ඔබේ බිරිඳ පිටස්තර තනිකඩ පිරිමියෙකුගේ ඇසින් දකින්නට කැමතිද?

ඔබේ බිරිඳ පිටස්තර තනිකඩ පිරිමියෙකුගේ ඇසින් දකින්නට කැමතිද?

ඔබ ඇය දකින්නේ රෙදි සෝදන්නියක, දැරුවන් රැකගන්නියක, ඉවුම් පිහුම් කරන්නියක ලෙසයි. මේ පිටස්තරයෙකු ඈ දුටු ආකාරයයි

මම තනිකඩයෙකු වන අතර මගේ විවාහක හිත මිතුරන් සමඟ සිකුරාදා රාත්‍රියේ බියර් ගනිමින් විවේකය ගත කරමින් සිටි කාලය තුළ මම මෙය දුටුවෙමි. ඔබගෙන් සමහරු ගෘහස්ථ දේවතාවියක් ලෙස ඔබේ බිරිඳ දෙස බලන අතර, සමහරු ඔබේ බිරිඳ දෙස බලන්නේ ගෘහස්ථ ව්‍යසනයක් ලෙස ය. නමුත් අනෙක් පිරිමින් ඔබේ බිරිඳ දකින්න කැමති විට එය කෙබඳු වේද යන්න පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතු කාලය මෙයයි.

ඔබේ බිරිඳ ඔබේ භෝජන සංග්‍රහය පිළියෙළ කරන්නිය හෝ, අපවිත්‍ර රෙදි සෝදා වියළන්නිය හෝ, දරුවන් ඇති දැඩි කර රැක බලාගන්නා හෝ, නිවස අස්පස් කර සුද්ද පවිත්‍ර කරන්නිය හෝ පමණක්ද?

ඇය ඊට සීමා කිරීම සුදුසුද? ඇය මේ නිර්වචනයට සීමා වූ තැනත්තියක්ද?

ගෘහ ජීවිතය ඇයගේ ජීවිතයෙන් බහුල කොටසක් වන්නට පිළිවෙන.

නමුත් එය ඇයගේ සම්පූර්ණ නිර්වචනය නොවේ. ඇය ඉන් මහත් සේ ඔබ්බට ගිය කෙනෙකි.

ඔබේ බිරිඳ කියවිල්ල ගැන ඔබ ආඩපාලි කියනවා මා අසා ඇත. ඇය ක්ෂණයකින් සදා දුන් රස කෑමක් ගැන ඔබ පුරසාරම් දොඩනවා මා බොහෝ විට අසා ඇත.

ඇය ඔබේ දරුවන්ට කියවන ආකාරය සහ අරපිරිමැස්මෙන් ගෙදරට අවශ්‍ය බඩු භාහිරාදිය ගෙන ඒම ගැන මා අසා ඇත.

දරුවන්ගේ ඇවටිලි නිසා අනවශ්‍ය බඩු භාහිර නොගෙන ඇයට සුපිරි වෙළඳසැලෙන් පිටතට යා නොහැකි ආකාරය ගැන ඔබ කියනවා මා අසා ඇත. ඇතැම් විට ඔබ ඇයව දකින්නේ එලෙස විය හැකිය.

ඔබට පෙනෙන ඇගේ ප්‍රතිරූපය එය පමණක්ම විය හැකිය.  ඒ ඔබ ඈ ගැන දකින සියළුම දේ විය හැකිය.

නමුත් අනෙක් පිරිමින් ඔබේ බිරිඳ දෙස බැලූ විට ඔවුන් දකින්නේ ඊට වඩා හාත්පසින් වෙනස් කාන්තාවකි.

ඈ දෙස බලන ඔවුන් ඇතැම් විට පුදුම වනවා. විශ්වාසවන්ත ලෙසා හා ස්වාධීනව මහිමාන්විව රැස්වීම් ශාලාවට ඈ. පිවිසෙන ආකාරය හා අවශ්‍ය දේ ලහි ලහියේ වෘත්තීමය ලෙස සූදානම් කරන ආකාරය ඔවුන් මවිත කරනවා.

ඔවුන් ඇය දෙස බලා කල්පනා කරන්නේ ඇගේ දරුවාට රෑ පුරා මව්කිරි දෙමින් රැය පහන් කළ පසුත් ඇය මෙතරම් ශක්තියක් ලබා ගන්නේ කෙසේද යන්නයි.

