හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

ඔබේ දරුවාට මහ මග මරුවාට බිලි ‌නොකරන්න.

මෝටර් බයිසිකල් අනතුරු බහුල රටක් ‌වෙන ශ්‍රීලංකාව තුල ‌මේ හ‌ේතුවෙන්  අහිංසක මල් කැකුළු ‌‌ගොඩාක් අකලට පරව‌ෙනවා.

වෛද්‍යවරියක වු කසුනි රණවීර මහත්මිය සිය රැකියා ජිවිතය තුල මුණ ගැසුන ‌වළක්වාගත හැකි අනතුරු පිළිබද ‌තොරතුරු අන් අය හා ‌බෙදා ගනිමින් විශිෂ්ට ‌සේවයක් කරනවා. 

අපට ඒ පිළිබද අවබෝධය ලබා දී ඉදිරි අනතුරු වැළැක්වීම ඇයගේ අරමුණයි. ‌මේ සම්බන්ධ ලිපියක් ඒ මහත්මිය විසින් එතුමියගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබුනා.  ඒ පිළිබඳව ‌මේ වටිනා දැනුම එතුමියගේම වචන වලින් ඔබ වෙත ගෙනහැර පානවා.

ඒ 2018 වසරේ ජනවාරි මාසයේ දිනයකි.

මම හවස වැඩමුරයේ රෝහලට රෝගීන් බලා ඇතුලත් කරන වෛද්‍යවරිය ලෙස සේවයට වාර්තා කලා පමණි.

මා ඉදිරියට කලබලයෙන් මෙන් ට්‍රොලියක් ඇදගෙන දිව ආවේ කණිෂ්ඨ සේවකයින් දෙදෙනෙකි.
පුරුදු පරිදිම පර්‍යන්ත කුඩා රෝහලකින් අප රෝහලට රෝගියෙකු මාරු කර එවීමකි.

"අනේ මැඩම් මේ දරුවා බලන්න. වැඩක් නම් නැහැ වගෙයි. ඒත් බලන්න." අපේ සර්රුත් ආවා.
"මෙයාගෙ අම්මවත් ගෙනාවා අපි, එයත් එක්ක සර් ETU එක ඇතුලට ගියා."
("අපේ සර්" යනු ඔවුන්ගේ රෝහලේ වෛද්‍යවරයාය. අසාධ්‍ය රෝගියෙකු මහ රෝහලකට මාරු කර එවීමේදී රෝගියා සමග කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයට අමතරව වෛද්‍යවරයකුද, හෙදියකද එවීම සිරිතයි. ඒ අතරමගදී රෝගියාට අමාරු වුවහොත්, ගිලන්‍ රථයේදීම අවශ්‍ය ප්‍රතිකාර කිරීමටය.)

"මොකක්ද වුණේ? RTA එකක්ද?", (Road Traffic Accident) විගස දරුවා වෙත යමින්ම මම ඇසුවෙමි.

ට්‍රොලියක තැබූ පුංචි සිරුරක් ඉහේ සිට සුදු රෙද්දකින් වසා තිබිණි. බැලූ බැල්මට ඇගේ වම් කකුල දකුණට වඩා කෙටි වී ඇති බව දුටිමි. එනම් අනතුරින් අනිවාර්යයෙන්ම ඇගේ වම් පාද අස්ථිය (ඌර්වාස්ථිය (femur) උකුල් ඇටය ආසන්නයෙන්ම බිඳී ගොස් තිබිය යුතුය.

"ඔව් මැඩම්. මෙයාගෙ අම්මා scooty pep එකක මෙයාව ඉස්කෝලෙන් අරන් එද්දී කොන්ට්‍රෝල් නැතුව ගිහින් කණුවක හැපිලා.  අම්මගේ අත් දෙකම මැණික් කටුව ලඟින් කැඩිලා. හොඳටම bleeding. ඒකයි අපේ සර් රුත් ආවේ. දරුවා නම් වැඩක් වෙන්නෑ වගේ, නේද මැඩම්..?"

කණිෂ්ඨ සේවක මහතාගේ කතාව අතරම දරුවා පරීක්ෂා කළෙමි.

