කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

මේ කළු කුමාරයාගේ බැල්ම වැටුනාම විවාහයක් හරියන්නේ නෑ කියලා කියනවා. ඒ වගේම දරු ඵල නැතැයිද කියනවා.

කළු කුමාර දෝශය ගැන කතා කරන්නට කලින් ඔබත් මෙවැනි දේ ගම් වල වැඩිහිටි ගැහැණුන්ගෙන් එක් වරක් හෝ අසා තිබෙනවාද?

  • "මල්වර වෙච්ච දැරිවියන්ට කළුපාට යට ඇඳුම් අන්දවන්න එපා..."
  • "ගෑණු ළමයින්ට තනි කළු ඇඳුම් අන්දන්න එපා..."
  • "මොකද කෙල්ලේ මේ රතුයි කළුයි ඇඳගෙන ඉර බැහැන් යන වරුවේ කොණ්ඩෙත් කඩාගෙන..."
  • "ඔය හවස් වෙලාවේ, ඇඳිරි වැටිලා තියන වෙලාවේ තනියම නාන තොටුපළවල කෙල්ලන්ට තනියෙන් ගිහින් නාන්න හොඳ නෑ... තනිකම් දෝෂ වැටෙනවා..".
  • "කෙල්ලෙකුට තනිකම් දෝෂ වැටුණොත් මංගල්ලයක් වත් හරියන්නේ නෑ..."
  • "කසාදයක් හරි ගියත් කඩාකප්පල් වෙනවා..." "දරුපල හිටින්නෙත් නෑ..."

"ඔය මාසේ ගානේ හැදෙන ලෙඩේ හැදෙන දවසට පාවිච්චි කරන යට ඇඳුම් එහෙ මෙහෙ දාන්ට එපා..." එතකොටත් ඔය තනිකම් බැල්ම වැටෙනවා...

කළු කුමාර දෝශය

ගම් වල ඉන්න අම්මලා, ආච්චිලා නව යොවුන් වියට එළඹි දියණිවරුන්ට මෙවැනි උපදෙස් දෙන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. ඒ දෙන හැම උපදෙසකින්ම ඒ වැඩිහිටි පාර්ශ්ව බලාපොරොත්තු වූයේ තම දියණියන් කළු කුමාරයාගේ ඇල්ම බැල්මෙන් ගලවා ගන්න.

සමහර විට ඔබත් මේ වගේ කතාවන් වලින් එකක් හරි අහලා ඇති. ඒත් මේවායේ සත්‍යතාවයක් තියෙනවාද?

කවුද මෙ කළු කුමාරයා කියලා කියන්නේ?

මිනිස්සුන්ගේ කටින් කට ආව කතාන්දර අතර මේ සම්බන්ධයෙනුත් ජන කතා රාශියක් තියෙනවා. කටින් කට ආව කතා කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත එද්දි කොයි තරම් වෙනස් වෙලාද කියලා ඔබටම හිතා ගන්න පුලුවන් නේද?

අතීත කතාවක්

කලු කුමාරයා කියන මනඃකල්පිත පුද්ගලයා ගැන අතීත කතා තිබෙනවා. එයින් එකක් තමයි අනුරාධපුර රාජධානි කාලයේ රජකම් කල ගජබා රජුගේ කාලයේ හිටපු ප්‍රාදේශීය රජෙක් වන පුවතලට සහ මුතුමාල බිසව සම්බන්ධ කතාව.

මේ මුතුමාල බිසවට දරු සුරතල් බලන්න වාසනාවක් නැති නිසා පුවතල රජු අනියම් ඇසුරක් පවත්වලා තියනවා තරුණියක් එක්ක. ඒ තරුණිය පුතෙක් වදලා. නීල මහා කළු කුමාරයා කියලා තමයි නම් තියලා තියෙන්නේ. නමේ හැටියටම ගොඩාක් කලු පැහැ ශරීරයක් තිබුණ කෙනෙක් කියලා තමයි කියන්නේ.

