සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

සතියේ කෑම සැලැස්මක් තියෙනවා නම් අපි කොයි කාටත් පහසුයි නේද? මේ එවන් මවක් නිර්මාණය කරගත් ආහාර සැලසුමක්. ඇය දවස කොතරම් පහසුවෙන් කළමණාකරනය කර ගන්නවාද බලන්න.

සතියේ කෑම සැලැස්මක් තියෙනවා නම් අපි කොයි කාටත් පහසුයි නේද?  අපි අතරේම ඉන්න මවක් ඒක ටිකක් වෙනස් විදියට හිතුවා. ඒ  සසිරික ෆේස් බුක් පිටුව කරන සොහොයුරියයි.

ඇය මේ සටහන් තබන්නේ ඇයගේ දියණිය වෙනුවෙන්. ඒ වගේම අනෙක් අම්මලාට හොද මගපෙන්වීමක් කිරීමත් ඇයගේ අරමුණ වෙනවා.

ඇය විසින් ඇයගේ ෆේස් බුක් පිටුවට ලියන ලද වැදගත් ලිපියක් ඇයගේ අවසරය සහිතව ඇයගේ වචනයෙන් අපි අද ඔබ වෙත ගෙන එනවා.

සතියේ කෑම ගලපන ආකාරය

සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

මම දැකලා තියනවා සමහර අපේ ගෘහනියන් දවසේ වැඩි වෙලාවක් කරන්නෙ උයන එක.

උදේට කෑම හදනවා, ආයෙ දවල්ට හදනවා, ඊලගට රෑට හදන්නෙ මොනාද හිතනවා. ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ.
සතියට එලවලු ගෙනත් තියනවනම් fridge එකේ දොර ඇරගෙන කල්පනා කරනවා.

මගේ විදියනම් මීට වෙනස්. මම සතියේ කෑම වේල් plan කරලා මගේ කුස්සියේ බිත්තියක අලවලමයි තියෙන්නෙ.
මම එලවලු ගලපන්නෙ එලවලු මිලදීගන්න විටදීමයි.

මම එලවලු ගන්නෙ නම් Cargills එකෙන්. මේ මෑතක ඉදන් පටන්ගත්තා එකට උයන එලවලු දෙක එක shopping bag එකකටම දමාගන්න. එතකොට මගේ තව වැඩක් එතනදිම ඉවරයි.

shopping bag කරදරෙත් අවම වෙනවා...

මම නිවසේ සිටම රැකියාව කරන කෙනෙක් නිසා මට ඉවුම් පිහුම් සදහා වැඩි කාලයක් ‌යොදවන්න පුළුවන්.

ඉතින් මට ගැලපෙන ලෙස සකසා ගත්ත meal plan එකක් තමයි මට තියෙන්නෙ.
මම වගේ අයට මගේ බිත්තියේ අලවපු meal plan එකේ photo එකක් පසුව upload කරන්නම්.

මගේ මේ ලිපි පෙලේ අරමුණ අලුතෙන් විවාහ වූ රැකියා කරන යුවතියන්ට සහයක් දීමයි.
ඉතින් ඔයාල වෙනුවෙන් වඩා පහසු වෙන meal plan එකක් මම ලිවිවා.

ටිකක් අත්දැකීම් ලැබිලා පරිණත වෙනකම් මේ ක්‍රමය try කලොත් ඔයාලට අවැඩක් වෙන එකක් නැති වෙයි.

