දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

අපි හැම දෙනෙක්ම දරුවාගේ බුද්ධි වර්ධනය ගැන හිතනවා. අපේ ප්‍රාර්තනය තමයි දරුවා හොඳින් ඉගෙන ගෙන, විභාග ටික හොඳින් සමත් වෙලා ඉහලට යාම.

අපි හැම දෙනෙක්ම දරුවාගේ බුද්ධි වර්ධනය ගැන හිතනවා. අපේ ප්‍රාර්තනය තමයි දරුවා හොඳින් ඉගෙන ගෙන, විභාග ටික හොඳින් සමත් වෙලා ඉහලට යාම.

වර්තමාන සමාජයේ උගත්කමට තියන තැන

ව‍ර්තමාන සමාජයේදී උගත්කම කියන දේ හරිම වැදගත් වෙලා තියනවා. ඉගෙනුම අත්‍යාවශ්‍ය කාරණයක්.

දරුවා අනාගතයේදී නියළෙන රැකියාව හෝ ව්‍යාපාරය කුමක් උනත්, ඉතා හොඳින් ඉගෙනුමක් ලබා තියෙනවා නම් ඒ දරුවාගේ ව්‍යාපාරය හෝ රැකියාව වගේම සමාජ තත්වය වඩා ඉහලට යනවා.

දරුවෙක්ට නිවැරදි අධ්‍යාපනයක් ලබා දීම දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා ඉවහල් වෙනවා.

ඒ නිසා දරුවෙක්ට නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙද්දි දරුවාගේ ඉගෙනුම් කටයුතු, බුද්ධිමත් බව, විශේෂයෙන්ම බුද්ධි මට්ටම ඉතා ඉහල අගයක නොපැවතුනොත්, දරුවාට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඔස්සේ යාමේ අපහසුතාවයක් ඇති වෙන්නට පුලුවන්.

ඒ නිසා අපි දරුවාගේ බුද්ධි වර්ධනය පිළිබඳව සැලකිලිමත් වීමත්, ඒකට ඕනි කරන යම් යම් පියවරවල් ගැනීමත්, ඉතාම අත්‍යාවශ්‍ය කාරණාවක්.

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

බුද්ධිය යනු කුමක්ද?

බුද්ධිය කියන්නේ මනස සහ ස්නායූ පද්ධතිය එකතුවෙන් සිද්ද වෙන කාරණයක්. ඒ නිසා දරුවාගේ බුද්ධි වර්ධනය කෙරෙහි බලපාන සාධක රාශියක් තියෙනවා. එම සාධකයන් නිසි පරිදි ඉටු කර දීම අත්‍යාවශ්‍ය වෙනවා.

1. දරුවාගේ බුද්ධි වර්ධයන කෙරෙහි බලපාන ජානමය සාධක

සමහර අය නම් කියනවා ජානමය සාධක වල ලොකු බලපෑමක් නෑ කියලා. මතක තියා ගන්න ඕනි දේ තමයි මවගේහෝ පියාගේ රැකියාව, උගත් කම ගැන නෙමෙයි මේ කතා කරන්නේ.

සමහරවිට ඉතා ඉහලට උගත් කමක්,විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් නොමැති අම්මලා තාත්තාලාගේ දරුවෝ ඉතා හොඳින් ඉගන ගන්නවා. මෙහි තියන ලක්ෂණය තමයි ඒඅයගේ උගත් කම නෙමෙයි බුද්ධි මට්ටම.

රෝග පරිසරයක් නැති මව් පියවරුන්

බොහෝ වෙලාවට ඒ මවගේ පියාගේ රෝග පරිසරයක් නැත්නම්, බොහොම හොඳ මානසික තත්වයකින් ඉන්නවා නම් ජාන සාධක වල තත්වය හොඳ බවයි පෙනී යන්නේ.

ඒ නිසා දරුවෙක්ට උපතින් බලපාන බුද්ධිමය සාධකයක් විදියට අපිට ජානමය සාධක ගන්න පුලුවන්.

අනාගතයේ දරුවන් ලැබීමට බලාපොරොත්තුවෙන්ද?

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

මෙය වඩා වැදගත් වෙන්නේ අනාගතයේ දරුවන් ලැබීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට. ඒ අය අනිවාර්‍යයෙන්ම මතක තියා ගන්න ඕනි ඔබේ දරුවා හොඳ බුද්ධි මට්ටමකින් යුතු උගත් දරුවෙක් වීමට නම් හොඳ ජාන පරිසරයක් අපි ඇති කරන්න ඕනි.

ඒ සඳහා ඔබ;

  • බොහොම බුද්ධිමත්ව,
  • සැහැල්ලු මනසකින් ක්‍රියා කිරීම ඉතා වැදගත්.
  • වැරදි වැඩ, අපචාරයන් කරන්නේ නැතුව,
  • මත් ද්‍රව්‍ය භාවිතයෙන් තොරව,
  • ආගම දහමට ලැදිව,
  • ඔබ දන්නා තරමින් පොත් පත් හොඳින් කියවලා

ඔබේ බුද්ධිය යම් තරමකින් වර්ධනය කර ගන්න ඔබ උත්සහ කරනවා නම් ඔබගේ ජාන සාධක වල තත්වය හොඳ වෙන්නට පටන් ගන්නවා.එය දරුවන්ටත් හුරුවක් ලෙස ලැබෙනවා.