කළු කුමාරයා කොයි වගේ කෙනෙක් කියලාද කියන්නේ?

කළු කුමාර දෝශය

කටින් කට පැවතගෙන ආව විස්තරත් එක්ක කලු කුමාරයාගේ හැඩරුව මෙහෙම ගම්මුන් කියනවා. ඔහු තද කළු පැහැ හැඩි දැඩි සිරුරක් තියන, සුදු හැට්ටයක් ඇඳ ගත්ත, සුදු පාට මල් මාලයක් බෙල්ලේ පැළඳ ගත්ත, නළ දත් දෙකක් දෙපැත්තෙන් තියන, යගදාවක් අතේ තියාගෙන, මුතු මාලයකුත් පැළඳගෙන, කළු ගොනෙක් පිට නැගලා ඉන්න නිල් පාට ඇස් ඇති පිරිමියෙක්ට කියලායි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.

කළු කුමාර දෝශය, ඒ බැල්ම වැටුනොත් විවාහයක් හරියන්නෙත් නෑලු..ඇත්තද ඒක?

මේ කළු කුමාරයාගේ බැල්ම වැටුනාම විවාහයක් හරියන්නේ නෑ කියලා කියනවා. ඒ වගේම දරු ඵල නැතැයිද කියනවා. නැත්නම් කුසට එන දරුවන් ඉක්මණින් කුසේදීම මිය යනවා කියනවා. මේ වගේ කතා දාහක් කියනවා. ඔන්න ඉතින් මෙහෙම දෝශයක් තිගෙනවා කියලා වැඩිහිටියෙක් කිව්වොත් යකදුරාට තමයි වාසිය. මොකද දාස් ගණන් වියදම් කරලා ශාන්තිකර්ම, බලි තොවිල් කරනවා අර කලු කුමාරයාව පන්නන්න.

කොහේද මේ කළු කුමාරයා ඉන්නේ?

ලංකාවේ විතරයි මේ විදියට ගැහැණු ළමයින්ට පදනමක් නැති විශ්වාසයන් ඔලුවට දාන්නේ. ඒ කාලයේ අද තරම් විද්‍යාවේ දියුණුවක් තිබුනේ නෑ. ඉතින් සිදු වෙන නුපුරුදු සියලු දේ යකෙක්ට, නැත්නම් ප්‍රේතයෙක්ට, දිෂ්ඨියකට බාර කරලා නිකන් හිටියා. නැත්නම් ගමේ ඉන්න යකැදුරන් කීයක් හරි හොයා ගත්තා.

යකඩ කෑල්ලක් විසින් රකින වැඩිවිය පත් දැරිවි

ගෑණු ළමයෙක් වැඩිවියට පත් උනාම යකඩ ඇණයක් හරි යකඩ කැබැල්ලක් හරි ලැඟට දෙන සිරිතක් තියෙනවා ගම් වල. ඒ තනි වෙන එකෙන් වළකින්න කියලයි කියන්නේ. ඇත්තටම යකඩ කෑල්ලකට පුලුවන්ද මනුස්ස ජීවිතයක් ආරක්ෂා කරන්න. පොඩි කාලේම බමුණු මත ඒ දරුවන්ගේ ඔලුවට දාලා අනවශ්‍ය බියක් ඇති කරනවනවා ගම්වල වැඩිහිටියන්.

ඒ කාලේ හිතට දැම්ම අදහස කොයි තරම් බලවත්ද කියනවා නම් අද කාලයේ තරුණියන් උනත් හරියට විශ්වාස කරනවා ඒ දේවල් ගැන.

වැඩිවියට පත් වෙනවා කියන්නේ මොකක්ද ඇත්තටම? කළු කුමාරයෙක් කොහෙන්ද එතනට?