මෝටර් බයිසිකල් අනතුරු: මිය ගිය දියණිය

සුදු රෙද්ද ඉවත් කළ මා දුටුවේ කුමක්ද? පාසල් ඇඳුමින්ම සිටි පුංචි දියණියගේ හිසේ වම් පැත්ත එහෙම පිටින්ම තැලී ගොසිනි. ඇය අනිවාර්යයෙන්ම හෙල්මටයක් පැළඳ නොසිටින්නට ඇත .

වම් උකුල් ඇටය ආසන්නයෙන් පාද අස්ථිය පමණක් නොව අදාල සියළු අස්ථි හා පටක, මාංශ සියල්ල ඇඹරී තැලී ගොස් තිබුණි. ඇය අවසන් හුස්ම හෙළා පැයකට වැඩි බව ඇය පරීක්ෂා කිරීමෙන් මම තේරුම් ගතිමි. ඔවුන් කීවා නිවැරදිය.

අනතුර වූ ස්ථානයේදීම පුංචි දියණිය මියගොස් තිබූ අතර, අසාධ්‍ය තත්වයෙන් සිටි ඇගේ අම්මාව, පර්‍යන්ත රෝහලේ සිට මෙහි එවන විටම මෘත ශරීරාගාර පහසුකම් නොමැති හෙයින් දියණියගේ මළ සිරුරද එවා තිබිණි .

නමුත් අප රෝහලට භාරගැනීමේදී ඇය ජීවත්ව නොසිටි බවට මා විසින් පරීක්ෂා කොට සහතික කළ යුතු බැවින් මම, කඩා වැටෙන මව් හදවතකින් යුතුව ඇගේ දේහය පරීක්ෂා කොට අදාල සටහන් තැබීමි.
Heart sounds - nil
Respiration - nil
Pupils - fixed dilated
Temperature - cold

කණිෂ්ඨ සේවක මහතා මහත් සොවින් කියවයි.

"මැඩම් මේ පවුලට මෙයා විතරයි දරුවා. මං ටිකක් දන්නවා, අපේ ගෙවල් පැත්තේ. තාත්තා රට ගිහින් මෙයාලට සැප දෙන්න හම්බ කරන්න . ලබන මාසේ 5 එයා ලංකාවට එනවලු මේ දුවගෙ birthday එකට. දැන් මේ අම්මා ඒ මනුස්සයට මොනවද අයියෝ කියන්නේ..."

"කීයද වයස දරුවට?"

"පහයි මැඩම්. ඉස්කෝලෙට දාලා සති දෙකයි..."

"ඔය scooty pep වසංගතේ මේ ලංකාවෙන් තුරන් කරන්න ඕන. දවසකට කීයක් නම් එනවද scooty pep අනතුරු... කීයක් නම් මැරෙනවද? ඔක්කොම ගෑණු!"

මගේ ලොකු පුතුගේ වයසේම වූ ඒ පුංචි දියණිය වෙනුවෙන් වූ අපමණ සොවින් වුවද මගේ මුවින් මේ ටික පිටවූයේද එපමණම ආවේගයෙනි.

මවක‌‌ගේ අවසාන සුසුම උදුරාගත් අනතුර

ඊට හරියටම මාස 2 කට පමණ පෙර මාා වෙත මෙලෙසින්ම පර්‍යන්ත රෝහලකින් මාරු කර එවා තිබුණේ වයස අවු.45 ක පමණ කාන්තාවකි.

මා දකින විට හොඳ සිහියෙන් සිටි ඇගේ හිසේ ඉතා ගැඹුරු අස්ථි බිඳුමක් විය. හිස් කබල පසාරු කරගෙන මොළය අභ්‍යන්තරයටම ගිය එවැනි තුවාලයක් සමග ඈ තවමත් හොඳ සිහියෙන් සිටීම මට තරමක පුදුමයක් ඇති කලත්, අප ඉගෙනගත්, බරපතළ අනතුරකින් පසුව ඇතිවන lucid interval නම් තත්වය විය හැකැයි සිතුණෙන් වැඩිදුර විස්තර නොඅසාම, වහාම ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළෙමි.

ඇයව ජීවත් කිරීමට හැකි වේදැයි යන සැකය පළමු වරට මට ඇතිවූයේ ඇගේ තුවාලය දුටු විටය.