වෙනත් පිරිමින් ඔබේ බිරිඳ දෙස බැලූ විට, ඔවුන් කල්පනා කරන්නේ එතරම් සුරූපී ලෙස තේජාන්විත් ඇඳුමකින් සැරසී.කොට සායක් හා අලංකාර අඩි උස සපත්තු පැළඳ ඇගේ ජවසම්පන්න හා දැකුම්කළු බව ඈ රැකගන්නේ කෙසේ ද යන්නයි.

පැහැදිලිවම දරුවන් ලැබුණු පමණින් ඇගේ අලංකාර සහ සරාගී පෙනුමො සකිසි සේත්ම පහව ගොස් නැත.

ඔබේ බිරිඳ දකින්න

ඔබගේ බිරිඳ තවමත් ඉතා ආකර්ෂණීය බව මට විශ්වාසයි. ඔබ තවමත් සිතන්නේ ඔබේ බිරිඳ මේ පෘථිවියේ ලස්සනම කාන්තාව බවද මට විශ්වාසයි. මතුපිටට මදක් ඔබ්බට ගොස් ඔබේ බිරිඳ දකින්න ඔබ සූදානම්ද?

ඔබටත් ඈ ගැන මෙසේ දැනෙනවා කියා ම විශ්වාස කරනවා.

ඔබේ බිරිඳ දකින්න

ඔබේ බිරිඳ වෙනුවෙන් ඔබට මුලින්ම ආදර හැඟීමක් ඇති කළ දේවල් සියල්ලම ඔබට මතක ඇති බව මම විශ්වාස කරමි.

අනෙක් පිරිමින් ඔබේ බිරිඳ දෙස බැලූ විට, ඇය පෙර දින රාත්‍රියේ නැරඹූ  ඇගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන ඈ ඇස් නටවමින්, උද්යෝගයෙන් කතා කරන විට ඇගේ දෑස් ආලෝකමත් වන ආකාරය ඔවුන් දකී.

ඇයගේ විහිළු සහ මායාකාරිත්වය ඔවුන් අගය කරති. ඇය වැඩිහිටි කාන්තාවක් බවට පත්වී වසර ගණනාවකට පසුවත්, ඇය තුළ තවමත් රැඳී ඇති එම සුන්දර හා ආකර්ශනීය බව ඔවුන් දකී.

නමුත් ඔබ කවදා හෝ ඇයට ආකර්ෂණය වූ කවර හෝ කොටසක් හෝ ගුණාංගයක් හෝ ඔබට මතකදැයි නොදනිමු.

ඔබට ඔබේ බිරිඳ දකින්න නැතිව බැරි කාලයක් තිබුණු හැටි ඔබට මතකද?

ඔබ මෑතකදී ඇය හරි හැටි දුටුවාද කියාවත් මට විශ්වාස නැත. මට විශ්වාස නෑ ඔබ ඇයව තව දුරටත් දකිනු ඇතැයි කියා වත්.

මම වරක් මගේ ගැහැනු මිතුරියකට පැවසුවේ, ඇයගේ පියවර වල රිද්මයෙන් හා ඇගේ විලවුන් සුවඳින්ම මා ඇය ළඟ එන බව දන්නා බව දැනුනු බවයි.

මා ඇගේ නව ඇඳුම  අගය කල අතර ඇය ඇගේ කොණ්ඩය කැපූ බව දුටුවෙමි. ඇය සිනාසුණාය.

ඇගේ සිනහවට ඇගේ ඇස්වල ඇති වූ සංවේදී බව ඇයට වසං කළ නොහැකි වූ විට ඇය පැවසූයේ, මගේ සැමියාත් මගේ ඇඳුම හා කොණ්ඩ විලාසිතාව දකිනු ඇතැයි මම සිතමි! කියායි.

මම විවාහ වී නැති අතර අදහස් දැක්වීමට මට සුදුසු කමක් නොතිබිය හැකි නමුත්, කිසිදා හෝ තම බිරිඳ ගැන එවැනි දෙයක්වත් නොදැනී සිටිය හැකිදැයි මට මහත් බියක් ඇති කරයි.