වැඩිවියට පත් වෙනවා කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක්. ජීවිතයේ මුල්ම වරට ඩිම්බයක් මෝරලා පිට වෙනවා. ශුක්‍රාණුවක් එක්ක සංසේචනය උනේ නැති නිසා ගර්භාෂ බිත්ති කොටස්,ශ්ලේෂ්මල එක්ක ගැලවිලා මුල්ම වතාවට රුධිරය විදියට එලියට එනවා. මේ සංසිද්ධිය හරිම ස්වාභාවික දෙයක්.

ගැහැණු දරුවෙක් ජීවිතයේ ලබන එක අත්දැකීමක් මේ සිදුවීම. ඒක අදටත් ගම්මු උත්සවශ්‍රීයෙන් සමරනවා සැමරීම අනවශ්‍ය දෙයක් උනාට.

දියුණු රටවල් වලත් කළු කුමාර දෝශයට බලි තොවිල් කරනවාද?

ඔබ අහලා තියනවාද දියුණු රටවල් වලත් මෙවැනි පදනමක් නැති විශ්වාසයන්, බලි තොවිල් ගැන විශ්වාසයන් එල්බගෙන සිටිනවා. ඔවුන් ඒ දේවල් ගැන අහලාවත් නැතුව ඇති.

කළු කුමාරයා කැමති ලංකාවටද?

නමුත් ඔවුන්ටත් දියණියන් සිටිනවා. ඔවුනුත් වැඩිවියට පත් වෙනවා. ඒ දවස විශේෂ දවසක් කර ගන්නේ නෑ ඔවුන්. එදාටත් පාසැල් යනවා. පිරිමි ගැහැණු බේදයකින් තොරව දකිනවා. පෝෂණීය ආහාර ගන්නවා. ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ තනි රකින්නට ලංකාවේ වගේ වැඩිහිටි ගැහැණුන් තනි රකින්නේත් නැහැ. ඔවුන් අඳින ඇඳුම් වල වර්ණ බේද කිසිවක් නෑ. ඔවුන් නිදහස්ව හැදෙනවා වැඩෙනවා. ඒකෙන්ම ඔබට තේරෙනවා ඇති කළු කුමාර දෝශය ගැන සැබෑ තත්වය. පිට රටවල් වලට කළු කුමාරයා ආස නැතුවා වත් ද කියලාත් සිතේවි ඔබට.

කළු කුමාර දෝශයේ ලක්ෂණ විදියට ගම්මු කියන කතා

ලංකාවේ අය කියන කළු කුමාර දෝශය හැදුනාම තියනවා කියම ලක්ෂණ කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවාද කියලා.

ගම්මුන් කියනවා කළු කුමාර දෝශය ඇති උනාම කළු කුමාරයා ඇවිල්ලා ඒ තරුණියට මස් කවනවා කියලා රාත්‍රියේ නින්දේදී. සිදු විය නොහැකි දෙයක් බව හොඳාකාරයෙන් පෙනෙන්නට තිබුණත් ඒවා විශ්වාස කරන අය සිටිනවා.

ලෙඩ රෝග රැසක් සහ කළු කුමාර දෝශය

ඔවුන් කියනවා එවිට තරුණියට කෑම අරුචියක්, අප්‍රියාවක් ඇති වෙනවා කියලා. නිතර නිතර අජීර්ණ තත්වයන් උනත් කළු කුමාර බැල්මට හසු උනාම ඇති වෙනවා කියලා කියනවා. ඒ වගේම අත්, පා, කලවා, පියයුරු ආදී ස්ථාන වල තුවාල වී ඇත්නම් ඒවාට දොස් මුරයද කළු කුමාරයාටම දී හූල්ලන්නට ගම්මුන්ගෙන් බහුතරය සමත්.

