පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

මේ පුංචි ක්‍රියාකාරකම් තුලින් ඔබේ පුංචි පැටියාට අලුත් අත්දැකීමක් මෙන්ම විනෝදයක්ද ලැබේවි.

පුංචි පැටව් පුංචි කාලේ ඉදලා නිර්මාණශීලි කරන්න ඕනී. එයාලාට පුංචි කාලේ ඉදලාම ස්වාධීනව හිතන්න පුරුදු කරන්නත් ඕනි.

ඒ තුලින් තමා දරුවාට දවසක නව නිර්මාණයක් වුනත් කරන්න පුලුවන් වෙන්නේ, මේ පුංචි ක්‍රියාකාරකම් තුලින් ඔබේ පුංචි පැටියාට අලුත් අත්දැකීමක් මෙන්ම විනෝදයක්ද ලැබේවි.

1. පොල් මිරිකන්න

පුංචි දරුවන්ට පොල් මිරිකන්න ලබා දීම තුලින් දරුවාගේ අතේ ඇගිලි වල නම්‍යශීලී භාවය වැඩි දියුණු වන අතර දරුවාගේ අත් අකුරු වලට මනා හැඩයක් ලබා දීමට හේතු වේ.

02. වැලි තලයේ චිත්‍ර අඳින්න

පුරාණයේ පවා දරුවන්ට අකුරු කරන්න භාවිතා කලේ වැලි පිල්ලකි. ඒ මගින් අපහසු අකුරු ලිවීම දරුවාට පහසුවෙන් ඉගෙන ගත හැකිය.

ඔබේ මිදුලේ ඇති වැලිතලයේ දරුවාට චිත්‍ර අදින්න අකුරු ලියන්න ඉඩ දෙන්න. ඔබත් දරුවා සමග ඒ සදහා එකතු වෙන්න . එවිට දරුවා ඒ මගින් යමක් ඉගෙන ගන්නවා මෙන්ම විනෝදයක්ද ලබාවි.

03. මැටි රෑප හදන්න

මැටි ඇනීමද දරුවාගේ අතැගිලි වලට හොද ව්‍යායාමයක් ලබා දෙනවා. මේ සදහා සුදුසුම මැටි වර්ගය වන්නේ කිරි මැටියි. මැටි භාවිතා කර විවිධ දේවල් තැනීම තුලින් දරුවාගේ නිර්මාණශීලිත්වයද වර්ධනය වේ.

04. විවිධ කොල එකතු කරන්න

විවිධ කොල වර්ග එකතු කරන්න දරුවාට ඉඩ දෙන්න. ඉන්පසු ඒවායේ හැඩය වර්ණ ඔබට විස්තර කරන ලෙස දරුවාට කියන්න.පසුව දරුවා ලගට අරන් ඒ ඒ කොල අයිති ගස් ගැන පුංචි අදහසක් දරුවාට ලබා දෙන්න එය අවස්ථාවක් කර ගන්න.

විවිධ විෂ වර්ග, දළඹුවන් හා කිරි වර්ග වැනි හානිකර තිබිය හැකි බැවින් ඒ පිලිබඳවද සැලකිලිමත් වෙන්න.

05. කුරුලු පිහාටු එකතු කරන්න

දරුවාට විවිධ හැඩැති විවිධ වර්ණ කුරුලු පිහාටු අහුලන්න දරුවාට ඉඩ දෙන්න. ඒ පිහාටු අයිති කුරුල්ලන් ගැන දරුවාට කියාදෙන්න ඔබට පුලුවන්.

දරුවා සමග එකතු වී කුරුලු පිහාටු අලවා පුංචි පොත් පිංචක් හදන්නත් ඔබට පුලුවන්.

06.විවිධ  හැඩ ඇති ගල් එකතු කරන්න.

ගංගාවක, ඇල දොලක නාන්න ගියහම විවිධ හැඩැති ගල් දරුවා සමග එකතු කරන්න . මුහුදු වෙරලක නම් සිප්පී කටු එකතු කරන්න පුලුවන්. ඒ තුලින් දරුවාට ස්වභාව දහමේ අපූර්ව හැඩයන් ගැන ඉගෙන ගන්න පුලුවන්.

07.විවිධ වර්ණ මල් එකතු කරන්න

දරුවාට පුංචි මල් වට්ටියකට විවිධ මල් එකතු කරන්න දෙන්න. ඉන්පසු ඒවා පෙති ගණන අනුව වර්ණ අනුව ගොඩවල් වලට වෙන් කරන ලෙස දරුවාට කියන්න.

එය දරුවාට අපූරු පාඩමක් වේවි නේද?

08.වෙසක් කූඩුවක් සරුංගලයක් නිර්මාණය කරන්න.

මේකත් පුංචි සරල වැඩක්, දරුවා එක්ක එකතු වෙලා සරුංගලයක් , වෙසක් කූඩුවක් නැත්තම් වෙනත් සැරසිල්ලක් නිර්මාණය කරන්න. එයට වර්ණ, හැඩයන් තේරීමට දරුවන්ට ඉඩදෙන්න.

ඉන්පසු හැකිනම් දරුවාට තනිව නිර්මාණයක් කරන්න ඉඩදෙන්න. එය අගයන්න.

09.විවිධ  කලා මාධ්‍ය  අත්හදා බලන්න.

සාමාන්‍ය පාට කූරු , පාට පැන්සල් වලට අමතරව දියසායම් වැනි වෙනත් මාධ්‍ය මෙන්ම කොලාජ්, ඒවගේම වැලි ලී කුඩු භාවිතය , ස්වාභාවික ශාක වර්ණ භාවිතය වැනි වෙනස්  කලා මාධ්‍ය අත්හදා බලන්න. එය දරුවාට අලුත් දැනීමක් මෙන්ම නිර්මාණශීලිත්වයද ලබා දේවි.

10.පුංචි පුංචි අත් වැඩ

අන්තර්ජාලයේ කල හැකි සරල අත්වැඩ ඕනතරම් තියෙනවා. ඉන් එකක් දෙකක් තෝරා ගෙන දරුවා සමග එක්වී යමක් හදන්න. එය මලක්, සතෙක් නැතිනම් නව නිර්මාණයක් වෙන්නත් පුලුවන්. එමගින් දරුවාට අලුත් අත්දැකීමක් මෙන්ම දෙමාපියන් සමග ගත කිරීමටද කාලයක් ලැබේවි.

නිවාඩු කාලයේ නැතිනම් සති අන්තයේ ඔබේ පුංචි පැටියා එක්ක මේ අත්දැකීම් ලබාගන්න.