හදිසි ප්‍රතිකාර ඒකකයේදී ඇයට බරපතළ වලිප්පු තත්වයක් ඇතිවූ අතර වෛද්‍යවරුන් 4 දෙනෙකුගේ සහ අවශේෂ කාර්‍යමණ්ඩලයේ බලවත් පරිශ්‍රමය වතුරේ හෙළමින් ඇය අවසන් හුස්ම හෙලුවාය.

"ඉතින්... මෙයාට මොකද වුණේ ?" ප්‍රතිකාර අවසානයේ documentary work සඳහා මම ඇය රැගෙන ආ කාර්‍ය මණ්ඩලය විමසීමි.

"මැඩම්, මෙයා scooty pep එකක ගිහින්, නින්ද ගිහින්! පාර අයිනේ අර යකඩ බාර් වල වැදිලා. මේ අපිත් එක්ක එන ගමන් හොඳට කතා කර කර ආවේ මැඩම්, අපිට වෙච්ච විස්තරේ ඔක්කොම කිව්වා."

"මොනවද කිව්වෙ?"

ඒ විස්තරය ඇගේ වචන වලින්ම කිවහොත් මෙසේය.

"මම උදේ පාන්දර 4ට නැගිටලා උයලා, මහත්තයට‍යි ලොකු දුවටයි බත් බැඳලා, එයාලව පිටත් කරලා, ඊටපස්සෙ චූටි පුතාවත් ලෑස්ති කරවලා, එයාව මගේ bike එකේ (scooty pep) තියාගෙන ඉස්කෝලෙ ගෙනිච්චා.
ගෙදර එන ගමන් පොළෙන් බඩුත් අරන් ඇවිත්, දවල්ට උයලා, රෙදි ටික හෝදලා ඉවර වෙද්දි පුතාව ඉස්කෝලෙන් ගේන්න වෙලාව හරි.
ඒ පාර ආයෙ බයික් එකේ ගිහින් එයාව ගෙනත් ඇඟ හෝදවලා, කවලා, පන්ති දාන්න එක්කන් ගියා.
එහෙම ගිහින් එන ගමන් මට නින්ද ගියානෙ!
පාරෙන් පැනලා මොහොකදෝ හැපෙනවා විතරයි මතක.."
"මට හුඟක් තුවාලද?"

ඇය රෝහල් සේවකයින්ගෙන් එහෙමත් අසා ඇත. ඔවුන් ඒ බව මට කීවේද මහත් සන්තාපයකිනි.

"එහෙන් එද්දි අපේ සර්ත් කිව්වා මැඩම් බේරන්න අමාරු වෙයි කියලා." ඔහු තවදුරටත් කීය.

මෝටර් බයිසිකල් අනතුරු වළක්වා ගනිමු

කාන්තාවෙනි, වැඩි යමක් නොකියමි. ඔබ සියල්ලෝම වැඩිහිටියෝය. කරුණාකර ප්‍රවේශමෙන් රිය පදවන්න.

එය හරිහැටි නොදන්නේ නම් නොපදවන්න. මාර්ග නීති පිළිපදින්න. ප්‍රමාණවත් විවේකයක් ගන්න.
ඔබ ජීවත් විය යුතුය. ඔබේ දරුවෝ ඊටත් වඩා කල් ජීවත් විය යුත්තාහ.

ප.ලි. : කාන්තාවන් වැඩිපුර පාවිච්චි කරන මෙම මෝටර් බයිසිකල් වර්ගය හෝ එහි නිෂ්පාදකයන් හෝ ආනයනය කරන්නන් සමග මගේ කිසිදු පෞද්ගලික තරහක් නැත.

කාගේ හෝ කුමන හෝ තැනක ඇති වරදක් නිසා, වෛද්‍යවරුන් ලෙස අප දකින බොහෝ කාන්තා රිය අනතුරු රෝගීන් 90% ක්ම පැමිණෙන්නේ scooty pep වල නැගී යාමෙන් පසු බව දිගු කාලීන නිරීක්ෂණයකින් පසු හැඟී ගියෙන් මෙය ලිවීමට සිත් විය.

- කසුනි රණවීර
උ.ගැ. පේජ් එකට ලයික් එකක් දාගෙනම යන්න