ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: HPV වෛරසය, ගැබ්ගෙල පිළිකාව සහ ඊට එරෙහි එන්නත

ගැබ්ගෙල පිළිකාව ගැනත් එයට හේතුකාරක වන HPV වෛරසය ගැනත්, දැන් මේ සම්බන්ධයෙන් ලකාවේ තිබෙන එන්නත ගැනත් ඔබ දත යුතු සියල්ල මෙතැනින්.

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා. 

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

අප පසුගියදා ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්  ලිපියෙන් දැනුම් දුන් පරිදි Dr. Dinu අද අපව දැනුවත් කරන්නේ වැඩිපුරම කාන්තාවන්ට බලපාන රෝගයක් ගැන. ඒ තමා ගැබ්ගෙල පිළිකාව. පොදුවේ ගත් කල ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම කාන්තාවන් බහුතරයක් මේ පිළිකාවට ගොදුරු වනවා. නමුත් මෙයින් මිදීමට නව බලපොරිත්තුවක් පහන් කරමින් මේ මස මුල් සතියේ ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නතක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. මෙය සතුටට කරුණක්.  

ඉතිං අද දවසේ Dr. Dinu විශේෂාංගය තුළින් ගැබ්ගෙල පිළිකාව ගැනත් ඊට එරෙහි එන්නත ගැනත් අපව දැනුවත් කරනවා. 

1. වෛද්‍යතුමියනි, කුමක්ද මේ ගැබ්ගෙල පිළිකාව?

ගැබ්ගෙල පිළිකාව කියන්නේ කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ (ගර්භාශයේ ගෙල කොටසේ) ඇතිවන, වලක්වා ගත හැකි බෝ නොවන රෝගී තත්ත්වයක්. මෙම පිළිකාව වැඩිපුරම බලපාන්නේ අවුරුදු 30-55 ත් අතර කාන්තාවන්ටයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් 2වෙනි තැන හිමිවන්නේ ගැබ් ගෙලේ පිළිකාවටයි.

2. ගැබ්ගෙල පිළිකාව වැළඳිය හැක්කේ කෙසේද?

ගැබ්ගෙල පිළිකා වලට බොහෝවිට (99.7%) හේතුකාරක වන්නේ Human Papilloma Virus කියන එකිනෙකට සමානකම් දක්වන වයිරස් වර්ග 100කින් පමණ සැදුම්ලත් වයිරස් කාණ්ඩයක්. මෙම කාණ්ඩයේ ඇති වයිරස් ඒවාටම අවේනික වූ අංකයකින් හඳුන්වන අතර වඩාත්ම බහුල පිළිකාකාරක ප්‍රබේධ ලෙසට 16 සහ 18 හඳුනාගෙන තිබෙනවා. HPV අසාදනය වීමෙන් පසුව වඩාත් දරුණු පිළිකා තත්වයක් බවට පත්වීමට අවුරුදු 10ක් පමණ ගතවෙනවා.

3. මෙම HPV කියන රෝගයෙන් ආසාදනය වන්නේ කෙසේද?

මෙම වයිරසය සාමාන්‍ය පුද්ගලයන් අතර ලිංගික සබඳතාවයන් වලදී පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හුවමාරු වෙන්න පුළුවන්. මෙම වයිරසය ශරීරයට ඇතුල් වූ විගස රෝග කාරක නොවන අතර බාහිර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. හියුමන් පැපිලෝමා වෛරසයේ යම් ප්‍රභේද ලිංගික මාර්ගයට ඇතුල්වී බොහෝ කලකට පසු තමයි පිළිකාකාරක වන්නේ.

4. තමන් HPV වයිරස් ආසාදනයකට ලක් වී ඇත්දැයි පරික්ෂා කරන්නේ කෙසේද?

HPV ආසාදනයට ලක්වී එයින් පිළිකාවක් ඇතිවීමට අවධානමක් තිබේද යන්න ගැබ් ගෙලේ සිදුකරන "පැප් පරීක්ෂණය" මගින් දැනගන්න පුළුවන්. ලංකාවේ සායනවල (Well Woman Clinic)  අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට නොමිලේ මෙම පරීක්ෂණය කරගන්න පුළුවන්.

ඊට අමතරව HPV වෛරසය ශරීරය තුල ඇත්දැයි පරීක්ෂා කිරීමට HPV-DNA  නම් පරීක්ෂණය සිදුකරන්නත් පුළුවන්. නමුත් මෙම පරීක්ෂණය අපේ රටේ බහුලව භාවිත වෙන්නේ නැහැ.

5. HPV වයිරසයෙන් වැළඳිය හැකි වෙනත් රෝග තිබේද?

ගැබ්ගෙල පිළිකා වලට අමතරව ප්‍රජනන පද්ධතිය ආශ්‍රීත වෙනත් පිළිකා සහ ලිංගික ඉන්නන් HPV මගින් වැළඳේනන පුළුවන්.