සමහර විට මට යමෙකු කෙරෙහි කැපවීමක් ඇතිකරගන්නට භීතිකාවක් ඇතුවා වන්නට පිළිවෙන.

නැතිනම් සමහර විට මට මා හා ජීවිත කාලය බෙදාගැනීමට කවුරුන් හෝ සොයාගන්නට නොහැකිව තිබෙනවා විය හැකිය.

නමුත් මට බිරිඳක් සිටී නම්, මම ඇයගේ සෑම දෙයක්ම සැමදාමත් දකින්නට අඪිටන් කරමි.

මගේ බිරිඳ රූපවාහිණිය දෙස බලා සිටින විට ඇගේ කකුල් නවා ඇගේ මුව දණහිස් මත තබාගෙන සිටින ආකාරය මම දකිමි.

ඇය කැමතිම ආදර නවකතාව කියවන විට ඇගේ ඇසේ කෙළවරේ කුඩා කඳුළක් ඇති වන බව මම දකිමි.

හෙටක් නැතිවා සේ ඇය කෑගසා සිනාසෙන ආකාරය මම දකින්නෙමි. ඇගේ හිස මගේ ලය මත තැන්පත් කර ඇතිවන තුරු හඬනවා මම දකින්නෙමි.

ඔසප් දින වල ඇගේ බඩ වේදනා දෙන විට ඇයට උණුසුම් තේ කෝප්පයක් අවශ්‍ය වන බව මා දනිමි. තේ කෝප්පය හදා ඇගේ ආත්මය ඔසවා තබන්නෙමි.

when other men look at your wife

ඇයගේ බඩ රිදෙන විට මම ඇයට සුවයක් ලබා දීමට මම හැකි සෑම දෙයක්ම කරමි.

ඇය කැඩපත ඉදිරිපිට සිටගෙන ඇගේ  ප්‍රතිරුව දෙස සිනාසෙන අතර තමා ගැන හොඳ හැඟීමක් ඇති වන විට මම දකිමි. ඇයගේ පෙනුම කෙතරම් අපූරුද යන්නා මම ඇයට මතක් කරමි.

ඇයගේ ප්‍රතිබිම්භය දෙස බලා තරබාරු හා අනාරක්ෂිත බවක් දැනෙන දින ද මම දකිමි. මම ඇයව පිටුපසින් බදාගෙන ඇය මගේ රැජින බව සහතික කරමි.

මගේ බිරිඳගේ සෑම අංශයක්ම මම දකිමි, මන්ද මා ඇයට ණයගැතියි. මා විශ්වාස කරන්නේ ඈ සෑම දිනකම ලස්සන හා අගය කිරීමට සුදුසු බවයි.

දුකේදී හා සැපේදී ඔබ සමීපයේ සිට ජීවිත ගමන ගෙවා ආ ඒ දිරිය කත ඔබේම  බිරිඳ වීම ඔබට ලැබූ ආශීර්වාදයක් බව මම මෙහි සිටින සියලුම වාසනාවන්ත පුරුෂයින්ට මතක් කිරීමට කැමැත්තෙමි.

මෙය ඔබට දෛනික, සාමාන්‍ය දෙයක් වන අතර ඔබ ඇයව ඔබේ ගෘහස්ථ අධ්‍යක්ෂකවරිය ලෙස සලකනු ඇතැයි අපේක්ෂා කළද,.පවුල් බැඳීම්වලින් බැහැරව ඇය දෙස තනි මනුෂ්‍ය පුද්ගලයෙකු ලෙස බැලීමට අමතක කරන්නට එපා.

අනෙක් පිරිමින් ඔබේ බිරිඳ දෙස බලන විට, ඔවුන් ඔබ ගැන සිතන්නේ ඇය වෙනුවෙන් පෙනී සිටීමට වරම්ලත් වාසනාවන්ත මිනිසෙකු ලෙසය.

මේ සියල්ලේ වඩාත්ම සුන්දර කොටස නම්, ලෝකය ඇයට පිරිනැමිය හැකි සියලු ප්‍රශංසා පුදද්දී, ඒ කිසිවක් ඇයව වලංගු නොවන්නේ ඒ වදන් ඔබෙන් මුවින් ඇසීමට වඩා සතුටක් ඇයට නොමැති නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය: Nasreen Majid

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි