මෙය අදහාගන්නටවත් බැරි පුවතක් විශේෂයෙන්ම ව්‍යවහාරයේ වෛද්‍යවරුන් දෙවිවරුනට සම කරන ලෝකයේ මෙය සිදු වන්නට නිසාද කියා මටත් හිතාගන්නට බැරිය. ඉන්දියාවේ පළපුරුදු වෛද්‍යවරුන් දෙදෙනෙක් අලුත උපන් බිලිඳා ගැන නොසලකා හැර පලක් නැති දෙයක් ගැන ආරවුලක නිරත වුයේ වෙන කොහෙවත් නෙවෙයි ශල්‍යාගාරය තුලදිමයි.
පුදුමයට කරුණක් වූයේ වෛද්‍යවරුන් දෙදෙනා නොකඩවා ආරවුලෙහි නිරත වූයේ සිහි විරහිතව වේදනාවෙන් වැතිර සිටි බිලිඳාගේ මවද ඔවුන් අභියස සිටියදීය. රහසිගතව වීඩියෝගත කල මෙම ඛේදනීය සිද්ධිය අතරතුර දිස් වූයේ බිලිඳාගේ හෘද ස්පන්දනය ක්‍රමයෙන් අඩුවී යන ආකාරයත්, ඒ ගැන කිසිඳු තැකීමක් නොකරන වෛද්‍යවරුන් දෙදෙනා නොනවත්වා ආරවුලේ යෙදෙන අකාරයත්ය.

ප්රකෝපයට පත් එක් වෛද්‍යවරයෙක් අනෙකාට කෑ ගසන්නේ “ඔබ මේ හැම දේටම වන්දි ගෙවනවා. මම ඔබව පිටතදී හමු වන්නම්” කියාය. මේ හැම දේම අතරේ ජංගම දුරකතනයක් නාද වීම තවත් පුදුමයට කරුණක් නොවේද? ව්‍යවහාරයට කියන ‘මාළු කඩයක් මැද්දේ’ මෙන් මහත් ඝෝෂාකාරී පරිසරයක සිදුවන මෙම ශල්‍යකර්මය ඇත්තෙන්ම සිදුවන්නේ රෝහලකදැයි සිතෙනවා.
කෙසේ නමුත් සිද්ධිය ලෝකයාට නිරාවරණය වුයේ රෝහල් සේවකයකු විසින් රහසිගතව කෙරුණු වීඩියෝව නිසායි. එය සමාජජාල හරහා පැතිර ගියේ විදුලි වේගයෙන්.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ජොඩ්පූර්හි පිහිටි උමායිඩ් (Umaid) රෝහලෙන් වන අතර ගර්භණී කාන්තාව ඇඳේ වැතිර සිටින අසබඩ ආරවුල මිනිත්තු තිහකට වැඩි කාලයක් පුරාවට පවතී බවත් වාර්තා වනවා.

මේ අතර රාජස්තාන්හි සෞඛ්‍ය ඇමති කාලි චන් සේරෆ් මහතා මෙම සිද්ධිය පිළිබඳව දැඩි පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක්ද පත් කර තිබෙනවා.
අලුත උපන් බිලිඳෙකු රැකබලා ගැනීම
මෙම සිදුවීම සැබවින්ම අදහාගත නොහැකි ලජ්ජාසහිත සිදුවීමක් බවට ඔබ එකඟ වනවා නියතයි. බිලිඳෙකු උපන් අලුත ඉතාම අස්ථායී වන අතර බිලිඳා ප්‍රසූත කිරීමත් සමඟ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

1 දරුවාගේ පෙකණි වැල ප්‍රවේසමෙන් ක්ලෑම්ප් කර ඉතිරි කොටස කපා ගත යුතු වන්නේ එතැන් පටන් දරුවා වැදෑමහ ඔස්සේ ඔක්සිජන් සහ පෝෂණය ලබාගැනීම නතර කොට පෙනහළු අධාරයෙන් හුස්ම ගැනීම ආරම්භ කිරීම සඳහායි.
2 දරුවා සම්පුර්ණයෙන් ඇම්නියොටික් තරලයෙන් තෙත් වී සිටින බැවින් දරුවාගේ තෙත මාත්තු කොට අවශ්‍ය උණුසුම සැපයීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කල යුතුයි.
3 දරුවට මවගෙන් අවශ්‍ය උණුසුම සැපයීම සඳහා දරුවා මව සමඟ කඩිනමින් සම්බන්ධ කර දරුවාට මව්කිරි පෙවීම ආරම්භ කලයුතු වනවා.
4 බිලිඳා ඉපදුනු සැනින් සිදුකල යුතු සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් ඇති අතර නියමිත කාලපරිච්ඡේදයක් තුලදී සැලසුම්සහගතව ඒවා සිදු කලයුතු වනවා.
1 දරුවාගේ ක්‍රියාකාරිත්වය
2 දරුවාගේ හෘද ස්පන්දන වේගය
3 Grimace ප්‍රතිචාරය (ප්‍රතිරෝධක)
4 ශ්වසනය වේගය හා ආයාසය
ඉන්දියාවෙන් වාර්තා වන දෙවිවරුනට සම කරන වෛද්‍යවරුන්ගේ වන මේ නොමනා හැසිරීම ලංකාවේත් වෛද්‍ය වෘත්තීය ආන්දෝලනාත්මක තත්වයක අවධියක කිසි දිනෙක යළි සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමු!
TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලුෆ පෙරේරා