දැනටමත් දරුවෝ ඉන්නවා නම්..

දැනටමත් දරුවෝ ලැබිලා ඉන්නවා නම්, එන ජානය ඇවිල්ලා ඉවරයි. හැබැයි මෙතනින් එහාට අපිට පුලුවන් කම තියෙනවා දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා ඉතුරු සාධක ටික හදා ගන්න.

ඉතුරු ටිකෙන් දරුවාගේ බුද්ධි වර්ධනය කරමු..

දරුවෙක්ට ජානමය වශයෙන් ලොකූ බුද්ධිමත් බවකට ඕනි කරන ජාන ලැබී නොතිබුනත්, ඉතුරු සාධක ටික ඉතා හොඳ සාධනීය මට්ටමකින් වර්ධනය කලොත් දරුවාට හොඳ බුද්ධියක් හිමි කර දීමේ හැකියාව අපිට තියනවා. ඒ බුද්ධිමත් බව මත දරුවා හොඳ ඉගෙනුමකටත් නිසැකවම යනවා.

අපි බලමු මොනවාද අපිට කරන්න පුලුවන් දේවල් සහ ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතු කාරණා කියලා.

2. දරුවාගේ බුද්ධි වර්ධනය වැඩි කරන්න ප්‍රධානම වශයෙන් දරුවාගේ පෝෂණය වැදගත් වෙනවා.

මව් කිරි හොඳම කිරියි.

මව් කිරි දීම ඉතාම වැදගත් දෙයක්. දරුවාට අම්මාට හැකි උපරිමෙන් මව් කිරි දීම සුදු කරන්නට ඕනි අවම වශයෙන් මුල් මාස 4-6 අතර කාලය.

ෆෝමියුලා දෙන්න උනොත්...

වෙනත් සාධාරණ හේතුවක් නිසා දරුවාට ෆෝමියුලා එකක් දෙන්න සිද්ද උනා නම් ඒ ගැන දැන් ඔබ ලත වෙන්නට එපා.

ඔබේ දරුවාට එසේ ෆෝමියුලා එකක් දෙන්නට වී තිබුනා නම් ඒ ගැනත් දැන් ලත වෙන්නට එපා. මොකද ඒක එක සාධකයක් විතරයි. තවත් සාධක ඔනෑ තරම් තියනවා දරුවාගේ බුද්ධිය වර්ධනය කරන්නට.

දරුවා ඝන ආහාර පටන් ගත්තාම..

දරුවා ඝන ආහාර පටන් ගත් විට දරුවාට සමබල ආහාර වෙලක් දෙන්න. අද කාලේ අම්මලා හිතන දෙයක් තමයි විවිධ වෙළඳ දැන්වීම් වල පල වෙනෙ සකසපු ආහාර දරුවාට ඉතාම හොඳයි කියන එක.

ඒවාට පෝෂණයට හිතකර දේවල් අඩංගු වෙලා තිබුනා උනත් ස්වාභාවිකව වැවෙන එලවලු, පලතුරු, ධාන්‍ය තරම් හොඳ ආහාරය කවදාවත් කෘතිමව සංස්ලේෂණය කරන්නට බැහැ.

දරුවා උපන් දේශයට හිමිව වැවෙන

  • පලතුරු ටික,
  • එලවලු ටික,
  • ධාන්‍ය ටික ඉතා හොඳින් දරුවාට ලබා දීම වැදගත්.

මාංශ පරිභෝජනය

මාංශ පරිභෝජනයත් නරකයි කියන්නට බෑ පෝෂණය අතින් ගත්තාම. කිරි ආහාර සහ කිරි වකින් නිශ්පාදිත ආහාර ඉතාම හොඳයි.

මතක තියා ගන්න ඕනි දේ තමයි වැඩිය මස් මාංශ, කිරි ආහාර භාවිතා කරන්නේ නැත්නම් දරුවාට අවශ්‍ය කරන

නිසි ප්‍රෝටීන් ටික ලබා ගැනීම සඳහා ;

  • රනිල කුලයේ ආහාර ටික,
  • ඇට වර්ග නැත්නම් ධාන්‍ය
  • කොළ වර්ග ටික

යහමින් දෙන්නට අවශ්‍යයි.

දරුවාගේ බුද්ධි වර්ධනය බලාපො‍රොත්තු වෙන හැම අම්මෙක්ම තාත්තෙක්ම..

දරුවෙක්ගේ බුද්ධිය වර්ධනයක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම,

  • කොළ පලා වර්ග ටික දරුවාට ලබා දීමට දැඩිව හිතට ගන්නට ඕනි.

"මේ ළමයා කොළ වර්ග කන්නේ නෑනේ..."

දරුවා ලොකු උනාම කොළ වර්ග කන්නේ නෑ කියලා බනින්නට එපා. කුඩා කාලයේදීම එම රස දිවට හුරු කර දෙන්න.

