theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා

8 අවම කියවීම
කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණාකිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා

කිරි අම්මාවරුන්ගේ දානය හරියටම ‌දෙන විදිය දැනුවත් ‌වෙමුද?

කිරි අම්මා දානය ගැන ඔබ දැනුවත්ද? සමහර දාක හිරු එළිය වැටෙන්නත් පෙර අන්ධකාරය මැදින් සුදුවතින් සැරසී දානයට වඩින කිරි අම්මාවරුන්ගේ සිත නිවන දසුන ඔබ දැක ඇති, කිරි අම්මාවරුන් එලෙස වඩින්නේ කිරි අම්මා දානය පිළිගන්නයි.

ශ්‍රී ලංකාවේ කිරි අම්මා වරුන් වෙනුවෙන් දෙන දානය ප්‍රදේශ අනුව සුළු සුළු වෙනස් කම් වලින් යුක්ත වුනත් එය පත්තිනි මැණියන් වෙනුවෙන් දෙන දානයක්. කිරි අම්මාවරුන්ගේ දානය ශ්‍රීලංකාව තුල ආවේණික මුළුමනින් ම මිහිරි කවි ගායනයෙන් පූජාවකි. මෙම කවි මුඛ පරම්පරාවෙන් පැමිණෙනවා.

කිරි අම්මා දානය: පත්තිනි මැණියන්

පතිවෘතා බලයෙන් අග තැම්පත් ඒ නිසාම දිව්‍යත්වයට පත් දෙවගනක් ලෙස පත්තිනි මැණියන් සලකනු ලබනවා. දැනට නවගමුවේ පිහිටි සත් පත්තිනි දේවාලයේ ප්‍රධාන කොට ගෙන රටපුරා වෙන්වු දේවාල වල පුද පුජා කටයුතු සිදු කෙරෙන්නේ පත්තිනි මැණියන් වෙනුවෙන්.

විශේෂයෙන් පුංචි දරුවන්ට,ගර්භණී මාතාවන්ට,දරුවන් බලාපොරොත්තු වෙන කාන්තාවන්ට පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව ලැබෙන බවට තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ වගේම පත්තිනි දේවිය වෙනුවෙන් පුදනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය බොහෝ හාස්‌කම් හා අනුහස් වලින් යුක්තයිලු.

කිරි අම්මා දානය: කිරි අම්මාවරුන්ට දෙන දාන දෙන්නේ ඇයි?

මේ දානය බොහෝ දුරට කෙරෙන්නේ බෞද්ධ පසුබිමක් ඇති නිවෙස් වලයි. කිරි අම්මාවරුන්ගේ දානයක් දීමෙන් පවුලේ දියුණුව, ඇස්‌වහ කටවහ දුරුවී යක්‌ෂ, ප්‍රේත, භූත ආදීන්ගෙන් ඇතිවන උපද්‍රව දුරු වෙනවාලු.

කිරි අම්මාවරුන්ගේ දානයක් බාර හාර වෙන විශේෂ අවස්ථා

  • ලෙඩ රෝග වලදී
  • දරු උපත් වලදී
  • දරුවන්ට ආරක්ෂාව පතා
  • දරු ඵල පතා
  • ගොවිතැන් කටයුතු වලදී
  • පවුලේ දියුණුව සදහා වාර්ෂිකව

කිරි අම්මා දානය සදහා කිරි අම්මාවරුන් තෝරා ගන්නේ කෙසේද?

කිරි අම්මා වරු තෝරා ගැනීම ඉතාම පරිස්සමෙන් කල යුතු කාර්යයක්, පත්තිනි මැණියන් නියෝජනය සිදුවෙන කාන්තාවන් ඉතාම ප්‍රතිපත්ති ගරුක, ආගමානුකූල  අය වීම අත්‍යවශ්‍යයි.
ඒ වගේම දේව කාර්යයන්හී දී කිලි වලින් තොර වීම අනිවාර්යය වෙනවා.