කළු කුමාරයාගේ ගිණුමට බැර වෙන තරුණුයන්ගේ ලෙඩ රෝග

එවැනි අජීර්ණ තත්වයන්, කෑම අප්‍රියාව වගේ දේවල් වෙන අසනීප තත්වයකට ඇති වෙන්නට ඉඩ කඩ ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ වෙලාවක අසනීප සියල්ලම කළු කුමාරයාගේ ගිණුමට බැර නොකර වෛද්‍ය උපදෙස් ගැනීමයි කල යුත්තේ.

දිෂ්ඨියක් වැහුනා වගේ හැසිරෙන්නේ මානසික ලෙඩක් නිසා?

  • සමහර වෙලාවට මානසික ලෙඩ රෝග නිසාත් මෙවැනි ආකාරයේ දේවල් සිදු වෙනවා. එවිට දිෂ්ඨියක් වැහුනා වගේ කලබල වීම, දැඟලීම, කෑ ගැසීම සිදු කරනවා. එය මානසික ව්‍යාකූල වීමක්.  එවිට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් සියලු ගැටලු දුරු කර ගන්නට පුලුවන් වෙනවා.

කළු කුමාර දෝශය නිසාද විවාහය කල් යන්නේ, දරු පල අහිමි වෙන්නේ?

කළු කුමාර දෝශය නිසා විවාහය ප්‍රමාධ වෙනවාලු, දරුපල අහිමි වෙනවාලු, විවාහය ගැටලු සහගතයිලු. පිරිමි අයව අප්‍රිය වෙනවාලු. මේ වගේ කතා ගොඩාක් කියනවා ඔබ අහලා ඇති නේද? සමහරවිට විශ්වාස කරනවාත් ඇති.

නොපෙනෙන යකුන්, දෙවියන්ට වඩා බලගතු  පියවි ඇසට පෙනෙන දෙවියන් වන වෛද්‍යවරුන්.

ඔබට කියන්නට තිබෙන්නේ ඔබගේ මෙවැනි ගැටලු නොපෙනෙන කෙනෙක්ගේ බලපෑමකින් සිදු වෙනවා යැයි සිතා බලි තොවිල් කරන්නට මුදල් නිකරුණේ නාස්ති නොකර, හොඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න එක වටිනවා.

කළු කුමාර දෝශය

අද වන විට විවාහ ප්‍රමාධ වන්නේ ඇයි? වරද කළු කුමාරයාගේද?

විවාහය ප්‍රමාධ වීම් ගැන කතා කලොත් අද වන විට තරුණියන් උසස් අධ්‍යාපනය ලබනවා. එවිට අතීතයේ කාන්තාවන්ට වගේ වයස අවුරුදු 18න් 20න් විවාහා වෙන්නට අද කාන්තාවන්ට අපහසුයි.

හඳහන් පස්සේ දුවනවාද?

ඒ වගේම හඳහන්, වෙලාවල්, පොරොන්දම් පසු පස හැල්මේ දුවන දෙමව්පියන්, වැඩිහිටියන් නිසාත්, ඒවා පසු පස අනවශ්‍ය විශ්වාසයන් සහිතව යන තරුණ අය නිසාත් විවාහ ප්‍රමාධ වෙන්න පුලුවන්.

ජෝතීෂ්‍යකරුවන් දෙන දින

මොකද විවාහයට ගලපන්නේ ජෝතීෂ්‍යකරුවන් විසින්. නැකැත් හදන්නේත් ඔවුන්. ඉතින් විවාහයට දින දෙන්නේත් ඔවුන්. සමහර වෙලාවල් වලට සුබ වේලාවක් නැතැයි කියා මාස ගණන් නොව, අවුරුදු ගණන් විවාහය කල් දමනවා. වයසත් ගත වෙනවා. නමුත් ජෝතීෂ්‍යකරුවන් මඩිය තර කර ගනු ලබනවා.

පහු වෙලාද විවාහා උනේ?