බබා චූටි කාලේ කොළ වර්ග, ධාන්‍ය වර්ග දෙන්නේ නැතුව වෙන ආහාර වර්ග දීලා, ඒවා දිවට, මොළයට හුරු උනාට පස්සේ කොළ වර්ග ටික කවා ගන්නට වෙන්නේ නෑ.

දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා ඇති මැජික් කොළ වර්ග තුන.

කොළ වර්ග වලිනුත් විශේෂම කොළ වර්ග තුනක් තිබෙනවා.

දරුවාගේ බුද්ධි වර්ධනය

  • ගොටුකොළ
  • මුගුණුවැන්න.
  • ලුණුවිල

මේ  කියන කොළ වර්ග ඉතා හොඳයි. ලුණුවිල ටිකක් තිත්ත රස නිසා වෙනත් කොළ වර්ග සමඟ කලවම් කරලා හදා ගන්නට පුලුවන්.

මේ කොළ වර්ග තුන දරුවෙක්ගේ බුද්ධි වර්ධනයට ඉතාම ඉවහල් වෙනවා.

ඒ වගේම

  • කහ පාට එලවලු සහ පලතුරු වර්ග

දරුවෙක්ට ඉතාම වැදගත්. සමබල ආහාර වේලක් ක්‍රමානුකූලව දරුවාට ලබා දීම ඉතාම වැදගත්.

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

කෘතිම ආහාර අඩුවෙන්ම දෙන්න.

කෘතිම සංස්ලේෂිත ආහාර දෙනවා නම් ඒවා හැකි තරම් අඩුවෙන් දෙන්න. පැණි රස ආහාර අවම කිරීමත් ඉතා වැදගත්.

තෙල් හා මේද

තවද හොඳ ස්නායූ පද්ධතිය සහ අනිකුත් සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් තෙල් හා මේද ප්‍රමාණයක් දරුවාට අවශ්‍ය වෙනවා.ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් දරුවාට අවශ්‍යයි.

  • ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දරුවෙක්ගේ ආහාර වේල ගිතෙල් වලින් හදා ගන්න පුලුවන් නම් එයින් දරුවාට ඉතා විශාල පෝෂණීය සාධකයක් ලැබෙනවා දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා.

දරුවාට ප්‍රමාණවත් ජලය ලබා දීම

දරුවාගේ බුද්ධි වර්ධනය

ඒ වගේම තමයි දරුවෙක්ට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ලබා දීම හරිම වැදගත්.

අපිට හරියටම බලා ගන්න පුලුවන් දරුවාට ප්‍රමාණවත් වතුර ලැබිලාද කියලා මුත්‍රා වල පැහැයෙන්.

  • අවර්ණ මුත්‍රා පිට කරනවා නම් එයින් අදහස් වෙන්නේ ප්‍රමාණවත් ලෙස දරුවා ජලය පානය කරලා කියලයි.
  • හැබැයි දරුවාගේ මුත්‍රා වල වර්ණය කහ පාටට හුරුයි නම් එයින් අදහස් වෙන්නේ දරුවාට ප්‍රමාණවටහ් ජලය ලැබිලා නැති බවයි.
  • දරුවා මුත්‍රා කලාම සැර ගන්ධයක් එනවා නම්, දරුවාගේ දහඩිය වල සැර ගන්ධයක් එනවා නම්, ඒකෙ තේරුම තමයි දරුවාට මදි කියන එක.

ඒක එක ලක්ෂණයක්. ඔබ මේ ගැන සැලකිලිමත් වෙලා ප්‍රමාණවත් වතුර දරුවාට ලබා දෙන්න. එය දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීමට ඉතාම වැදගත්.

3. දරුවෙක්ට ප්‍රමාණවත් නින්දක් ලබා දීම දරුවාගේ බුද්ධිය වර්ධනය සඳහා අත්‍යාවශ්‍යයි.

බොහෝ වෙලාවට දෙමව්පියන් දරුවන්ව මහා රෑ වෙනකල් ඇහැරගෙන තියන් ඉන්නවා. සමහර දෙම්ව්පියන් දරුවන්ට පාඩම් කරන්නට කියලා පාන්දර 1,2 වෙනකල් ඇහැරවලා තියාගෙන ඉන්නවා.

රාත්‍රී 10වන විටවත් නින්දට යා යුතුයි..

ඒක හොඳ දෙයක් නෙමෙයි. දරුවෙක් සාමාන්‍යයෙන් රාත්‍රී 10 වත් වන විට නින්දට යා යුතුයි.

උදේ 4ට පෙර අවදි නොවිය යුතුයි..

කිසිම හේතුවකට දරුවෙක්ව උදේ 4ට කලින් ඇහැරවන්නට එපා. දරුවෙක්ට සුව පහසු ලෙස අවම වශයෙන් පැය 7කවත් නින්දක් අවශ්‍ය වෙනවා.