වැදුම් කිල්ල, මරණ කිල්ල හා කොටහළු කිල්ල ඉන් ප්‍රධාන වන අතර කාන්තාවන්ගේ  මාසිකව හටගන්නා කිල්ලද මෙහිදී සැලකෙනවා. කිරි අම්මාවරුන්ට එම දානයට පෙරදිනයේ ආරාධනා කරනු ලබන්නේද මේ සියලුම කිලි වලින් තොර බවට වගබලා ගැනීම සදහායි.

පත්තිනි මැණියන් නියෝජනය වන අම්මාවරුන් සත් දෙනා

  • සිද්ධ පත්තිනි
  • සලඹ පත්තිනි
  • අඹ පත්තිනි
  • මල් පත්තිනි
  • ගිනි පත්තිනි
  • දේව පත්තිනි
  • සත් පත්තිනි
මේ කිරි අම්මා වරු නියෝජනය කරමින් ඕනෑම කාන්තාවන්ට ඒ සදහා සහභාගී වෙන්න බැහැ.
ඒ සදහා සාමාන්‍යයෙන් ආරාධනා කරන්නේ පති භක්තියෙන් යුත් කිරිදෙන තරුණ ආගමානුකූලව ජිවත්වෙන කාන්තාවන්ටයි.
ඒ වගේම අනිවාර්යයෙන්ම පහත කාන්තාවන්ට ඒ සදහා ආරාධනා නොකරන්න.
  • ඉතා මහළු කාන්තාවන්
  • සුව කළ නොහැකි රෝගවලින් පෙලෙන කාන්තාවන්
  • අන්ධ හෝ බිහිරි කාන්තාවන්
  • අංග විකල හෝ අපස්‌මාර රෝගී කාන්තාවන්
  • කලින් දරුවන් ලැබී ඔවුන් මිය ගිය කාන්තාවන්
  • වැන්දඹු කාන්තාවන්.
  • වඳ කාන්තාවන්
  • මස්‌ මාළු විකුණ හෝ මත්පැන් පානය කරන කාන්තාවන්
  • ගණිකාවන්,දුරාචාරයේ යෙදෙන්නියන්
  • කේලාම් කියමින් උනුන් කොටවන කාන්තාවන්
මීට අමතරව ගර්භණී මව්වරුන්, දරුවන් බිහි නොකල හා අවිවාහක කාන්තාවන් මේ සදහා ආරාධනා නොලබයි.

කිරි අම්මා දානය සදහා සුදානම් වීම

කිරි අම්මා වරුන්ට ආරාධනා කිරීම

පළමුව කිරි අම්මාවරුන්ගේ දානය සදහා සුභ සහ කිළි රහිත දිනයක් තෝරා ගන්න. අතීතයේදී විශේෂයෙන් සෙනසුරාදා හෝ බදදා දිනයක් මේ සඳහා තෝරා ගත්තද දැන් නම් සතියේ පහසු දිනයක් තෝරා ගන්න ඔබට පුළුවන්.
නිවැසියන් දානයට දින තුනක් කලින් සිටවත් මස් මාළු වලින් තොර නිර්මාංශ විය යුතුය.
සමහර අය නම් සතියක් එනම් දින හතක් නිර්මාංශ වෙනවා.
නිවස සම්පුර්ණයෙන්ම පිරිසිදු කරන අතර සමහරුන් නිවසේ තීන්ත පවා ආලේප කරනු ලබනවා.
කිරි අම්මාවරුන්ගේ දානයට තෝරා ගත් දිනයට පෙර දින හවස ගෙහිමි කාන්තාව විසින් ඒ සදහා තෝරා ගත් කාන්තාවන්ගේ නිවාස වලට ගොස් බුලත් කොළයක් පිරි නමා ආරාධනා කල යුතු වෙනවා.
කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා

කිරි අම්මාවරුන්ගේ දානයට සකස් කරන කැවිලි

මෙම දානය සඳහා යොදාගනු ලබන්නේ කිරි ආහාර වීම විශේෂ වෙනවා.
  • කැකුළු හාල් කිලෝ 7 ක කිරිබතක් ( කිරිබත් කැට 56)
  • කිලෝ 2 ක කිරියා (කැබලි 56)
  • කැකුළු හාල් කිලෝ 2 ක හැදි කැවුම්(කැබලි 56)
  • කෙසෙල් ගෙඩි 56
මීට අමතරව පහත දේවල්ද සුදානම් කරගත යුතුය.
  • කිතුල් හකුරු කෑලි 8
  • පඬූරු 8 (කාසි)
  • බුලත් විට 8
  • කෙසෙල් කොළ 7
  • ලොකු බෑග් 7
  • මැටිපහන් 08
  • කෝපි කෝප්ප 08
  • කපුරු පෙත්තක්‌
  • පහන්තිර 15 යි
බොහෝ දුරට මෙම අම්මාවරුන් හට පිරිකරක්ද පුජා කරන බැවින් පිරිකර 07 ක්ද පිළියෙළ කරගන්න.

කිරි අම්මා දානය: වත් පිළිවෙත්

සාමාන්‍යයෙන් මෙම දානය කපුටන් හැඩීමට පෙර දී අවසන් කල යුතු  යුතු යැයි සැලකෙනවා.
දානය නොඉදුල්ව තබාගත යුතු බැවින් එහි ලුණු ඇඹුල වත් බලන්නේ නැහැ. ඒ වගේම  පිසූ භාජන පවා වසා තබන්න.
දානයෙන් පසුව ඒවා පිරිසිදු කරන්නේ එම දානය සතෙකු හෝ ඉදුල් නොකිරිමටලු.
කිරි අම්මා වරුන්ගේ දානය උදේ පහට විතර (කොස් නැටි පෙනෙන වේලාවට) අරඹා විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කරනු ලබනවා.
එනම් කහ කැටේට ඉර පෑයිමට පෙර මෙය නිම විය යුතු වෙනවා. එහිදි එක් පත්තිනියකට විනාඩි හත බැගින් වෙන්වෙනවා.
පුරාණයේදී කිරි අම්මා දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කරනු ලබනවා. ඉන්පසු පොල්ගහක කොළ බැඳ කිරි අම්මාලට දානයක්‌ දෙන බවට දිනයක්  පොරොන්දු වී පඬුරක්‌ වෙන් කර බාර වුනාලු.
කිරි අම්මා දානය පිරිනමන දිනයේ දානය පිරිනමන දිනයේ පළමුව කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් සිඳ ඒ මඟින් දානය පිළියෙළ කලා. ඒත් දැන් කාලය  වෙනස් වෙලා. මේ සදහා බාර වීම පත්තිනි දේවාලයේ හෝ නිවසේදී පඬුරක්‌ වෙන් කර සිදු කරනු ලබනවා.

නිවස සුදානම් කීරීම

ගේ සෝදා පිරිසිදු කර සුදුහඳුන් සමග කහපොල් කිරිවලට දියකර ගෙයි පුරා ඉස සාම්බ්‍රානි කට්‌ටකුමංජල් දුම් ඇල්ලිය යුතුය. පැදුරු දෙකක් එලා ඒ මත සූදු සාරියක් එලන්න.  කිරි අම්මාවරු ගේ තුළට වඩින විට මූහූණ සෝදා ගැනීම සඳහා ගෙයි දොරකඩ දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර කෝප්පයක් තබන්න.