6. HPV වයිරසට එරෙහි එන්නතක් තිබෙනවාද?

මෙම වයිරසයට එරෙහිව දැනට එන්නත් 3ක් බහුලව භාවිතා වෙනවා. ඒ අතරින් ලංකාවේ භාවිතයට යොදාගනු ලබන්නේ චතුර්සoයුජ එන්නතයි (Quadrivalent). මෙම එන්නත් මගින් HPV 6,11,16,18 යන ප්‍රභේධ වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

7. මෙම එන්නත කෙතරම් දුරට සාර්ථකද?

මෙම එන්නත ලබාදීමට ඇරඹු වෙනත් රටවල්වල ගැබ්ගෙල පිළිකාව සහ HPV  ආශ්‍රිත රෝග සීග්‍රයෙන් අඩුවී තිබෙනවා. ඒ නිසා මෙම එන්නත ඉතාම සාර්ථක එන්නතක් බව සොයාගෙන තිබෙනවා.

8. මෙම එන්නත ලබා ගත යුත්තේ කුමන වයස් කාණ්ඩ වල දරුවන්ද/කාන්තාවන්ද?

ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය මගින් මෙම එන්නත දැන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ කාලසටහනට ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව 6 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන්ට මෙම එන්නත මාත්‍රා 2ක් වශයෙන් (පළමු මාත්‍රාව විද මාස 6කින් දෙවැනි මාත්‍රාව) නොමිලේ ලබාදීම සිදුකරනවා.

ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවදානම ඇති වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන්ටද මෙම එන්නත පෞද්ගලිකව ලබාගත හැකි නමුත් එන්නතේ උපරිම සාර්ථකත්වය ලැබෙන්නේ ලිංගික සම්බන්ධවීම් වලට කලින් ලබාගැනීමෙදීයි. ප්‍රමාද වී එන්නත ලබාගත්තත් HPV මගින් ඇතිකරන රෝග වලින් යම්දුරකට ආරක්ෂාවක් ලබාගත් හැකි බව පිළිගැනෙනවා.

9. දියණියක් මල්වර වීමට පෙර මෙම එන්නත ලබා ගත නොහැකිද?

මල්වර වීමත් එන්නත ලබාගැනීමත් අතර සම්බන්ධයක් නැහැ. අවුරුදු 9 ඉහල දරුවන්ට මෙම එන්නත ලබාදෙන්න පුළුවන්.

10. පිරිමි දරුවන්ටත් මෙම එන්නත ලබා ගත හැකිද?

ඔව් පුළුවන්. නමුත් පිරිමි දරුවන්ට මෙම එන්නත ගැහැණු දරුවන්ට මෙන් අත්‍යාවශ්‍ය නැහැ.  ගැහැණු දරුවන් සමුහයකට මෙම එන්නත ලබාදීම මගින් පිරිමි දරුවනුත් අනාගතයේ ආරක්ෂා වන බවට පිළිගෙන තිබෙන නිසා ලංකාවේ  ප්‍රතිශක්තිකරණ කාලසටහනේ  HPV එන්නත ලබාදීමට නියමිත කරලා තියෙන්නේ ගැහැණු දරුවන්ට පමණයි.

11. මෙම එන්නත මගින් ඇති විය හැකි අතුරු විපාක මොනවාද?

විශ්ෂයෙන් කිව යුතු භයානක අතුරු විපාක මෙම එන්නතේ නැහැ.  සාමාන්‍යයෙන්  එන්නතකට පසු ඇතිවෙන වේදනාවන්, උණ, හිසරදය, ඇඟපතේ  අමාරුව වැනි සුළු දේවල් තමයි එන්නතෙන් පස්සේ සමහර දරුවන්ට ඇතිවෙන්නේ.

12. මෙම එන්නත ලබා ගැනීමට කල යුත්තේ කුමක්ද?

පාසැල් වෛද්‍ය සායනයෙන් 6 ශේණියේ ඉගෙනුම ලබන වයස 10-11 කාණ්ඩයේ ගැහැණු දරුවන්ට මෙම එන්නත මාත්‍රා 2ක් වශයෙන් ලබාදීමට දැනටත් කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. පළමු එන්නත ලබාගැනීමෙන් මාස 6කට පසු 2 වැනි එන්නත ලබාගැනීමෙන් දීර්ග කාලීන ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒ හැරුණු විට පාසලේ සිදුකෙරන එන්නත්කරණය මගහැරුණු දරුවන්ට MOH සායන මගින් ද මෙම එන්නත ලබාගන්න පුළුවන්.

ගැබ්ගෙල පිළිකාව සහ HPV වයිරසය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.