නින්දේදී තමයි දරුවාගේ;

  • මොළයේ සෛල නැවත සංවර්ධනය වීම,
  • මොළයේ ඇති වන රසායන වෙනස් කම් ටික සංවර්ධනය වෙන්නේ.
  • ඒ වගේම නිවැරදි සමානුපාතයකට නැවත සකස් වෙලා ශරීරය හොඳිම් ගොඩ නැගීම සිද්ද වෙනවා.
  • දරුවා දිවා කාලයේ ලබන දැනුම, අත්දැකීම් ටික මොළයේ තැන්පත් වීම, මතකයේ තැන්පත් වීම පටන් ගන්නේ නින්දේදී.

ඒ නිසා දරුවෙක්ට පැය 7-8ක අඛණ්ඩ නින්දක් අත්‍යාවශ්‍ය වෙනවා.

4. දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා හොඳ පාරිසරික තත්වයක් තිබිය යුතුයි.

දරුවෙක්ට හොඳ පාරිසරික තත්වයක් තියෙන්නට ඕනි. මේකෙන් අදහස් වෙන්නේ නෑ ඉතාම සුඛෝපභෝගී නිවසක්, නවීන් උපකරණ පිරුනු කාමරයක්, ඉතාම හොඳ තාක්ෂණික උපක්‍රම තිබිය යුතුයි කියලා.

මෙයින් අදහස් වෙන්නේ;

  • දරුවාගේ පරිසරය නිස්කලංක,
  • මානසික පීඩනයක් ඇති නොවෙන,
  • ඉගන ගන්න සුදුසු පරිසරයක් වගේම
  • ඉගන ගන්න එකට පහසු ද්‍රව්‍ය සහිත යම් කිසි ස්ථානයක්,
  • පරිසරයක්,
  • ගෙයක්

දරුවෙක්ට තියෙන්නට ඕනි.

අපි අමතක කරන දේ...

අපි සමහර වෙලාවට මිල අධික ගෘහ භාණ්ඩ මිලට ගන්නවා. ඒත් අපි අමතක කරනවා තමන්ගේ දරුවාට පාඩම් කරන්න මේසයක් ගන්න එක. සුව පහසු පුටුවක් ගන්න එක.

දරුවාගේ පැන්සල්, පෑන් ටික පිලිවෙලට තියා ගන්න බාස්කට් එකක් තරම්වත් ගන්න අමතක කරනවා. අපේ දරුවාගේ ප්‍රශ්න පත්‍ර ටික තියා ගන්න ෆයිල් ටිකක් තරම් වත් ගන්න අපිට මඟ හැරෙනවා.

අපි වියදම් කරන දේ..

නමුත් අපිට නවතම මාදිලියේ රූපවාහිනියක්,සෝෆා කට්ටලයක් මුදල් වියදම් කරනවා හොඳට.

දරුවාට පාඩම් කරන්නට මේසයක්, සුව පහසු පුටුවක්, සුදුසු ස්ථානයක් වෙන් කර දීම ඉතාම අවශ්‍යයි දරුවාගේ බුද්ධි වර්ධනය වෙන්නට.

මේ විදියට පාඩම් කරන්න හොඳ නෑ..

පාඩම් කරන විට;

  • ඇඳේ දිගා වී පාඩම් කිරීම,
  • තැන් තැන් වල වාඩි වී පාඩම් කිරීම,
  • ඇවිදිමින් පාඩම් කිරීම කිසිසේත්ම සුදුසු නෑ.

විශේෂයෙන්ම විභාගයකට සූදානම් වෙන දරුවෙක්ට.

පාඩම් මේසයේ මේස රෙද්දේ පාට...

ඒ වගේම මතක තියා ගන්න දරුවාගේ පාඩම් මේසයේ දාලා තියන මේස රෙද්ද ලා වර්ණයකින් යුක්ත වෙන්න ඕනි. ලා වර්ණයක් තියෙද්දි ස්නායූ වලට බලපෑමක් වෙන්නෙ නෑ.

  • ලා කහ පාට,
  • ලා කොළ පාට,
  • තැඹිලි වර්ණයට හුරු වර්ණ වඩා සුදුසුයි.

නමුත් මේවායේ සංකීර්ණ රටා නොතිබිය යුතුයි.

පාඩම් මේසයට විදුලි ආලෝකය..

දරුවෙක්ගේ පාඩම් මේසයට අවම වශයෙන් වොට් 60- 75ක අතර ප්‍රමාණයේ හොඳ ආලෝක ධාරාවක් ලැබෙන්නට ඕනි.

දරුවා දකුණත හුරු අයෙක් නම් දරුවාගේ වම් පසින් ආලෝකය ලැබෙන්නට ඕනි. ඒ වගේම දරුවා වමත් හුරු අයෙක් නම් දකුණු පැත්තෙන් ආලෝකය ලැබෙන්නට ඕනි.

පොත් මේසය බිත්තියට හේත්තු කර තබන්න එපා..

ඒ වගේම පොත් මේසය බිත්තියට හේත්තු කරලා තියන්න එපා. දරුවා පාඩම් කරන විට ළඟ ඇති පොතක් බලන්නේ.