කිරි අම්මාවරුන් පැමිණීම

කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා
පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ  
දානෙට සත්දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ  
කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ
කඩුල්ල ලග සිට ප්‍රධාන කිරිඅම්මා සමඟ කිරි අම්මා වරු ගායනා කරනවා. ඉන් අනතුරුව කිරි අම්මාවරු හත් දෙනා නිවෙස ඉදිරිපිට තබා ඇති දිය පිරි බඳුන තුළට දෙහි කැබැලෙන් පිරිසිදු වී නිවසට ඇතුල් වෙනවා.
එම අවස්ථාවේදී කට සෝදා ගැනීමට වතුර වීදුරුව බැඟින්ද ලැබෙනවා. ප්‍රධාන කිරි අම්මා නිවසට ඇතුල් වෙන්නේ පත්තිනි සළඹ හා පත්තිනි මැණියන්ගේ පිංතූරයක් රැගෙනයි.
එම පත්තිනි සළඹ හා පිංතුරය පත්තිනි මැණියන් වෙනුවෙන් වෙන්කල ස්ථානයේ තැම්පත් කරනු ලබනවා. ඉන්පසු ගෘහ මුලිකයා බුද්ධ පුජාව,ගිලන්පස බුදුරාජාණන් වහන්සේට පූජා කරනවා.
ඉන්පසු පත්තිනි මැණියෝ පූජා වට්ටිය පූජා කරනවා.
මුලින්ම සත් පත්තිනි පහනේ තිරය බැගින් කිරි මැණිවරුන් හත් දෙනා විසින් පත්තු කරනවා.
දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා. ඉන්පසු පත්තිනි මැණියන්ට ආරධනා කරනු ලබනවා.
වැඩිමල් පිළිවෙලකට එළා ඇති පිරුවට මත කිරි අම්මාවරු ඉදගන්නවා.
ඉන්පසු පත්තිනි හෑල්ලේ කවි හඬ නගා කියනවා.
කිරි අම්මා දානය
සමහර ප්‍රදේශ වල නිවසේ කොටසක සදුන් දර,කුරුදු දර, කපුරු දාලා යොදා කිරි උතුරන අතර කිරි උතුරා යනතුරු  කවි කියනවා.

දානය පිළිගැන්වීම

කිරි අම්මා දානය
  • පිදවිලි තැබීමේදී උස්‌ අසුනක්‌ මත සුදු පිරුවටයක්‌ එළා ඒ මත කෙසෙල් කොළයක්‌ තබා දෙවියන් වෙනුවෙන් පළමු දානය තැබිය යුතුයි.
  • කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි 07 බැගින් තබා පහනක්‌ දල්වා බුලත්විටක්‌ද ආසනයේ තබන්න.
  • අම්මාවරු ඉඳගත් පසු ඉදිරියෙන් පත්තර කොළයක් හා ඒ මතින් කෙසෙල් කොළයක් එළන්න.  ඒ මතට කිරි ස්වල්පයක් ඉසිනු ලබනවා.
  • කිරිබත් කැබලි දෙක බැගින් මූලින් බෙදන්න. ඉන්පසූ ඉතිරි කිරිබත් බෙදන්න.
  • කැවූම් 7 බැගින් බෙදාගෙන යන්න.
  • පිළිවෙළින් කිරියා කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1, බූලත් විටි 1 හා පඬූරු බෙදා ගෙන යන්න.
  • දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.
කිරි අම්මා දානය
දෙවියන්ට පිං අනුමෝදන් කරනවා. දානය ගෙන අවසන් වන විට කෝපි හෝ තේ කෝප්පයක් පිරිනමන්න. සමහර ප්‍රදේශයන් හි කිරි අම්මාවරුන්ට පිරිකරක්  ලබාදෙන සිරිතක් තියෙනවා.
ඒ සදහා සුදු රෙදිකඩක්, තුවායක්, හාල් තුන පහ , බේසමක් වගේ දෙයක් ලබා දෙන්න පුළුවන්.
කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා අසුරා ගැනීමට  කිරි අම්මලාට උදව් නොකිරීම කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතක් බව අමතක නොකරන්න.

