එදිනෙදා අපිට අවශ්‍ය වෙන පුරාණ කෙම් ක්‍රම 25  ක්

එදිනෙදා අපිට අවශ්‍ය වෙන පුරාණ කෙම් ක්‍රම 25  ක්

මේ ‌කෙම් ක්‍රම ඔබත් භාවිතා කරනවාද කියලා බලන්න.

කෙම් ක්‍රම යනු සාම්ප්‍රදායික පැරණි ගැමි විශ්වාස මෙන්ම අත්දැකීම් මත පදනම් වූ සුවිශේෂී ආරක්ෂක ක්‍රමවේදයක්.

එය බොහොම ඈත අතීතයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට දයාද වී  ආවක්ද වෙනවා.

සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ රහස් වෛද්‍ය ක්‍රමයක් ලෙසද කෙම් ක්‍රම භාවිත වෙන අතර අනෙක් ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙන්නක්ද වෙනවා.

කෙම් ක්‍රම වල ආගමනය 

එදිනෙදා අපිට අවශ්‍ය වෙන පුරාණ කෙම් ක්‍රම 25  ක්

අපි රටක් විදියට පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනවා. තාක්ෂය අතින් නොදියුණු ඉතා ඈත අතීතයේ රාවණාගේ අහස් යන්ත්‍රයෙන් ඇරඹුනු ශ්‍රී ලාංකීක ලේ වල ලියවුණ දක්ෂතාවයේ කතාව ඉන්පසු යෝධ වැව් අමුණු පසුකර පැමිණියා. 

සිගීරි ගල උඩට පවා ජලය ගෙන ගිය තාක්ෂණය අදද ලෝකයට විශ්මයක් වෙද්දි ශල්‍යාගාර පහසුකම් ගැන හීනයකවත් ‌නොතිබුන යුගයක සැත්කම් කල බුද්ධදාස රජු පවා පෙන්වා දුන්නේ තාක්ෂනය නොදියුණු වුනත් ඔවුන් දැනුමින් අගතැන් පත්ව සිටි බවයි.

කෙම් ක්‍රමවල පටන් ගැන්ම හා එයට මුල් වුන අය කවුරුන්ද යන්න අවිනිශ්චිතයි. නමුත් ඉතා ඈත අතීතයේ සිට පැමිණෙන බව විශ්වාස කරන අතර එය  අද දක්වාම එදිනෙදා භාවිතා වෙනවා. 

මේ “කෙම් ක්‍රම” බොහෝ බලවත් දෙයක් කියලා බොහෝ මිනිසුන් විශ්වාස කරනවා. කෙම් කරන්නේ ක්‍රියාවෙන් පමණි. නිහඩ පිළිවෙත රැකීම මෙහි ඇති විශේෂත්වයිකි.

මේ කෙම් ක්‍රම හරිම සරල වෙන අතර එදිනෙදා ජිවිතයේ සිදුවෙන දේවල් වලට පිළියම් ලබා දීමක් සිදුවේ.

එදිනෙදා අපිට අවශ්‍ය වෙන පුරාණ කෙම් ක්‍රම 25  ක්

කෙමක් කල පසු අඩබෙර ගසා කියන්නේ නැහැ.

කෙමක් කල පසු අඩබෙර ගසා කියන්නේ නැහැ. එය රහසිගතව තබා ගන්නේ මෙම කෙම් ක්‍රම වල බලය රැක ගන්නලු.

මෙම කෙම් ක්‍රම බොහොමයක විසදුම් ප්‍රතිඵල දායක වුවද ඒවා විද්‍යාත්මකව තහවුරු කර නැහැ.

නමුත් ඒවා කිරීමට පහසු හා  හානිදායක නොවන නිසා බොහෝ අය ඒවා කිරීමට පෙළඹෙනවා.