පොත බලලා ඉදිරිය බැලුවාම බිත්තියත් ළඟම පේනකිට ඇසට අමාරුයි.අඩුම තරමේ අඩි 25ක් වගේ ඈත පේන විදියට මේසය තියලා දෙන්න.

ගොඩක්ම හොඳයි ජනේලයක් ළඟ පොත් මේසය තියනවා නම්. ජනේලයෙන් ඈත බලන්න පුලුවන් ඇස් වෙහෙසෙන විට.

5. දරුවාගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙන තව දෙයක් තමයි ගෙදර වාතාවරණය.

දරුවා පාඩම් කරද්දි ගෙදර තත්වය කොහොමද තියෙන්නේ කියන එක හරි වැදගත්. භෞතික දේවල් සියල්ලම දරුවාට දීලා, පාඩම් කරන්නට කියලා කාමරයටත් යවලා, පාඩම් කරන්නට අණ කරලා අම්මයි තාත්තයි ආච්චිලා සීයලයි එකතු වෙලා හයියෙන් රූපවාහිනිය, රේඩියෝ එක දා ගෙන බලාගෙන අහගෙන ඉන්නවා නම් දරුවාගේ මනස ඒකාග්‍ර කර ගන්න බෑ.

දරුවාගේ පාඩම් වෙලාව ඔබේත් පාඩම් වෙලාව කර ගන්න.

ගෙදර ඇතුලේ දරුවා පාඩම් කරන වෙලාව ගෙදර කාගේත් පාඩම් වෙලාව කර ගන්න. ඔබ සිතාවි මං මොනවා පාඩම් කරන්නද කියලා. ඔබටත් පුලුවන් සුදුසු පොතක් පතක් බලන්නට.

අඩු ගානේ දරුවාගේ පොතකින් හරි එකක් අරගෙන බලන්න. දරුවන්ගේ තියන විෂය නිර්දේශය ඇතුලේ අපිටත් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා.

දරුවාගේ ගෝලයා වන්න..

ඔබට පුලුවන් දරුවාගෙන් පාඩම් අහ ගන්නට.

  • "මේ ගාණ කියලා දෙන්න",
  • "මේ සමීකරණය කොහොමද විසඳන්නේ?"

වගේ දේවල් ඔබට දරුවාගෙන් අහ ගන්නට පුලුවන්. එයින් ඔබේත් දරුවාගේත් සම්බන්ධතාවට වර්ධනය වෙනවා. ඒ වගේම දරුවාට මතක‍යේ රැඳෙනවා.

දරුවාගේ බුද්ධි වර්ධනය බලා ඉඳිද්දීම සිදු වෙනවා. පාඩම් කරනවාට වඩා උගන්වද්දි මතක හිටිනවා වැඩියි.

6. දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා ඔබ දරුවා ඉදිරියේ විනය හොඳින් පවත්වා ගන්නට අවශ්‍යයි.

මත් පැන් පානය කරන තාත්තලා, සීයලා, මාමලා, බාප්පලා ගෙදර ඉන්නවා නම් මේක හිතට ගන්න.

දරුවා වෙනුවෙන් වෙනස් වන්න.

නිතර දෙවේල් කටු අතු වාගේ එල්ලී යන අම්මලා, ආච්චිලා, නැන්දලා, පුංචිලා ඉන්නවා නම් රණ්ඩු සරුවල් වීම නවත්තන්න.

දරුවාට මොන තරම් දේ දුන්නත් ඔබේ හැසිරීම බිංදුවයි නම් වැඩක් නැත.

දරුවාට කොයිතරම් හොඳ දේවල් ලබා දුන්නත්, රටේ හොඳම පාසලට ගියත්, ප්‍රසිද්ධම ගුරුවරුන්ගෙන් ඉගන ගත්තත් වැඩක් නෑ දරුවාගේ මනසට ඔබ නිසා ඍණාත්මක දේවල් යනවා නම්.

දෙමව්පියන් ගැන වෛරයක්, කලකිරීමක් ඇති නොවන ආකාරයට ගෙදර දරුවාට පහසුකම් සපයන්න.

7. දරුවාගේ බුද්ධි වර්ධනය සිදු වෙන්න බලපාන තවත් ප්‍රධානම දෙයක් තමයි දරුවාගේ බුද්ධිය වර්ධනය වෙන්නට බලපාන දේවල් බැලීම.

දරුවාට සුදුසු නොවන නාට්‍ය, සුදුසු නොවන පොත් පත්, සුදුසු නොවන කාටූන්, සුදුසු නොවන පත්තර බැලීම කියන්නේ දරුවෙක්ගේ නිර්මාණශීලිත්වය මොට කර දමන, දරුවාගේ බුද්ධි වර්ධනය අඩු කරන දෙයක්.

ඒ නිසා දරුවාට හොඳ නිර්මාණ, පොත් පත්, තෝරා ගත් හොඳ රූපවාහිනී වැඩසටහන් නරඹන්නට දෙන්න. අනිත් වෙලාවට ගෙදර රූපවාහිනිය වහලා තියා ගන්න ඔබත් මතක තබා ගන්න.

8. දරුවාට පරිඝනක, ස්මාට් ෆෝන් අකැපද?

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

දරුවාගේ බුද්ධි වර්ධනය ගැන කතා කරද්දි ගොඩාක් අය කියන දෙයක් තමයි පරිඝනක, ස්මාට් ෆෝන් භාවිතය හොඳද කියන එක. දරුවෙක්ට ඒවා දෙන්න ඕනිද? ඇත්තටම දෙන්න ඕනි.

මොකද වර්තමාන ලෝකය එක්ක දරුවා ඉස්සරහට යද්දි මේ තාක්ෂණික මෙවලම් එක්ක තමයි ඉස්සරහට යන්න ඕනි.

ඒ නිසා දරුවාට ස්මාට් ෆෝන් එක, පරිඝනකය,අයිපෑඩ් එක,ලැප් ටොප් එක පාවිච්චි කරපුවාවේ.ඒවා දෙන්න.

නමුත් එය පාවිච්චි කිරීමේ විනය මව, පියා විසින් පැහැදිලිව පාලනය කල යුතුයි.

  • කිසිම අවස්ථාවක දරුවෝ මෙවැනි තාක්ෂණික උපකරණ රැගෙන තමන්ගේ කාමරයට නොයා යුතුයි.
  • රහසේ භාවිතා නොකළ යුතුයි.
  • එය ගෙදර සාලයේ ප්‍රසිද්ධ ස්ථානයක භාවිතා කරන්නට අවසර දෙන්න.
  • අන්තර්ජාලය භාවිතා කරන්නට අවසර දෙන්න. දරුවාට සුදුසු, ගැලපෙන දේවල් පමණක් භාවිතා කරන්නට ඉඩ ලබා දෙන්න.
  • ඒ වගේම ඒවාට සුදුසු කාලයක් වෙන් කරන්න.
  • අනිත් වෙලාවට ඒවා පැත්තකින් තියන්නට පවසන්න.

මේ හුරුව දරුවාට දෙන්න නම් අම්මගෙයි තාත්තගෙයි ෆෝන් එකත් ඕෆ් වෙන වෙලාවක් තියෙන්නම ඕනි. ඒවා පැත්තකින් තියලා අම්මයි තාත්තයි විදියට දරුවොත් එක්ක ගැවසෙන වෙලාවක් තියෙන්න ඕනි.

ඔබ ඔබේ ෆෝන් එක ඔබ ඔබ, ඔබේ දරුවාට කියනවා නම් ෆෝන් එක පැත්තකින් තියන්න කියලා ඒක හොඳ පැහැදිලි උත්තරයක් නෙමෙයි.

ඒකට හේතුව කියනවා නම් ආදර්ශය වැරදි ඒකේ. ඒක හරියට කකුලුවා ඇදේට යන ගමන් කකුලු පුතාය කෙලින් යන්න කිව්වාට වැඩක් නෑ වගේ තමයි.

9. දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය තවත් දෙයක් තමයි දරුවාගේ බුද්ධියට අත්‍යාවශ්‍ය වන යම් ක්‍රියාකාරකම් වල නිරත වීම.

බොහෝ වෙලාවට අපි ඕනෑවට වඩා දරුවෙක්ව පංති කාමර අධ්‍යාපනයේම, ප්‍රශ්න පත්‍ර වලම, පොත් වලම සිර කරලා තියනවා. මෙය දරුවෙකුගේ බුද්ධිය හීන වීමට එක හේතුවක්.

දරුවෙක් හොඳට ක්‍රියාශීලී වෙන්නට ඕනි. දරුවන්ට ඔවුන් කැමති ක්‍රීඩාවක් කරන්නට දෙන්න. ඒක කාලය නාස්තියක් නෙමෙයි. ඒක ඉතා විශාල ආයෝජනයක්.

දරුවා කැමති නම්

  • කරාතේ,
  • ජූඩෝ ,
  • පිහිණුම් වගේ ඒවාට යොමු කරන්න.

දරුවෙක්ගේ කාලය ක්‍රීඩාවකට, ව්‍යායාමයකට යොමු වීම ඉතා වැදගත් දෙයක්.

අඩුම තරමේ සතියේ එක දවසක හවස් වරුව දරුවාට නිදහසේ ඉන්නට දෙන්න. දරුවාගේ මොළය වර්ධනයට, දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා එය ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම පවුලේ අය එකතු වෙලා විවිධ ක්‍රියාකාරකම් කිරීම ඉතාම වැදගත් වෙනවා.

10. නිර්මාණ වැඩ වලට යොමු කිරීමෙනුත් දරුවාගේ බුද්ධි වර්ධනය වැඩි කර ගන්න පුලුවන්

දරුවෙක්ව සුදුසු නිර්මාණ වැඩ වලට යොමු කිරීමත් ඉතාම වැදගත්. දරුවාගේ බුද්ධි වර්ධනය සිදු වීමේදී ස්නායු අතර ඇති වන අන්තර් සම්බන්ධතා ජාලය වැඩි වන තරමට බුද්ධිය වැඩි වෙනවා.

එසේ ඒ ජාල වල වර්ධනයක් ඇති වෙන්න නම්, ස්නායූ අතර අන්තර් සම්බන්ධතාවය වැඩි වෙන්න නම්, විශේෂ ක්‍රියාකාරකම් වක යෙදෙන්නට ඕනි.

විශේෂයෙන් අත් පා ඇඟිලි හසුරවමින්, බුද්ධිය මෙහෙයවමින් කරන ක්‍රියාකාරකම් අවශ්‍යයි.

ඒ නිසා දරුවෙක්;

  • වැලි අල්ලමින්,
  • ගල් කැට,ඇට වර්ග අල්ලමින්,
  • යම් යම් දේ අහුලා ගනිමින්,
  • කපමින්,
  • ඉරමින්,
  • අලවමින්

සිදු කරන ක්‍රියාකාරකම් දරුවෙක්ට දෙන්නට ඕනි.

ඒ වගේම අත් පා හොඳින් වෙහෙසන, ඇඟට දාඩිය දාන, හොඳට ක්‍රීඩා කරන, අභියෝග වලට මුහුණ දෙන ක්‍රීඩා අත්‍යාවශ්‍යයි.

අපිට අතීතයෙ ඉඳලා ජන ක්‍රීඩා විශාල වශයෙන් තිබුනා. එවන් ජන ක්‍රීඩාවකට යොමු වීම දරුවෙක්ට ඉතාම හොඳයි.

සමහර වෙලාවට අපි වැඩිය නොහිතුවාට

  • ඔංචිලි පැදීම,
  • බට්ටා පැනීම,
  • පංච දැමීම,
  • ඔළිඳ කෙලිය

වගේ ක්‍රීඩා වලින් දරුවාගේ බුද්ධි වර්ධනය හොඳින් සිදු වෙනවා.

ඒ වගේම තමයි;

  • දාම් ඇදීම,
  • චෙස් ක්‍රීඩාව

නිසා දරුවෙක්ගේ නිර්මාණ ශක්තිය, චින්තන ශක්තිය වර්ධනය කරනවා.

11. දරුවාගේ බුද්ධි වර්ධනය වැඩි කරන සෞසෞන්දර්යාත්ම ක්‍රියා.

තවත් කියනවා නම් නර්තනය, සංගීතය, චිත්‍ර ඇඳීම වගේ සෞන්දර්යාත්මක ක්‍රියා දරුවාගේ බුද්ධි වර්ධනය ඉතා ඉහකට රැගෙන එනවා.

දරුවාගේ බුද්ධි වර්ධනය

විශේෂයෙන්ම කියන්නට ඕනි. මෙවැනි දේ කරන්නට ඕනි දරුවෙක්ව අමුතු විදියේ තරුවක් කරන්නට නම් නෙමෙයි. එක එක විදියේ තරඟ වලට යවන්න නම් නෙමෙයි.

දරුවාගේ සාමාන්‍ය පංතිකාමර අධ්‍යාපනයට ඉවහල් වන ආකාරයට දරුවාව මෙහෙයවීමයි කල යුත්තේ.

දරුවාගේ මොළයේ අංශයන් සමබරව ඉදිරියට රැගෙන යාමට නම් සෞන්දර්යාත්මක කුසලතා, ක්‍රීඩා, වගේම විවිධ ක්‍රියාකාරකම් යන සියල්ලම අත්‍යාවශ්‍යයි.

පිරිමි දරුවෙක් උනත්..ගැහැණු දරුවෙක් උනත්..

පිරිමි දරුවෙක් උනත්, ගැහැනු දරුවෙක් උනත් සංගීතය, නර්තනය වගේ දේකට යොමු වීම හරිම අත්‍යාවශ්‍ය දෙයක්.

එයින් දරුවෙක්ට පුදුමාකාර වින්දනයක් එක්ක ඔවුන්ගේ ජීවිතයට හික්මීමක් එක්ක දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා ඉවහල් බවක් ලැබෙනවා.

12. තවත් සිතන්නට ඕනි විශේෂ දෙයක් තමයි දරුවාගේ නිර්මාණයන් අපි අගය කරනවාද කියන එක.

මක්නිසාද මේ සියල්ල සැපිරෙන මොහොතකදී දරුවා අපිට ඉදිරිපත් කරන යම් යම් නිර්මාණ, අපි අගය කිරීමකට ලක් කලේ නැත්නම්, අපි එයාව දිරිමත් කලේ නැත්නම් දරුවා හිතන්න ගන්නවා "මට බෑ.." කියන එක.

හොඳින් මතක තබා ගන්න. දරුවෙක් කියන්නේ දරුවෙක්ට. අතපසුවීම්,වැරදීම්, ඕනෑ තරම් වෙන්න පුලුවන්.

අගය කරන්න.

ඔබේ දරුවා ගණිතයට ගත්තේ ලකුණු 05යි ද ඒක අගය කරන්න. චිත්‍රය ඇඳලා තියනවා වැරදියි නම් ඒක අගය කරන්න. ඒක ලොකු බරපතල සිද්ධියක් නෙමෙයි. දරුවා වරද්ද වරද්ද කරන දේ ඇතුලේ තියන චූටි හොඳ අල්ලා ගන්න.

හොඳ ගැන කතා කරන්න.

ඒ හොඳ ගැන කතා කරන්න. ඒ හොඳ අගය කරන්න. හෙමින් සැරේ ඔහුගේ වැරදි අඩුපාඩු කම් හදා ගන්නට මග පෙන්වන්න.

එවිට දරුවාට පුලුවන් වෙනවා තමන්ගේ මනස කඩා වට්ට ගන්නේ නැතුව, ලැජ්ජා වෙන්නේ නැතුව, ක්‍රමානුකූලව ඉදිරියට එන්න.

ගහන්නට, බනින්නට එපා..

දරුවාට ලකුණු ගොඩක්ම මදි නම්, බුද්ධි මට්ටමේ අඩුවක් පේන්නට තියෙනවා නම්;

  • දරුවාට ගහන්නට, බනින්නට යන්න එපා.
  • ඔහුව අවඥාවට ලක් කරන්න එපා.
  • අනිත් අය අතරේ දරුවාට අපහාස කරන්නට එපා.
  • වෙන අය ඉදිරියේ දරුවාගේ අඩු පාඩු කතා කරන්නත් එපා.

එසේ කිරීමෙන් සිද්ද වෙන්නේ දරුවා මානසිකව ඇද වැටිලා, යම් කිසි ආකාරයක කාංසාත්මක අක්‍රමිකතාවයන් පවා ඇති වෙලා, ඔහුගේ අවදි වෙන්න තියන බුද්ධිය අවදි නොවී, එහෙම්මම මිය යාමයි සිද්ද වෙන්නේ.

ඒ නිසා ඔබ කල යුත්තේ දරුවාගේ අඩු පාඩු දැක්කා න, අඩු පාඩු අතරේ තියන හොඳ ගැන කතා කරලා, අඩු පාඩු හදන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ ප්‍රවීණයන් සමඟ කතා කරන්නට.

ගුරුවරයා එක්ක කතා කරන්න.

ගුරුවරයා එක්ක කතා කරලා අහන්න මොනවාද අඩු පාඩු කියලා. හැබැයි දරුවෝ නැති තැන. ගුරුවරුත් මතක තියා හන්න දරුවා ඉස්සරහා දරුවාගේ අඩු පාඩු කියන්නට එපා.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්නා විශේෂඥයෙකු හමු වෙන්න.

එහෙමත් නැත්නම් අධ්‍යාපනය සම්බන්ධව විශේෂඥයින් සිටිනවා. එවන් අයෙක් මුණ ගැහිලා උපදෙස් ලබා ගන්න පුලුවන්. දරුවාට කොයි වගේ සහයක් ලබා දිය යුතුද යන්න විමසා දැන ගන්න.

නැත්නම් අධ්‍යාපනයට බාධා වෙන වෙනත් මානසික ගැටලුවක් තියෙනවාද කියලා දැන ගන්න.

දරුවා එක්ක කතා කරන්න.

දරුවොත් එක්ක කතා කරන්න. කතන්දර කියලා දෙන්න. චිත්ත රූප වර්ධනය වෙනවා ඒ නිසා. එමඟින් දරුවාගේ බුද්ධි වර්ධනය වැඩි වෙනවා.

දරුවාගේ හිසට තෙල් දමා සම්බාහනයක් දෙන්න..ආයුර්වේදයේ ප්‍රතිපල අත්විඳින්න..

දරුවාගේ හිසට අරූද තෙල් දමන්නටත් පුලුවන්. හොඳ සම්බාහනයක් ලබා දෙන්න. දවසකට එක පාරක් හරි බෙලි මල්, රණවරා වගේ දෙයක් දෙන්න.

දේශීය සහල් හරිම වටිනවා. සතියකට දෙතුන් පාරක් කොළ කැඳ දෙන්න පුලුවන් නම් ඉතාම වැදගත්. පැණි රස වර්ග අඩු කරන්න.

දරුවාගේ වෙනසක් තියෙනවාද බලන්න..

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද?

දරුවාගේ වෙනසක් තියෙනවා නම්, ඒ කියන්නේ;

  • දරුවා නිතරම කෙළ ගගා මකනවා නම්,
  • පැන්සලේ කොණ කනවා නම්,
  • පොතේ කොළ ඉරනවා නම්,
  • පාසලේදී දරුවාගේ දේවල් නැති කර ගන්නවා නම්,
  • ගෙදර වැඩ ලියාගෙන එන්නේ නැත්නම්,
  • පොත් අමතක කර එනවා නම්,
  • අකුරු වැරදියට ලියනවා නම්,
  • බැඳි අකුරු ලියනවා නම්,
  • රූලේ අකුරු ලියන්න බැරි නම්,
  • පාඩම් වැඩ මඟ හරිනවා නම්

ඔබේ දරුවාගේ විශේෂඥයා සමඟ කතා කර අවශ්‍ය පිලියම් ලබා ගන්න.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර :-

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

කතන්දර ලිපි