සතියේ කෑම: ඉරිදා 

  • ඉරිදා උදේට කොලකැද ටිකක් බොන්න.ගෙදර හදලා හරි පිරිසිදුවට හදන තැනකින් අරගෙන හරි.
  • රොටි දෙකක් හදාගන්න උත්සාහ කරන්න. ඒක බඩට වඩා හිත පුරවාවි. අමාරුම නම් කැද ගන්න බොහෝ තැන් වල රොටිත් තියනවා.
  • ඔයාගෙ ආදරෙත් එකතු කරලා පොඩි ලුණුමිරිසක් හදාගන්න බැරි වෙන එකක් නෑ. ඒක ටිකක් වැඩිපුර හදලා, ඉන් කොටසක් හොදට වැසෙන පෙට්ටියක දාලා fridge එකට දාන්න කිරිබත් හදන දාට ගන්න.
  • chicken හදද්දි ඔයාලා දෙන්නට වේල් තුනකට හරියන්න හදාගන්න. උයලා නිවෙන්න ඇරලා හෙට බත් වලට තියන ටික fridge එකට දාන්න.
  • ඔයා එලවලු බත් හදන්න සකසන එලවලු තෙම්පරාදුවත්, රෑට හදන noodles වලටත් එක්කම එකපාර හදාගන්න. රෑට තියෙන්නෙ noodles ටික තම්බලා එලවලු වලට කලවම් කරලා රත් කරගන්න.
  • ඉරිදා රෑ කෑමට හදන noodles සදුදා උදේටත් එක්කම හදාගත්තොත් ඔයාට උදේට ලේසි වෙයි.
  • ඉරිදා රෑට පරිප්පු දැමූ නිවිති පහේ කලමනා දාලා තම්බලාමයි තියන්නෙ. Fridge එකේ දාන්න ඕනා නෑ.
  • බිම්මල් ටිකත් තීරු ඉරලා, රට ලූණු ආදිය දාලාම fridge එකට දාන්න උදේට තෙල්දාන්න.
  • සෙනසුරාදා ගාලා freezer දාපු, ඉරිදා හවස එලියට ආපු පොල් ටික  කිරි මිරිකලා, උනුවතුර බෝතලයට වතුර එකක් නටවා දාලාම නිදාගන්න අමතක කරන්න එපා.

සතියේ කෑම: සදුදා 

  • ඉරිදා රෑ හදලා තියපු noodles තියනවා, උදේ කෑමට ගෙනියන්න butter ටිකක් දාලා රත් කරගන්න ඕනා.
  • සදුදා උදේට මම කිරි දමා නිවිති ටික සකස් කර ගන්නෙ, දවල් බත් මුලට වගේම රෑටත් එක්කයි. රෑට ඉතිරි කරපු ටික fridge එකට දාලම office යන්න.
  • චට්නි බෝතලයක් කඩෙන් අරං තියාගන්න. වම්බටු මෝජුවක් වෙලා තියන වෙලාවක හදාලා bottle කරලා තියාගත්තොත් මෙවන් සදුදා උදේකට හරි වටිනවා.
  • සදුදා රෑ කෑමට උනුවෙන්ම බත් ටිකක් උයාගන්න, rice cooker එකේ. පපඩමකුත් බැදගන්න.
  • මම නම් තාමත් සදුදා රෑට තමයි වේල් තුනකට සරිලන මාලු මිරිසට සකස් කරන්නෙ. සදුදා රෑටයි, අගහරුවාදා දවල්ටයි, බදාදා දවල්ටයි. බදාදාට ගන්න ප්රමානය පමනක් fridge එකට දැම්මාම ඇති.
  • අගහරුවාදා දිවා වේලට ගෙනියන බීට් කරිය කිරි නොදා හදාගන්නෙ සදුදා රෑටයි.
  • බන්ඩක්කා තෙල්දාන්න ඕන කලමනා එක්කම fridge එකෙන් තියනවා.
  • සෙනසුරාදා කපපු කොල මැල්ලුමෙන් ටිකක්, හෙට උදේම මලවන්න උවමනා පොල් ටික ලූණුත් කපලාම box එකකට දමා fridge එකෙන් තියනවා. ලුනු දාන්න එපා, උදේට දාගමු.
    පොල් කිරියි, නැටවූ වතුරයි අමතක කරන්න එපා.

සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

සතියක කෑම: අගහරුවාදා 

  • අගහරුවාදා උදේ කෑමට කිරිබත්. කලබල උදේකට පහසුම විදිය තමයි දවල්ට උයන බත්, දෙගුනයක ප්රමාණයක් rice cooker තියලා, බත ඉදුනාම එයින් අඩක් වෙන බාජනයකට ගෙන කිරිදමා කිරිබත සකසා ගැනීම. එක ගලයි - කුරුල්ලො දෙන්නයි.
  • මතකද... ලුණුමිරිස් , ඉරිදම හදලා fridge එකට දැම්මා .
  • බීට් වලට කිරි දමා නැටෙවුවා, මාලු හොදින් නටනතුරු රත්කලා, බන්ඩක්කා තෙල්දැම්මා, මැල්ලුම මැලෙව්වා. උදේ වැඩ ඉවරයි.
  • මතක් කරලා කඩල පෙගෙන්න දාලා යන්න, හෙට උදේ කෑමට අපි අද රෑම තම්බලා තියමු.
  • office යන ඔයා වැඩි වෙලාවක් ඉන්නෙ වාඩිවෙලානෙ, ව්‍යයාම ඇත්තෙම නැති තරම්.
  • ඉතින් අගහරුවාදා රෑට එලවලු ටිකක් (කැරට්, අල, බෝංච්) තම්බලා, බිත්තරයක් , පිපිඤ්ඤා කෑල්ලක්  එක්ක කෑවොත් මොකද? වෙනසකටත් එක්ක. බන්ඩියට මදිම වගේ නම් පාන් පෙති දෙකකුත් toast කරගමු.
  • පෙගුනු කඩල තම්බගමු, හෙටට ගන්න එලවලු කපන අතරතුරේ.
  • බදාදා දිවා වේලට ගෙනියන පරිප්පු දැමූ දඹල කිරි නොදා හදාගන්නෙ අගහරුවාදා රෑටයි.
  • ගෝවා තෙල්දාන්න ඕන කලමනා එක්කම fridge එකෙන් තියනවා.
  • සෙනසුරාදා කපපු කොල මැල්ලුමෙන් ටිකක්, හෙට උදේම මලවන්න උවමනා පොල් ටික ලූණුත් කපලාම box එකකට දමා fridge එකෙන් තියනවා. ලුනු දාන්න එපා, උදේට දාගමු.
  • කඩල තෙම්පරාදුවට වැඩිපුර ලූණු ටිකකුත් කපලා පෙට්ටියකට දාලාම fridge එකට යවමු.
    මතකයි නේද පොල් කිරියි, නැටවූ වතුරයි .

සතියේ කෑම:බදාදා

  • නැගිට්ට ගමන් හාල් rice cooker දාමු , බත් ඉදිලා නිවෙන්නත් එපැයි.
  • දඹල වලට කිරි දමා නැටෙවුවා, මාලු හොදින් නටනතුරු රත්කලා, ගෝවා තෙල්දැම්මා, මැල්ලුම මැලෙව්වා.දවල් කෑම ready.
  • අපි ඊයෙ තම්බලා ශීතකරණයේ දැමූ කඩල ටික ලූණු, උම්බලකඩ, කෑලිමිරිස් එහෙම දාලා රසට හදමු. ඒ ඔයාගෙ උදේ කෑම.
  • හවස වැඩ ඇරී එද්දි තෝසෙ අරං එන්න, පිරිසිදුවට සාදන හෙලබොජුන් වගේ තැනකින්. ඔයාට ගෙදරදිම හදාගන්න පුලුවන්නම් හොදයි. ඒත් එයින් ඔය දෙදෙනාට එක්ව කතා කරන්න තියෙන කාලය නැති වෙනවානම් තෝසෙ පිටින් කන එක වඩා හොදයි.
  • බ්‍රහස්පතින්දා උදේට සහ දවල්ට එකටම කෑම හදමු.
  • සැමන් කලුවට උයන්න පුලුවන්, තෙල් දාන්න පුලුවන්. එහෙමත් නැතිනම් සෝයාමීට් packet එකක් පැකට්ටුවේ කියා ඇති පරිදි හදා ගන්නත් පුලුවන්
  • බ්‍රහස්පතින්දා දිවා වේලට ගෙනියන කැරට් සහ අල කිරි නොදා හදාගන්නෙ බදාදා රෑටයි. ඒක නම් fridge එකට දාන්න.
  • බෝංචිත් කිරි චුට්ටක් දාලා, මිරිස් නැතිව ගම්මිරිස් දාලා හදලා බලන්නකෝ රස. බෝංචි වල කොල පාට රැකෙන්න උයන්න.
  • සෙනසුරාදා කපපු කොල මැල්ලුමෙන් ටිකක්, හෙට උදේම මලවන්න උවමනා පොල් ටික ලූණුත් කපලාම box එකකට දමා fridge එකෙන් තියනවා. ලුනු දාන්න එපා, උදේට දාගමු.
    මතකයි නේද පොල් කිරියි, නැටවූ වතුරයි.

සතියේ කෑම:බ්‍රහස්පතින්දා

  • අදත් සුපුරුදු පරිදි නැගිට්ට ගමන් හාල් rice cooker දාමු , බත් ඉදිලා නිවෙන්නත් එපැයි.
  • කැරට් හා බෝංචි දෙකටම කිරි දාන්නෙ උදේ. හොදින් නටවන්න.
  • සැමන් බැදුම හෝ සෝයා හොදින් රත්කරන්න ඕනා.
  • මැල්ලුම මැලෙව්වා.දවල් කෑමට වගේම උදේටත්, චූටි බත් මුලක්ම ගෙනියන්න අද
  • අද රෑටත් එලවලු ටිකක් තම්බලා, බිත්තර හා සලාදයක් එක්ක කමු. උදේ, දවල් දෙවේලම අද බත්නෙ ඉතින්..
  • සිකුරාදා දිවා ‌භෝජනයට කරවල බැදුමක් සකසමු, ලූණු, තක්කාලි, මාලුමිරිස් දාලා කටට කෙල උනන්න කට්ට කරවල කෑල්ලක්. තුන් වේලකට සරිලන්න හදන්න.
  • සතියට සැනසුම සදන සෙනසුරාදාට සැනසුමක් දෙන්න කරවල ටිකක් fridge එකට දාන්න මතක ඇතිව.
  • කරවල වලට හොදටම ගැලපෙන ව්යාංජනය තමයි කිරි වට්ටක්කා. තම්බලා තියමු නේද.
  • අනික් ව්‍යාංජන නම් කවුරුත් වැඩි කැමැත්තක් නොදක්වන දෙයක්. ඒ කරවිල. හැබැයි කරවලයා, කරවිලයාගෙ තිත්ත මකනවා. නොදැනීම බඩට යනවා.
  • මැල්ලුමට කලමනා, පොල් කිරි හා නැටවූ වතුර අමතක කරන්න එපා.

සතියක කෑම:සිකුරාදා 

  • නැගිට්ට ගමන් හාල් rice cooker දාමු , බත් ඉදිලා නිවෙන්නත් එපැයි.
  • වට්ටක්කා හා කරවිල දෙකටම කිරි දාන්නෙ උදේ. හොදින් නටවන්න. කරවල බැදුම හොදින් රත්කරන්න ඕනා. මැල්ලුම මැලෙව්වා.දවල් කෑමට වගේම උදේටත් චූටි බත් මුලක්ම ගෙනියන්න අද, ඊයෙ රෑට එලවලු කාලා උදේ වෙද්දි බඩගිනිත් ඇතිනේ
  • හවස වැඩ ඇරී එද්දි ඔයාලා දෙන්නට ඇතිවෙන්න හාල්පිටි ඉදිආප්ප අරං එන්න.
  • ගෙදර ඇවිත් හෙට, සෙනසුරාදා දවල්ටත් හරියන්න පරිප්පු කරියක් උයාගන්න. රෑට කාලා ඉතිරි ටික fridge එකට දාන්න, ඒකත් සතියට සැනසුම සදන සෙනසුරාදාට සැනසුමක් දෙන්නයි.
  • ඔන්න අද නම් හෙටට කෑම ලෑස්ති කිරීමක් නෑ. දෙන්නත් එක්ක ගොඩාක් වෙලා කතා කෙරුවහැකි.

සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

සතියක කෑම:සෙනසුරාදා

  • අද පාන්දරම නැගිටින්න ඕන නැති උනත් පස්සට එලිය වැටෙනකම් නිදියන්න නම් එපා.
  • කැමති නම් ඊයෙ ඉදිආප්ප ටිකක් වැඩියෙන් ගෙනත් අද උදේට ඉදිආප්ප පිලවු එකක් හදන්න පුලුවන්. නැත්නම් දුවන්න චූන් පාන් පස්සෙ.
  • ලග කැද කඩයක් එහෙම තියනවානම් බොන්න කැද වීදුරුවක් .
  • දවල්ට අපේ fridge එකේ තියනවා පරිප්පු සහ කරවල. බත් ටිකක් දවල් වෙලාම උයන්න උණු උණුවෙම කන්න.
  • ගොටුකොල සම්බෝලයක් වගේ හදාගන්න පුලුවන්නම් අනර්ඝයි.
  • මදියි වගේ කියලා හිතෙනවනම් බිත්තරයක් තම්බ ගන්න හරි ඔම්ලට් එකක් හදාගන්න හරි බැරියැ...
  • සෙනසුරාදා රෑට අපි වගේ ඔයාලත් දෙමව්පියන් බලන්න යන්න. දෙපැත්ත සතියක් හැර සතියක්වත්. අම්මගෙන් බත් කටක් කන්න කවුද අකමැති.

පොඩි කාරනාවක්. මැල්ලුමක් මැලෙව්වාම දෙහි චුට්ටක් එකතු කරන්න අමතක කරන්නත් එපා.

ඉතින් ලේසියට කෑම ගලපන මගේ විදියයි මේ.

No photo description available.
කතන්දර ලිපි