එවිට කාන්තාවකගේ හොඳම කාලය ගෙවී යන්න පටන් ගන්නවා. සරු බව වියැකෙන නිසාත් දරුවන් ප්‍රමාධ වෙන්න පුලුවන්. එහෙමත් නැතිනන් අද වන විට කාන්තාවන්ට සුලබව ඇති පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් වගේ තත්වයන් නිසාත් දරු පල ප්‍රමාධ වෙන්න පුලුවන්.

දරු පල ප්‍රමාධයක් නම් කළු කුමාර දෝශය ට එය බාර නොකර නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න

අද පවතින ආහාර රටා, සෞඛ්‍ය රටා සහ සමාජීය රටා නිසා මෙවැනි තත්වයන් උද්ගත වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක වයස 35ට අඩු කාන්තාවක් නම්, විවාහයෙන් පසු වසරක් උත්සහ කරලාත් දරුවන් පිළිසිඳ ගැනීමක් ගැන ආරංචියක් නැතිනම් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසු වෙනවා.

වයස අවුරුදු 35ට වැඩි කාන්තාවක් නම් මාස 6ක් උත්සහ කරලාත් ගැබ් ගන්නේ නැති නම් වෛද්‍ය උපදෙස් ගත යුතු වෙනවා.

නුවණක්කාර තීරණය

ගැබ් ගන්නේ නැත්නම් වෙලාවල් බල බල, කළු කුමාර දෝශය කියලා හිතලා බලි තොවිල් වලට වියදම් නොකර ඒ මුදල් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් කිරීම නුවණට හුරු වෙනවා.

මිනිස්සු හදා ගත්ත කළු කුමාර දෝශය නැත්නම් තනිකම් දෝශය

හුදෙක් කළු කුමාර දෝශය කියන්නේ ලංකාවේ අතීත මිනිසුන් විසින් මවා ගත්ත සිතිවිල්ලක් වන අතර නැතිනම් එහි බලපෑම සමස්ථ ලෝකයටම තිබිය යුතුයි.

වෛද්‍ය ප්‍රතිකාර කලත් දරුවෙක් පිළිසිඳ ගන්න පමා වෙන අවස්ථා තිබෙනවා. එවිට ඉතා ඉවසිලිවන්ත ලෙස රෝග නිධානය සොයා ගත යුතු වෙනවා. එයට යම් කාලයක් ගත වෙනවා.

විවාහයේ සතුට නැත්තේ කළු කුමාර දෝශය නිසාද?

විවාහයේ සතුට නැති වීමේ දෝශයත් කළු කුමාරයාටම පවරන්නේ නැතිව තමන් අති යම් අඩු පාඩුවක් සිදු වෙනවාද කියලා සිතා බලා එය නිවැරදි කර ගැනීමෙන්, යුතුකම්, වගකීම් හරි හැටි ඉටු කරමින් ආදරයෙන් කැදැල්ල තැනුවොත් විවාහයේ බරපතල ගැටලු මතු නොවේ.

පුංචි පුංචි ගැටලු එන එක හරිම සාමාන්‍ය දෙයක්.ඒවා කළු කුමාර දෝශයක් නිසා නොව ඔබ දෙදෙනාගේ යම් අඩුපාඩුවක් නිසා බව හිතට ගන්න.

නොපෙනෙන බලවේග වලට ඔබව පාලනය කරන්නට තවත් ඔබ ඉඩ දෙනවාද?

කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

නොපෙනෙන බලවේග වලට ඔබව පාලනය කරන්නට ඉඩ දෙන්න එපා. දරිවිවියක්, තරුණියක්, කාන්තාවක් විදියට කුඩා වියේ සිටම අනවශ්‍ය දේවල් වලින් ඔලුව පුරවා නොගෙන හොඳින් අධ්‍යාපනය ලබා ගන්න. මිත්‍යාවට හසු වන්නට එපා. ඒ මත ඔබේ පරපුරෙන් බිම තබා දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යන්න. අලුත් පරම්පරාවට ඒ දේවල් දෙන්න එපා.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

කතන්දර ලිපි