සෙත් සාන්ති කිරීම

කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා
නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උස පොල් තෙල් පහනක් පත්තුකර තැබිය යූතු අතරම එහි පහන් තිර හතක්ද තිර නිවා දෑමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය. දානය  පිළි ගැනීමෙන් අනතුරුව කිරි අම්මාවරු නැගිටලා ආතුරයා ඇතුලු සැමට සෙත් සාන්ති කිරීම කරනවා.
පත්තිනි පහනෙන් කිරි අම්මාවරුන් සත්දෙනා ලොකු පාන්තිර 7 පත්තු කරනවා. එම පාන්තිර නිවැසියන්ගේ හිස වටා කරකවමින් කිරි අම්මාවරුන් සත් දෙනාම ඔවුන්ගේ වස් දොස් යවනවා. ඉන්පසු බාරය නිදහස් කරනවා.
පත්තිනි මැණියන්ගේ ආශිර්වාදයත් ලබා දෙනවා. ඉන්පසු පාන්තිර පොල් කිරි බදුනට දමා නිවා නැවත අසුන්ගන්නවා. ඊලගට කිරිඅම්මාවරුන් පිරිත් කියනවා. පසුව ප්‍රධාන කිරි අම්මා කහමිශ්‍ර කිරි බදුනක් කොහොඹ ඉත්තකින් ගේ පුරාම ඉහිනවා.

කිරි අම්මා දානය: කිරි අම්මාවරුන් පිටවීම

කිරි අම්මාවරුන් පිටවෙනවා කියලා කියන්නේ නැහැ . ප්‍රධාන කිරි අම්මා පත්තිනි දෙවියන්ගේ පිංතුරය හා සළඹද දානයේ ඉතිරි කොටසද අරගෙන නිවසින් පිටවෙනවා.
ඒ අනුව ඉතිරි කිරි අම්මාවරුන් සය දෙනාද පිලිවෙලට පිටවෙනවා. මෙහි තවත් සිරිතක් වන්නේ දානය රැගත් කිරි අම්මලා පසු නොබලාම නොනැවතී නෙපෙනෙනෙ දුරක් යාමයි.
සමහර ප්‍රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්‍රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යෑමත් කරනවා. පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.
කිරි අම්මාවරු වඩිනා වේලේ
මල් වරුසාවක්‌ වැස්‌සයි දෑලේ
ඒ මල් අවුලා අමුණන මාලේ
කිරි අම්මාකල ලෙඩ නැත ආලේ
මෙහි සුවිශේෂී කරුණක් වන්නේ සත් පත්තිනි පහන දැල්වෙනුයේ දානය සඳහා වැයවන කාලය තුළදී පමණක් වීමයි. කිරි අම්මාවරු පැමිණෙන විට පහන පත්තු වෙන්නේ නැහැ . ඒ එක් එක් තිරය බැගින් පත්තු කරනුයේ කිරිඅම්මාවරුන්ය.
දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.
සමහර ප්‍රදේශ වල දානය අවසානයේදී නිවැසියන් පත්තිනි දේවාලයට පළතුරු වට්ටියක් පූජා කර භාරය සම්පුර්ණ කරනු ලබනවා. මෙම කිරි අම්මාවරුන්ගේ දානයේ චාරිත්‍ර ප්‍රදේශ අනුව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
කිරි අම්මාවරුන්ගේ දානය සදහා සහභාගී වෙන අම්මාවරුන් ලබා දුන් තොරතුරු ආශ්‍රයෙන් මෙම ලිපිය සම්පාදනය කරන ලදී.
ජායාරූප සදහා විශේෂ ස්තුතිය ලක්ෂිකා දිල්මිණි මහත්මිය හා වෛද්‍ය රජීව් ආනන්ද මහතා.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා
බෙදාගන්න :
  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

  • අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

    අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

  • අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

    අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it