කෙම් සඳහා සංඛ්‍යාත්මකව භාවිත කරන්නේ  3,  5, 7 , 9 ආදි ඔත්තේ සංඛ්‍යාවන් වන අතර එම සංඛ්‍යාවන්ගෙන් මැතිරීම, ගැට දැමීම සිදු කරනු ලබනවා.

දේව ආකර්ෂණය බලවත්ව යොමුවන බව දැඩිව විශ්වාස කරන බදාදා හා  සෙනසුරාදා කෙම්මුර දිනයන් ලෙස සැලකෙන්නේද මෙම කෙම් ක්‍රම අනුවයි.

බබාට කෙම් ක්‍රම

එදිනෙදා අපිට අවශ්‍ය වෙන පුරාණ කෙම් ක්‍රම 25  ක්

  • අලුත උපන් දරුවෙකු සිටින නිවසේ උලුවස්සේ ලොකුවට  ‘බාලගිරිය අද නොවේ හෙට’ කියලා ලියනවා.

ඒ මගින් නිවසට පැමිණෙන අයගේ අවධානය ඉවතට යොමු වෙනවා.

  • බබා කෑම කන්න හොර නම්  කෑම පිඟාන දරුවාගේ හිස වටා හත් වරක් කරකවා දරුවාගේ කෙළ මිශ්‍රකර කථා නොකර ළිපට දානවා.

එවිට දරුවා කෑම කනවා කියලා විශ්වාස කරනවා.

  • කිරි දරුවන් නින්දෙන් අඩන විට දකුණු අත වෙදඟිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තබනවා.

එවිට නින්දෙන් හැඩීම නතර වෙනවාලු.  

  • කථා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ ටිකක් සුරා ගෙන බබාගේ මුහුණේ කම්මුල ලොකු කළු තිලකයක් තැබීමෙන් ඇස්වහ දුරුවෙනවාලු.
  • බබාගේ නළල මැද කළුපාටින් තිලකයක් තබන්න. එවිට ඇස්වහ කටවහ දුරුවෙනවා.
  • කුඩා ළමුන්ට කක්කල් කැස්ස සැදුන විට, උදේ කපුටා හැඬීමට පෙර, කැහි පිත්තා වැලක් ළඟ පොල්තෙල් පහනක් දල්වා එම වැල ගලවා රෝගී ළමයා කරේ බඳීන්න.

එවිට කක්කල් කැස්ස නවතිනවාලු

රෝග සදහා කෙම් 

  • බෙල්ලේ උළුක්කුවක් ආ විට තමන් නිදාගන්නා කොට්‌ටය අව්වේ දමන්න. එවිට එය සුවවෙනවා.
  • දත් කැක්කුම ඇති විට කතා නොකර නොපීදුණු දෙහි ගසක් ළඟට ගොස් බස්නාහිර දිශාවට ඇති අත්තකින් කොළ ටිකක් කඩා ගෙනැවිත් කොටන්න.

ඉන්පසු දත් කැක්කුම ඇති පැත්තේ කම්මු‍ලේ තබා බදින්න. එවිට දත් කැක්කුම සුවවෙනවා.

  • ඔබට දත් කැක්‌කුම ආ විට කකියන දතෙහි කෙළ යකඩ ඇණයක තවරා කතා නොකර කිරි ඇති ගසක (කොස්‌ ගසක) ගැසීමෙන් දත් කැක්‌කුම සුවවෙනවා. 
  • දත් පණුවන් කෑම සදහා කථා ‌නොකර ගම්මිරිස් ඇට තුනකට උණුවතුර බින්දු 3ක් දමා තළා අදාල දත මුල තබන්න. එය සුව ‌වෙනවාලු.
  • උලුක්කුවක් ඇති විට තුන් කුලුඳුල් කෙනකු ලවා උළුක්කු වූ ස්ථානය අතගානවා. එවිට එය සුවවෙනවාලු.
  • ඇසට කුඩා කෘමියෙකු ඇතුල් වී දැවිල්ල ඇති වුවහොත් ඒ වේලාවේම නැවතී එතැන් සිට පියවර 7ක් නොහැරී කථා නොකර පසු පසට ගමන් කරන්න.

