවාර්යයෙන් පණු බෙහෙත් ලබාදීම සිදුකරනවා. කුඩා දරුවන් සහ ගර්භනි මව්වරුන්ට අමතරව ඉතිරි වයස් කාණ්ඩ සියල්ලටම අවශ්‍යතාවය පරිදි පණු බෙහෙත් ලබාගන්න පුළුවන්.

9 පණු බෙහෙත් ලබා ගත හැක්කේ කෙසේද?

පණු බෙහෙත් ලබාගත යුත්තේ වෛද්‍ය අනුමැතිය ඇතිවයි. පණු රෝග ලක්ෂණ දිගින් දිගටම මතුවෙන කෙනෙකු කෙටි කාල පරතරයක් තුල වෛද්‍ය අනුමැතිය නොමැතිව පණු බෙහෙත් ගැනීම සුදුසු වන්නේ නැහැ.

පණු බෙහෙත් පෙති වශයෙන් සහ කුඩා දරුවන් හට පැණි වර්ගයක් ලෙසටත් ඖෂධාගාර මගින් ලබාගන්න පුළුවන්.

10 පණු රෝග වලින් මිදිය හැකිද? ඒ කෙසේද?

පරිසරයේ සැරිසරන විට පහසුවෙන් පනුවන් ශරීරගත විය හැකි නිසා පණු රෝග වලින් නිට්ටාවට සුව වීමේ හැකියාවක් නැහැ.  ආහාර පිළියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර සහ වැසිකිලි යාමෙන් පසු අත් සබන් දමා හොඳින් සේදීම, නිතරම පාවහන් භාවිතයට හුරු වීම, වැසිකිලි නිසි ආකාරව පරිහරණය කිරීම සහ කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීම මගින් පණු රෝග අවම කිරීමට පුළුවන්.

11 පණු බෙහෙත් ගැනීමේදී සැලකිය යුතු කාරණා මොනවද ?

පණු බෙහෙත් බීමේදී පවුලේ  සෑම සාමාජිකයෙක්ම එකම දිනයකදී පණුබෙහෙත් බීමෙනනුත්, පණු බෙහෙත් බීමෙන් අනතුරුව පසුවදා ඇඳ ඇතිරිලි , තුවා  සියල්ලම සෝදා පිරිසිදු කිරීමත්, කොට්ට මෙට්ට අව්වේ දමා වෙලිමත් මගින් නැවත නැවත ආසාදනය වීම වලක්වගන්න පුළුවන්.

12 පණු බෙහෙත් බිව්වට පස්සේ නාන්න හොඳ නැද්ද? කෑමෙන් වැළකී සිටිය යුතු ආහාර තිබෙනවද?

පණු බෙහෙත් බීමෙන් අනතුරුව පණුවන් ශරීරයෙන් බැහැරවෙනවා. මේ අවස්ථාවේදී හොඳින් නාගෙන පිරිසිදුව සිටීම අත්‍යාවශ්‍යයි.

තෙල් සහිත ආහාර සහ වෙනත් සමහර ආහාර වර්ග පණුබෙහෙත් බීමෙන් පසුව පරිහරණය කරන්න එපා කියල ජනමතයක් තිබෙනවා නමුත් එහි විද්‍යාත්මක සත්‍යයතාවයක් නැහැ.

පණු රෝග ආසාදන හා පණු රෝග ප්‍රතිකාර සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.