ගෙදරදීම හදාගත්ත මැටි වලින් දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි. 

ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් මැටි වලට සමානවම ක්‍රියාකාරකම් කළහැකි සෙල්ලම් මැටි හදාගන්නා හැටි ඔබ දන්නවද?

දරුවන්ගේ මොලයේ වර්ධනයට ඇඟිලි සහ අත්වල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බව මනෝවෛද්‍යවරුන් පවසනවා. ඒ නිසාම පාසල් වල විෂය නිර්දේශයන් තුළ පවා දරුවන්ට මැටි සහ  වැලි සමග සෙල්ලම් කිරීමට අවකාශය දිය යුතු බවට නිර්දේශ කරනවා.

කෙසේ වුවත් දරුවන් මැටි හා වැලි ඇල්ලීමට බෙහෙවින් ප්‍රිය කරනවා. නමුත් බොහෝ විට කාර්යබහුල දෙමාපියන්ට මෙවැනි ඉඩ ප්‍රස්ථාවක් දරුවන්ට ලබාදෙන්න කාලය වගේම ඉඩකඩත් අඩුයි. නමුත් ඒ හේතුව නිසාම දරුවන්ගේ වර්ධනයට අතිශය වැදගත් ක්‍රියාකාරකම් වල වටිනාකම් ඉවත දමන්න බැහැ.

බොහෝ විට වෙළඳසලේ ඇති මැටි මිලදී ගත්තත් ඉන් අම්මලාට හුඟක් පිරිසිදු කරන කටයුතු වැඩි වෙන නිසා කාලයත් සමග සටන් කරන අම්මලාට එය තරමක් අපහසු කටයුත්තක්. ඒ නිසා ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් මැටි වලට සමානවම ක්‍රියාකාරකම් කළහැකි සෙල්ලම් මැටි හදාගන්නා හැටි ඔබ දන්නවද?

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි
චොක්ලට් පවුඩර්
වතුර
පොල් තෙල්   

සාදන ක්‍රමය

චොක්ලට් පවුඩර් වලට පාන් පිටි හොඳින් මුසු කර අවශ්‍ය පදමට ජලය සමග මුසුකොට බෝලයක් ලෙස පදම් කරගන්න. ඉන්පසුව තැන තැන ඇලීම හා ගෑවීම වළකා ගන්න පොල්තෙල් ස්වල්පයක් ඊට මුසුකර නැවත හොඳින් පදම් කර ගන්න.

ගෙදර ඇති ඉවත දමන තරමක් විශාල ඉටි රෙද්දක් වැනි දෙයක් දරුවාට සෙල්ලම් කළ හැකි තැනක එලා මේ අපූරු මැටි ගුලිය දරුවා කැමති ලෙස ක්‍රීඩා කරන්න දරුවාට ලබාදෙන්න.දරුවා ඉන් හුඟක් සතුටු වන හැටි ඔබට අත් දකින්න පුළුවන්. අනික් අතට කුඩා දරුවන් එය කටේ දාගත්තත් ඉන් ඉතා විශාල හානියක් නොවීම මෙහි ඇති අනෙක් වාසිය වෙනවා. ඔබට අවශ්‍ය නම් මෙය සාදාගෙන ශීතකරණයක් තුළ තබා වුවත් ටික දවසක් තියාගෙන දරුවාට අවශ්‍ය වෙලාවට, ඔබට ඉඩ ඇති වේලාවන් වලට ලබා දෙන්න පුළුවන්.

මෙහි ඇති නැවුම් බව වගේම අලුත් අත්දැකීමක් නිසා දරුවන් ඊට කැමති වෙනවා නොඅනුමානයි. අනෙක් අතට මේ මගින් විවිධ හැඩයේ නිර්මාණ කරන්න ඔබට ගෙදරම ඇති රවුම්, ත්‍රිකෝණ ආදිය ලබාදී සූපශාස්ත්‍ර පාඩමක් කරන්නත් පුළුවන්.  

දෙමාපියන්ට දරුවන්ට මේ චොක්ලට් මැටි ගුලියෙන් වෙනස් වෙනස් පාඩම් කියා දෙන්න පුළුවන්. මේ නිසා දරුවන්ගේ,

  • සියුම් පරිකල්පනයන් දියුණු වීම.
  • දරුවන්ගේ ඇස්, ඇඟිලි හා දෑත් ක්‍රියාත්මක වීම හරහා මොලයේ වර්ධනයට උපකාර වීම.
  • ඒකාග්‍රතාවය ඉගෙන ගැනීම.
  • අලුත් නිර්මාණයක අගය ඉගෙනීම.

වැනි බොහෝ වටිනාකම් දරුවන්ගේ ජීවිතයට එක් කරන්න කාර්යබහුල වුනත් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම      සෙල්ලම් කරලා අවසන් වූ විට දරුවන්ට ගත්ත දේවල් නැවත පිළිවෙළට අස්පස් කරන්නත් ඒ සමග ඉගැන්වීමෙන් ඔබට වැඩිවෙන වැඩ අඩුවෙනවා වගේම දරුවනුත් පිළිවෙළට වැඩකරන්න ඉගෙන ගන්නවා.