එවිට කෘමියා ඉවතට එනවා.

  • ඇසේ එන නගන ඇති විට  බත නටන විට එන බත් පෙන ගාන්න. එවිට සුවවෙනවා.
  • ඇසේ එන නගන වලට  තුත්තිරි ගසේ ඉස්මද කථා නොකර ගාන්න. එවිට සුවවෙනවාලු.
  • කකුලක්‌ හිරි වැටුනු විට අනෙක්‌ කකුලේ මහපට ඇඟිල්ල පැගීම නිසා හිරිවැටීම ඉවත් වෙනවාලු.
  • ඉක්කාව සෑදුණු විට කතා නොකර කටට වතුර ටිකක් වැඩිපුර ‌බොන්න.

ඉන්පසු දකුණු පාදයේ මාපටැඟිල්ලෙන් වම් පාදයේ මාපටැඟිල්ල තද කරගෙන වතුර ටික උගුරු හතකට බොන්න. එවිට ඉක්කාව ‌‌හොද වෙනවා.

  • ඉක්කා හැදුන විට එකවරම බය කල විටත් ඉක්කාව නතර ‌වෙනවාලු.
  • කකුලේ කට්ටක් ඇනුන විට රාත්‍රියේ සිනී ‌පොලුයි බැදලා නිදාගන්න. පහුවදා කට්ට එයට ඇදෙනවාලු.
  • සිරුරේ ඉන්නන් හට ගත් විට කතා නොකර එම ඉන්නන් ගණන් කර එයට සමාන පරිදි ගල්කැට අහුලා ගන්න.

එක ඉන්නෙකු තුවාල කර කහ දියරෙන් සේදූ තඹ කාසියක් එය මත අතුල්ලා එම කාසිය හා ගල්කැට තුන්මංසලක හෝ සිව්මංසලක දමන්න.

එවිට ඉන්නන් නැති‌ෙවෙනවාලු.

එදිනෙදා ජිවිතයේ කෙම් ක්‍රම

කෙම් ක්‍රම

  • ඇස්වහ කටවහකාරයකු යමක් දෙස බලා කිසිවක් කියන විට හිමිකරු විසින් ‘තූහ්’ කියා කෙළ පහරක් ලබනවා. එතකොට ඇස්වහ පිච්චෙනවාලු.
  • බළළෙකු වාහනයට හැපුණු විට එහි රෝද හතරටම එක බැගින් දෙහි ගෙඩි හතරක් තබා ඒවා තැළී යන්නට වාහනය පදවන්න. එවිට දොස් නැති වෙනවාලු.
  • කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීන්න. එවිය කුහුඹුවන් ඉවත් වෙනවා.
  • විවාහවන විටදී පෝරුව මත සහල් අතුරනවා. එවිට ආරක්ෂාවක් ලැබෙනවාලු.
  • ගෙට මෙරුවන් එන විට නම නොකියා කථා නොකර කොළ අත්තක් කඩා පිටි අතට ගෙන ගෙයි එල්ලන්න. එවිට මෙරුවන් ගෙට එන්නේ නෑලු.
  • මැසි කරදරයට කථා නොකර පැගිරි තෙල් ඉසින්න. මැස්සන් ඉවත් වෙනවා.

මේ වගේ ‌කෙම් ක්‍රම ‌බොහොමයක් එදිනෙදා ජිවිතයේදී අපි ‌භාවිතා කරනවා. ඇත්තටම ‌මේ  අල්පයක් විතරයි.

ඔබත් දන්න ‌මේ වගේ ‌කෙම් ක්‍රම තියෙනවාද? එහෙනම් මිතුරු අම්මලා එක්ක ‌බෙදාගන්න පහලින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි