බබාට රට කජු වගේ ඇට වර්ග හදුන්වා දිය යුත්තේ කවදාද?

බබාට රට කජු වගේ ඇට වර්ග හදුන්වා දිය යුත්තේ කවදාද?

මේ ලිපිය රටකජු, කජු සහ ආමන්ඩ් වගේ ටිකක් තද ඇට වර්ග බබාට හදුන්වාදීම ගැන චකිතයෙන් ඉන්න අම්මලා සදහාමයි

දරුවාට ඇට වර්ග හඳුන්වාදීම සදහා සුදුසු වයසක් තියෙනවාද?

ඉස්සර නම් කිව්වේ අවුරුද්දක් වත් වෙනකල් ඉන්න කියලා මේ වගේ ඇට වර්ග බබාට හඳුන්වලා දෙන්න නම්. ඒකට හේතුව උනේ මේවා බබාට ආසාත්මික වෙන්න ඉඩකඩ තියෙනවා කියලා.

දරුවාට ඇට වර්ග හඳුන්වාදීම

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු

අපි මේ නට්ස් වර්ග දෙන්න බබාට අවුරුද්දක් වෙනකල් බලන් ඉන්න ඕනිද?

අපෝ නෑ. ඇමෙරිකානු ආසාත්මිකතා, ඇදුම සහ ප්‍රතිශක්ති විද්යාව පිළිබඳ ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කරලා තියනවා .

මාස 6න් ආහාර පටන් ගන්නකොට බබාලාට එයාලාගේ කෑම එකට මේ ආසාත්මිකතා හැකියාවක් ඇති නට්ස් වර්ග එකතු කරන්න පුලුවන් කියලා.

තවදුරටත් මේ ඇකඩමිය කියන්නේ මේ නට්ස් වර්ග, ඒ වගේම ආසාත්මික වෙන්න ඉඩ කඩ ඇති සෝයා සහ සෝයා නිශ්පාදන, මාලු වර්ග, මුහුදු ආහාර, බිත්තර, කිරි අඩංගු ආහාර, තිරිඟු වගේ ආහාර වර්ග දෙන එක පරක්කු කලා කියලා අනාගතයේ ආසාත්මිකතා ඇති වෙන්න ඉඩ කඩ අඩු වීමක් හෝ අඩු තරමින් ඊට උදව්වක් හෝ වෙන්නේ නෑ.

එහෙම නොදී ඉන්නවා කියන්නේ පෝෂණය ලබා ගන්න ඇති අවස්ථාවක් නැති කර ගැනීමක් පමණයි.

හැබැයි හොඳක් වෙනවා. කුඩා වයසින් ඒ ආහාර පටන් ගත්තාම වැඩිහිටි වයසට පත් උනාම ආසාත්මිකතා ඇති වීමේ ප්රවණතාව ඉතාම අඩු වෙනවා.

දරුවාට ඇට වර්ග හඳුන්වාදීම ගැන ළමා රෝග විශේෂඥයින් පවසන්නේ කුමක්ද?

දරුවාට ඇට වර්ග හඳුන්වාදීම 

හැබැයි විද්‍යාවේ දියුණුවත් සමඟ නවතම සොයා ගැනීම් වලට අනුව ළමා රෝග විශේෂඥයින් පවසන්නේ වෙනස්ම කතාවක්.

ඔවුන් කියන්නේ මාස 6න් බබෙක් කෑම පටන් ගත්ත අවස්ථාවේදී මේ නට්ස් වර්ග සහ නට් බටර් වර්ග බබාගේ කෑමට එකතු කරන්න පුලුවන් කියලා.

හැබැයි මේ කියන්නේ නට්ස් වර්ග අල්ලක් පුරවලා බබාට දෙන්න කියන එක නම් නෙමෙයි.

බබාගේ කෑම හදද්දී එයාගේ කෑම එක රස කර ගන්න වගේම, ගුණාත්මක බව ඉහල නංවන්න, පෝෂණය වැඩි කර ගන්න මේ නට්ස් වර්ග හරි ඒවායින් හදා ගන්න බටර් හරි එකතු කර ගන්න පුලුවන්.

හැබැයි මතක තියා ගන්න ඕනි දේ තමා අවුරුදු 5ක් වෙනකල් බබෙක්ට සම්පූර්ණ නට්ස් දෙන්න බෑ.

ඒ කියන්නේ අපි හිතමුකෝ බබෙක්ට අපි ආමන්ඩ් ඇට දෙනවා කියලා.

අපිට ඒක පොඩි කෑලි වලට කපා ගන්න හරි, කුඩු කර ගන්න හරි, එහෙමත් නැත්නම් ආමන්ඩ් වලින් බටර් එකක්.

හදා ගෙන හරි තමයි දෙන්න කියන්නේ. ඒකට හේතුව තමා බබාට හිර වෙන්න තියන ඉඩ කඩ වැඩි නිසා.

සමහර බබාලා දන්නවා හිර කරගන්නේ නැතුව කන්න. ඒත් අවධානමක් ගන්න එක නුවණට හුරු නෑනේ.

මතක තියා ගන්න ඕනි කරුණ තමයි මේ කොයි නට්ස් වර්ගය උනත් මුලින්ම දෙනකොට කුඩා ප්‍රමාණයකින් දීලා බලන්න ඉස්සෙල්ලාම බබාට ආසාත්මික වෙනවාද කියලා.

දවසක් දෙකක් එහෙම දීලා දෙන ප්‍රමාණය වැඩි කර ගන්න පුලුවන්.

ඇට වර්ග වල පෝෂණය

දරුවාට ඇට වර්ග හඳුන්වාදීම

නට්ස් කියන්නේ සුපිරි ආහාර ලැයිස්තුවේ ඉහලින් ඇති ආහාරයක්.

නට්ස් වල අත්‍යාවශ්‍ය මේද අම්ල, විටමින් E, ප්‍රෝටීන් තියෙනවා වගේම බබාලාගේ ආහාර වලට එකතු කරන්න ඉතාමත්ම සුදුසු දෙයක්.

මොකද චූටි බබාලා ඉතාම ඉක්මනින් වර්ධනයට වෙන නිසා එයාලාගේ ශරීර වර්ධනයට වගේම මොළයේ වර්ධනයට විශාල පෝෂණයක් මේ කාලයේ බබාට අවශ්‍ය වෙනවා.

ඉතින් මේ නට්ස් වර්ග කුඩු කරලා හරි ඒවා කුඩු කරලා ඒවායින් බටර් හදලා හරි බබාගේ කෑම එකට එකතු කරන්න පුලුවන්.

කොයිම වෙලාවකවත් හැන්දකින් නට් බටර් දෙන්න එපා. ගනකමින් වැඩි නිසා හිර වෙන්න පුලුවන්.

ඒ නිසා බබාට දෙන කෑම එකට එකතු කරලා දෙන්න.

මේ කොයි විස්තර දැන ගත්තා උනත් බබාට දෙන්න බයයි නම් නොදී ඉන්න.

හැබැයි අනිවාර්යයෙන් බබාගේ ඩොක්ටර් එක්ක මේ ගැන කතා කරන්න.

ගොඩාක් වෙලාවට අලුත් දැනුම ගැන ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් දැනුවත්.

ඒ නිසා ගැටලු සහගත තත්ව ඔවුන්ගෙන් විමසා දැන ගන්න එක උචිතයි.

මටත් මේ ගැන සොයා බලන්න උවමනාව ඇති වූයේ එකිනෙකට නොගපෙන විරුද්ධ මත දෙකක් සමාජයේ ඇති නිසා.

මගේ පුතාට මාස 6ක් වන විට මටත් මේ ගැටලුව ආවා.

නට්ස් වර්ග වල ඇති ගුණය පිලිබඳව දැනුවත් නිසාත් ඇත්තටම දෙන්න හොඳයි නම් නොදී ඉන්න එක අපරාධයක් නිසාත් මං මේ ගැන මගේ බබාගේ වෛද්‍යතුමියගෙන් ඇසුවා.

ඇය කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්. ඇය පැවසුවේ බබාට මාස 6න් දෙන්න කියා.

දෙද්දි ඉස්සෙල්ලා චුට්ටක් දීලා බලන්න කියා ඇය මට පැවසුවා.

තවදුරටත් ඇය පැවසුවේ ගොඩාක් බබාලාට ආසාත්මිකතා ඇති වීම් අඩුයි කියලා.

පවුලේ කවුරු හරි ඉන්නවා නම් ආසාත්මිකතා ඇති වෙන යම් ඉඩක් තියන බව ඇය පැවසුවා.

කොහොම උනත් බය වෙන්න එපා කියම දේ තමා ඇය පැවසුවේ.

හරි පැහැදිලි විස්තර දැන ගත් පසු මගේ පුතාට මාස 6 සිට නට්ස් වර්ග මං ලබා දුන්නා.

සංවේදී සමක් තියන, සම මත රත, වියලි ලප තියෙන බබෙක් නම්, eczema තත්වය අති බබෙක් නම්, මව් කිරි ආසාත්මික උන බබෙක් නම්, පවුලේ ආසාත්මික ඉතිහාසයක් ඇති බබෙක් නම් නට්ස් වර්ග දෙන්න කලින් බබාගේ ඩොක්ටර් හම්බෙලා කතා කරන්න ඕනි. ඒක අනිවාර්යයි.

මුල් ලිපිය: අම්මයි බබයි(Ammai babai)

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි